සියවස් දෙකක සිට – ජීවිතේ දුක් ගැහැට!

ඉන්දීය වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට පැමිණ වසර දෙසීයක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් මේ දිනවල හැටන් ඇතුළු කඳුකර නගර කිහිපයකදී සැමරුම් උත්සව පවත්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු වතු කම්කරුවා තරම් දුක් අනුභව කළ වෙනත් කිසිදු කම්කරු කොට්ඨාසයක් මේ රටේ නොමැති තරම්‍ ය.

ඔවුන්ගේ පැමිණීමට ශතවර්ෂ දෙකක් ගතවී ඇති මේ මොහොත වන විට තලෛමන්නාරම සිට මාතලේ දක්වා ඔවුන් පැමිණි ඉපැරැණි මාර්ගය ඔස්සේ පාද චාරිකාවක් සංවිධානය කර ඇත්තේ මාන්බුමිගු මලයහ මක්කල් සාමූහිකයයි. මෙම පාද චාරිකාව ජූලි මස 28 වන දින තලෛමන්නාරමින් ආරම්භ වී අගෝස්තු 12 වන දා මාතලේ ට ළඟා වීමට නියමිතය. මෙම පාද චාරිකාව සැමටම විවෘත වන බැවින් ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් මලයහ කාන්තා සහ පිරිමින්ගේ දායකත්වය අගය කිරීමට සහ ඔබේ හඬ එකතු කිරීමට ඔවුන් සමඟ එකතු වී ඇවිදින්නැයි විවෘත ආරාධනාවක් මාන්බුමිගු මලයහ මක්කල් සාමූහිකය විසින් සිදු කර ඇත.

සංක්‍රමණික වතු ප්‍රජාවගේ ඉතිහාසය සහ ඔවුන්ගේ වත්මන් සමාජ දේශපාලන තත්වය පිළිබඳව අයිතිය ඔබට සමීප කරන්නට සිතුවේ ඉහත සඳහන් කාරණාවත් පදනම් කරගෙනය. ඒ වගේම මෙම පාද චාරිකාව සංවිධානය කරමින් ඔවුන් මූලිකවම සමාජ අවධානය යොමු කිරීමට සැරසෙන්නේ කාලයක් තිස්සේම සිදු කරන ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයකට ය. එම ඉල්ලීම් සිදු කිරීමට බලපෑ හේතු සාධක සොයා ගැනීමට නම් අපට අවුරුදු දෙසීයක ඉතිහාසයක් ගොඩ දැමිය යුතුය.

ඒ ඉතිහාසය මෙබඳු ය.

මේ රටේ මාතලේ සහ ගම්පොළ ප්‍රදේශ කෝපි වගාව සඳහා ඉතාම සුදුසු බව එවකට ලංකාවේ විසූ ජෝර්ජ් සැමුවෙල් බර්ඩ් නමැති හමුදා නිලධාරියා විසින් 1824 දී හඳුනාගන්නා ලදී. ඉන්පසු ඔහු ගම්පොලදී කුඩා කෝපි වත්තක් පටන් ගත්තේය. මේවායේ වැඩ කර ඇත්තේ සිංහල මිනිසුන්ය. දවසක් පුරා වැඩ කිරීමෙන් පසු මේ මිනිසුන් කැඳවූ ජෝර්ජ් බර්ඩ් දවසේ වැඩ කුලිය ගෙවීමට සූදානම් විය. එහෙත් ඔහුගෙන් මුදල් භාරගැනීම ප්‍රතික්ෂේප කළ සිංහලයෝ තමන් මුදලට වැඩ නොකරන බවත් අත්තමට පමණක් වැඩ කරන බවත් කීහ. මෙහි අදහස මෙසේය. ජෝර්ජ් බර්ඩ්ගේ කෝපි වත්තේ සිංහලයෝ නොමිලේ වැඩ කරති. ඒ හිලව්වට සිංහලයන් කුඹුරු වැඩ කරන කාලයට ජෝර්ජ් බර්ඩ් ඔවුන්ගේ කුඹුරුවල වැඩ කළ යුතුය. මේ ප්‍රහේලිකා සහගත කතාව මගින් ජෝර්ජ් බර්ඩ් ට එකක් තේරිණි. එනම් සිංහලයා යනු ආඩම්බරකාර ජාතියක් බවත් ඔවුන් කුලියට වැඩ නොකරන පිරිසක් බවත්ය.

