ජනප්‍රිය සංස්කෘතිය කියන හිරගෙයින් හැකිතාක් ඉක්මනට එළියට එන්න!

”මානසිකව සුවපත් නොවුණු මිනිස්සු තමයි ලෝකේ ඉක්මනින්ම බිඳ වැටෙන්න පුළුවන් මිනිස්සු….”

එහෙම කියන්නේ ලෝ ප්‍රකට රොක් ගායිකාවක් වෙච්ච ෂිනයිඩෝ කොනර් (Sinéad O’Connor). ෂිනයිඩෝ ඊයේ රෑ අප අතරින් සමු අරගෙන ගිහිල්ල. ෂිනයිඩෝ ගැන ඒ තරම් දන්නේ නැත්නම් අර ”ඔබට සමකල හැකි අන් කිසිවෙක් නැහැ” (Nothing Compare 2 U) කියන සිංදුව මතකයට ගන්න.

ඒ සිංදුව අනුව දශකයේ බිල් බෝඩ් චාට් (Billboard Top 100) එකේ ලෝකයේ හොඳම සිංදුව උණා.

ඒ සින්දුව නිසාම අතිශයින් ජනප්‍රිය වන ෂිනයිඩෝ 1991 ග්‍රැමී සම්මාන උළෙලට නම් වුණත් ඇය එයට සහභාගී නොවූයේ MTV සහ ග්‍රැමී උළෙලවල් ඇති අතිශය වාණිජකරණ ක්‍රියාවලියට විරෝධයක් හැටියට.

මේ විරෝධාකල්පික බව නිසාම ඇයගේ වෘත්තීය ජීවිතය පවා අනතුරේ වැටුණා. එහෙත් ඇයගේ විරෝධය නැවතුණේ නැහැ.

ක්‍රිස්තියානි පල්ලියේ සිදුවන ලිංගික අතවර සහ අඩන්තේට්ටම් වලට එරෙහිව ඇය එක් ප්‍රසංගයක් අතරතුර පාප් වහන්සේගේ චායාරූපයක් කීතු කීතු වලට ඉරාදැම්මා. මේ වගේ මතභේදාත්මක සිද්දි නිසා රසිකයින්ගේ යම් යම් අපවාදවලට ඇය පාත්‍රවෙච්චි අවස්ථා උනත් බොහොමයක් තියනවා. ඒත් ඇයගේ ක්‍රමවිරෝධය පොඩ්ඩක්වත් නැවතුණේ නැහැ.

කුඩාකලම දෙමව්පියන්ගේ වෙන්වයාම සහ මවට සිදුවූ අතවර නිසා ඇයට තිබුණේ කැළඹුණු ළමාවියක් (disturbed childhood). ඒ කැළඹීමෙන් ගොඩඒමට ඇයට ජිවිත කාලය පුරාවටම නොහැකි වෙනවා. අයර්ලන්තය පුරා එහෙ මෙහෙ යමින් තැන තැන ගීත ගයනා කළ ඇයව ඇත්තටම සොයාගන්නේ ලොව අතිශයින් ජනප්‍රිය අයර්ලන්ත රොක් ගායක කණ්ඩායමක් වන U2 රොක් ගායක කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පී පෝල් බර්නේ විසින්.

ඇයගේ සමාජ දර්ශනය අතිශයින්ම පැහැදිලි එකක්. ”පොඩි කාලේ අපයෝජනයට භාජනය වෙන ළමයි තමයි පසුකාලීනව සමාජයක් සල්ලන් කරන්නේ”. ඇය එහෙම කියනවා Rolling Stone සඟරාවට.

අහිමි ළමා අවදියක් එක්ක මුළු මහත් ජීවිත කාලයක් විෂාදය (post-traumatic stress disorder) නම් රෝගයෙන් පීඩාවින්ද ඇයගේ සිංදු විෂාදයේ සිංදු….

”මම කරපු හැම විරෝධයක් ඇතුලෙම තියෙන්නේ අහිමි ළමාවියෙන් ගොඩඑන්න කරපු උත්සාහයක්. අරගලයක්. ඒ නිසා මම ජනප්‍රිය සංගීත අච්චුව ඇතුළට ඔබන්න උත්සාහ කරන්න එපා. ජනප්‍රිය සංස්කෘතිය කියන හිරගෙයින් හැකිතාක් ඉක්මනට එළියට එන්න. හොඳ ගැහැණු ළමයෙක් වෙන්න!

කාටවත් සමකළ නොහැකි හොඳ කෙල්ලක් වෙන්න…!

සමාදානයේ සැතපෙන්න…

Sinéad O’Connor (1966-2023)

 

-මහෙෂ් හපුගොඩ

Social Sharing
අවකාශය නවතම