අරගලය පිළිබඳ ජනතාවගේ අදහස් සමීක්ෂණයක් ඔස්සේ නිකුත් කෙරේ…

‘අරගලය’ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට හේතු වූ බව ආසන්න වශයෙන් 60%ක් පමණ මහජනතාව විශ්වාස නොකරන බව Sri Lankan Think Tank සහ Verité Research විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 51% ක් කියා සිටියේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා දූෂණය සහ නරක පාලනය නිවැරදි කළ යුතු බවයි.

අරගලය විරෝධතා ව්‍යාපාරය 2022 අප්‍රේල් 9 සිට 2022 අගෝස්තු 10 දක්වා ගාලුමුවදොර මූලික කරගෙන පැවතුනි. අරගලය විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියෙන් ඉවත් වී අදට වසරක් සපිරේ.

ආශාවන් සහ අපේක්ෂාවන් ඉටු වූවාද?

‘ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට අරගලය හේතු වූ බව ඔබ සිතනවාද?’ යන ප්‍රශ්නයට 60%ක් ‘බොහෝ දුරට නැත’ යනුවෙන් ද 11%ක් ‘බොහෝ දුරට ඔව්’ යනුවෙන් ද 29%ක් ‘මතයක් නැත’ යනුවෙන් ද ප්‍රතිචාර දක්වා ඇත.

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම මෙම කාලය තුළ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයකි.

පාලනය, ස්ථාවරත්වය හෝ ආර්ථික පද්ධතිය?

‘පහත සඳහන් ප්‍රකාශ අතරින් ඔබ වැඩිපුරම අනුමත කරන්නේ කුමන ප්‍රකාශයද?’ යනුවෙන් සමීක්ෂණට සහභාගීවන්නන්ගෙන් විමසන ලදී.

1.රට ගොඩගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට වඩා ස්ථාවරත්වයට මුල්තැන දිය යුතුයි.

2.රට ගොඩගන්න නම් දූෂිත හා අයහපත් පාලනය නිවැරදි කළ යුතුයි

3. රට ගොඩනැගීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් – 51% – දූෂිත සහ අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය බව විශ්වාස කරති.

34% ක් ආර්ථික ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන අතර 15% ක් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට වඩා ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දිය යුතු යැයි සලකති.

Social Sharing
නවතම පුවත්