ඒ වන විටත් සිංහල රජ සමය අවසන් වන යුගයේදී මෙරටට ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජාතිකයන් පිරිසක් කඳුකරයේ ඉතිරිව සිටියහ. මේ පිරිස සමග කතා කළ ජෝර්ජ් බර්ඩ් දවස් පඩියට වැඩ කිරීම සඳහා ඔවුන් පොළඹවා ගත්තේය. මේ අතර ටිකෙන් ටික ජෝර්ජ් බර්ඩ්ගේ කෝපි වත්ත ලොකු විය. දිනක් කොළඹ පැමිණි ඔහු එවකට මේ රටේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් හමුවී සිය කෝපිවතුවල වැඩ කිරීම සඳහා ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා දෙන ලෙසත් එම කෝපි එංගලන්තය ඇතුළු යුරෝපයේ වෙනත් රටවලට යැවීමෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බවත් කීවේය. මෙයින් මහත් පැහැදීමට පත් එඩ්වඩ් බාන්ස් එවකට එංගලන්තයේ යටත් විජිතයක් වූ ඉන්දියාවේ ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවා ලංකාවේ කුලීකාරයන් ලෙස වැඩ කිරීම සඳහා දෙමළ ජාතිකයන් එවන ලෙස ඉල්ලීමක් කළේය. මේ අනුව 1827 දී තමිල්නාඩු, තිරුනල්වේලි, තිරුචි, මදුරෙයි, කන්ජෝර් යන දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් දෙමළ ජාතිකයන් හාර පන්සියයක් හොයාගත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ඔවුන් නැවක පටවා මන්නාරමට එව්වේය. මේ පිරිස පයින්ම කුරුණෑගල හරහා මාතලේ පිහිටි නිරෝධායන කඳවුරු කිහිපයකට රැගෙන යන ලදී.

එකල මන්නාරමේ සිට මාතලේට පයින් ඒමට මාසයක් පමණ කාලයක් ගත විය. පාරවල් නොතිබූ බැවින් එම ගමන එන ලද්දේ කැලේ කපාගෙනය. මෙහිදී දෙමළ කම්කරුවන්ගෙන් කට්ටියක් සර්ප දෂ්ටන වලින් මිය ගියහ. තවත් කට්ටියක් මැලේරියාවෙන් මළහ. මේ පිරිස කඳුකරයට කැඳවාගෙන යන ලද්දේ 150 කින් පමණ සමන්විත වූ ඉංග්‍රීසි සෙබළුන් විසිනි. එම ගමනේදී ඉහත සඳහන් අනතුරු වලට මුහුණ දීමෙන් එම සෙබළුන්ගෙන්ද භාගයක් පමණ මළහ. ඉන්දියාවෙන් පැමිණි පළමු වතු කම්කරුවන් පන්සියයෙන් මාතලේ පිහිටි නිරෝධායන කඳවුරට ළඟා වූයේ තුන්සියයක් පමණි. සෙසු සියලු දෙනාම මගදී මිය ගොස් තිබිණ. මෙවැනි ගමන්වලදී කෙනෙක් මළ විට වළ දැමීමේ සිරිතක් එකල තිබුණේ නැත. එබැවින් සුද්දා වේවා දෙමළ ජාතිකයා වේවා මිය යන අයගේ සිරුරු කැලෑවේම අත්හැර දමන ලදී. ඉතිරි වූ පිරිස සතියක කාලයක් නිරෝධායන කඳවුරේ තබන ලද අතර එම කාලය තුළදී එයින් පිරිසක් වසූරියෙන්ද, කොලරාවෙන්ද, උණ සන්නිපාතයෙන්ද මිය ගියහ. අන්තිමේදී ජෝර්ජ් බර්ඩ් ගේ කෝපි වත්තේ පණ පිටින් වැඩට යෑමට දෙමළ කම්කරුවන් දෙසීයකට ඉඩ ලැබිණ.

මෙය ඉතා හොඳින් හිතට ගත් ජෝර්ජ් බර්ඩ් ඊළඟ වතාවේදී ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන්වන විට පන්සීයක් අවශ්‍ය නම් දහසක් වෙනුවෙන් ඕඩරයක් නිකුත් කළේය. ඔහු එසේ කළේ මන්නාරමේ සිට මධ්‍යම කඳුකරය බලා එන විට කම්කරුවන්ගෙන් භාගෙට භාගයක් මිය යන බැවිනි. මේ රටේ ඉංග්‍රීසි පාලකයා දෙමළ කම්කරුවන් තිරිසන් සතුන් ලෙස සලකා කටයුතු කළ බව මෙයින් පැහැදිලි වේ.

වතුකරයේ දෙමළ කම්කරුවන් හඳුන්වනු ලබන්නේ මලයාහ තමිලර් යන නමිනි. ඔවුන් ශ්‍රී ලංකාවට එන කාලයේදී මේ රටේ තේ වගාවක් නැත. දෙමළ කම්කරුවන් උදේ හතරට අවදි විය යුතු අතර පහ හමාර වන විට වැඩ බිමෙහි පෙනී සිටිය යුතු විය. ඔවුන්ට උදේ කෑම වශයෙන් පාන් පිටි රොටියකුත් කෝපි කෝප්පයකුත් ලැබිණ. දවල්ටද ඔවුන්ට ලැබුණේ රොටියක් හා කෝපි කෝප්පයකි. ඔවුන්ගේ වැඩ ඉවර වුණේ හවස හතටය. දවසේ අවසන් ආහාර වේල වශයෙන් රොටියක් හා කෝපි කෝප්පයක් ඔවුන්ට දෙන ලදී. මේ සඳහා වැය වන මුදල් වතු පාලකයා ඔවුන්ගේ පඩියෙන් කපා ගත්තේය. මේ පිරිස ජීවත් වූයේ කාමර පේළියකය. පසුකාලයේදී ලැයින් කාමර ලෙස හඳුන්වන්නේ මේ කියන තනි කුටියේ කාමර ගෙවල්ය. ඔවුන්ට වැසිකිළි පහසුකමක් තිබුණේ නැත. ඒ වෙනුවට බැද්දට ගොස් ගස් අස්සේ මුවාවීමට ඔවුන්ට සිදුවිය. ඔවුන්ට කිසිදු සෞඛ්‍ය පහසුකමක් තිබුණේ නැත. මුල් යුගයේදී උණ සන්නිපාතය හෝ මැලේරියාව වැළඳීම නිසා ඔවුන් විශාල වශයෙන් මිය ගිය අතර මරණ සහතික හෝ වෙනත් ලියකියවිලි කිසිවක් නොලියා එම මිනී වත්ත පහළ වළ දැමීම සිදුවිය. දවසේ වේල් තුනක්ම පාන් පිටි රොටි කෑම හේතුවෙන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම නිසා පළමු අවුරුදු හතර ඇතුළතදීම ඔවුන්ගෙන් වැඩිදෙනා ශිෂ්ටාචාරයේ රෝගයක් වූ (disease of civilization) දියවැඩියාවට භාජන විය. එහෙත් ඔවුන් දියවැඩියාවෙන් මළ බව කවුරුවත් දැන සිටියේ නැත. එයට හේතුව කිසිදු මරණ පරීක්ෂණයක් සිදු නොකිරීමයි.

මේ අතර ලංකාවේ කෝපි වගාව මධ්‍යම කඳුකරය පුරා ඉතා වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තේය. එයට සාපේක්ෂව දහස් ගණන් දෙමළ කම්කරුවෝ මෙරටට ගෙන්වන ලදී. ඒ සියලු දෙනාම තවදුරටත් පාන් පිටි රොටි වලින් ජීවත් වූහ. මේ රටේ ආරම්භක දෙමළ වතු කම්කරුවන්ගේ ආහාරය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් පාන් පිටි වලින්ම හැදූ රොටිම පමණක් විය. අදටත් එහි වෙනසක් නොමැත.

ඉතින් ඔවුන් පැමිණ වසර 200ක් පිරීම සමරන මෙම මොහොතේ මලයාහ ප්‍රජාවේ ආයාචනයක් ඇත. ඒ ඔවුන් ශ්‍රී ලංකාවේ ජීවිතයට අර්ථවත් ලෙස සහභාගී වෙමින් පූර්ණ හා සමාන පුරවැසියන් බවට පත්වීම වෙනුවෙන් කරන ආයාචනයයි. ශ්‍රී ලංකාවේ අර්ථවත් පුරවැසියන් වීමට මලයාහ දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ,

(i) අපගේ ඉතිහාසය, අරගලය සහ දායකත්වය පිළිගැනීම.
(ii) අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනම අනන්‍යතාවයක් ඇති පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොට්ඨාසයක් ලෙස පිළිගැනීම.
(iii) ජාතික සාමාන්‍යයන් සමඟ සමතුලිත වීම සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ පියවරයන් පිළිබඳ ස්ථිර ක්‍රියාමාර්ග.
(iv) ජීවත්වීමට සරිලන වැටුපක්, යහපත් රැකියාවක්, නීතිමය රැකවරණයක් සහ පිරිමි සහ කාන්තා කම්කරුවන් සඳහා සමාන වැටුපක්.
(v) නිවාස සහ ජීවනෝපාය සඳහා සුරක්ෂිත අයිතිය සහිත ඉඩම්.
(vi) දෙමළ භාෂාව සඳහා සමාන භාවිතය සහ තත්ත්‍වයේ සමානාත්මතාවය.
(vii) රාජ්‍ය සේවා සඳහා සමාන ප්‍රවේශය.
(viii) වතුකරයේ ජනාවාස නව ගම්මාන ලෙස සීමා කිරීම.
(ix) ගෘහ සේවිකාවන් ආරක්ෂා කිරීම.
(x) මලයහ සංස්කෘතිය සංරක්ෂණය හා ප්‍රවර්ධනය.
(xi) අර්ථාන්විත පාලන ක්‍රියාවලියක් සාක්ෂාත් කර ගැනීම සඳහා සාධාරණ සහ සියල්ලන් ඇතුළත් මැතිවරණ ක්‍රමයක් සහ රජයේ සෑම තරාතිරමකම බලය බෙදාගැනීම.

සමාන පුරවැසියන් ලෙස පිළිගැනීම සඳහා වන ආයාචනයේ පසුබිම.

නිදහසින් පසු මලයහ දෙමළ ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ඉල්ලීම්වලට ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රජාවන් හා සමානව පූර්ණ පුරවැසියන් ලෙස ඔවුන් පිළිගැනීම ඇතුළත් කර ඇත. ඔවුන්ගේ ඉල්ලීම් අවධානය යොමු කර ඇත්තේ සමානාත්මතාවය, වෙනස්කම් නොකිරීම, ආරක්ෂාව, දේශපාලන හා පරිපාලන විධිවිධාන සඳහා ය. ඔවුන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයක විසිරී සිටින තම ජනතාවගේ අභිමානයෙන්, ආත්ම ගෞරවයෙන්, සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව ජීවත්වීමටත් ඔවුන්ගේ කටයුතු කළමනාකරණය කිරීමටත් අවශ්‍ය හඬ සහ බලය ප්‍රජාවට ලැබෙන පරිදිය.

වත්මන් තත්වය

වතුකරයේ පදිංචිකරුවන් ලෙස 500,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව මලයහ දෙමළ ප්‍රජාවේ වත්මන් තත්ත්වය, සිය රටින් නෙරපීම, පැනවූ රාජ්‍යයක් නොමැතිකම, පුරවැසිභාවය පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඡන්ද බලය නොමැතිකම යන අතීත ඉතිහාසයේ ප්‍රතිඵලවල එකතුවකි. මෙය මලයහ ප්‍රජාවගේ සමාජ-ආර්ථික යහපැවැත්මට බලපා ඇත. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වතුකරයේ ජීවත් වන සහ වැඩ කරන පිරිසටය. ඔවුන් රටේ අනෙකුත් සෑම ප්‍රජාවකටම සාපේක්ෂව මානව සංවර්ධන දර්ශක සියල්ලම පාහේ අඩු අගයන් වාර්තා කරන රටේ වඩාත්ම ආන්තික කණ්ඩායම බවට පත්ව ඇත. මෙය ඔවුන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසියන් වීමට ඇති හැකියාව බරපතල ලෙස අඩාල කර ඇත.

සියවස් 2ක් මෙරට පාලකයෝ ඔවුන් රවටා තිබේ. පරම්පරා හයක් හතක් වතුකරයේ දෙමළ ජනයා මෙරට ජීවත්ව තිබේ. 1948 පුරවැසි පනත ඉදිරිපත් කිරීම තුළින් එජාප නායක ඩී.එස්. සේනානායක දෙමළ ජනයාගේ දේශපාලන අයිතිය අහෝසි කළේය. පුරවැසි පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ සිවඥානම්ට එරෙහි මදනායක නඩුවේ තීන්දුවට අනුව ව්‍යස්ථාදායකය සතු එම බලය නිදහස් රටක ස්වාභාවික වූද නීත්‍යනුකූල වූද යුක්තිසහගත කාර්යයක් බව සනාථ කර තිබේ.

අවසානයේ වතුකරයේ දෙමළ ජනයාගේ පුරවැසි අයිතිය පිළිබඳ ගැටලුව 1962 සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට අනුව කොටසක් ශ්‍රී ලංකාවට හා කොටසක් ඉන්දියාවට භාර ගන්නා නියමය අනුව ඔවුන්ගේ ඥාතීන් සදාකාලිකව වෙන් කෙරෙන තීන්දුවකට යටත් කෙරිණි. වර්තමානයේ පවා එළැඹෙන මැතිවරණයක් මැතිවරණයක් පාසා දේශපාලකයෝ ඔවුන්ගේ ජීවිතවලට ලංසු තබයි. තමන්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව රටේ ජාතිවාදී අරගල පැනනඟින විට වතුකම්කරුවන්ට මරුවා සමඟ වාසය කරන්නට සිදුවේ. ශ්‍රී ලංකාව කොතරම් සාධාරණ, කොතරම් යුක්තිසහගත දේශයක්ද යන්න තීරණය කිරීමට තිබෙන හොඳම උදාහරණය මෙරට දේශපාලකයන් සියවස් දෙකක් වතු කම්කරු ජනතාවට සලකා තිබෙන ආකාරයයි.

2023/07/30 අනිද්දා පුවත්පත

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග