රක්‍ෂිත වනාන්තර සම්බන්ධව නෛතික විමසුමක්…

ශ්රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් පරිපුර්ණ පරිසර පද්ධතියකට උරුමකම් කියනු ලබන රටකි.එහි වන ගහනය සහ ඒ ආශ්රිත ජෛව විවිධත්වය මෙරට සුන්දරත්වයට , දෙස් විදෙස් ආකර්ෂණයට , සියලුම මානව සහ සත්ව කොට්ඨාසයන්ගේ පැවැත්ම උදෙසා ලබා දෙන දායකත්වය සුවිශාලය.නමුත් ශ්රී ලංකාව තුල දිගින් දිගටම විවිධ ක්රම ඔස්සේ සිදු වන වනාන්තර විනාශය උග්ර ගැටලුවක් වී ඇති බව නොරහසකි.මෙහි ජිවත්වන අප කිසිවෙක් මෙම ස්වභාව සම්පත්හි අයිතිකරුවන් නොවන බවත් අප හුදෙක් එහි භාරකරුවන් වන බවත් එය අනාගත පරම්පරාවටද භුක්ති විඳීමේ අයිතිය දක්වා ගලා යන බවත් අමතක නොකළ යුතුය.මෙරට වනාන්තර,1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥාපනත ප්රකාරව ,
1. රක්ෂිත වනාන්තර
2. සංරක්ෂණ වනාන්තර
3.ගම්බද වනාන්තර
4.වෙනත් රජයේ වනාන්තර
ලෙස වර්ගීකරණය කර ඇත.
රක්ෂිත වනාන්තර සම්බන්ධව ප්රථමයෙන්ම ,1975 වන ආඥා පනත මගින් නීතිමය පැතිකඩක් නිර්මාණය කරන ලදී.කෙසේ නමුත් මෙහිදී රක්ෂිත වනාන්තර තුල දැව කැපීමට අවසර ලබා දී තිබුණි.නියමාකාර ලෙස වනාන්තරයක් ලෙස සුරක්ෂිත කිරීම සිදු කරනවාට වඩා දැව කැපීම සදහා අවසර ලබා දිම පනත හරහා සිදු විය.
1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥාපනතෙහි 2009 අංක 65 දරණ සංශෝධනය තුලින් රක්ෂිත වනාන්තර සම්බන්ධව ප්රතිපාදන ඇතුලත් කරන ලදී.එසේම 1995 අංක 23 දරණ සංශෝධනය මගින් “සංරක්ෂිත වනාන්තර” සම්බන්ධව ප්රතිපාදන අන්තර්ගත කරන ලදී.ඒ අනුව වර්තමානය වන විට “රක්ෂිත වනාන්තර” සහ “සංරක්ෂිත වනාන්තර” සම්බන්ධ නෛතික රාමුව තුල දැඩි වෙනසක් දක්නට නොලැබේ.
රක්ෂිත වනයක් ප්රකාශයට පත් කිරීමට සම්බන්ධ නියමයන් ,වන සංරක්ෂණ ආඥා පනතේ,II වන පරිච්ජේදයෙහි, 3 (1) වගන්තියෙහි අන්තර්ගත වේ. එනම් ,
(අ) . ඉඩම් ආපසු ගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ රජය විසින් ඉඩම් ආපසු ගත් විටෙක:
(ආ). 1897 සිට 1903 මුඩුබිම් ආඥා පනත් යටතේ හෝ ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත යටතේ හෝ කරන ලද නියමයක් මගින් රජය සතු දේපළ හැටියට ඉඩම් ප්රකාශයට පත් කොට ඇති විටෙක:
(ඇ).ඉඩම් අත්පත් ගැනීමේ ආඥා පනතේ හෝ ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන යටතේ පොදු කාර්යන් සදහා යම් ඉඩමක් රජය විසින් අත්කරගෙන ඇති විටක.
එම ඉඩම් සියල්ලම හෝ එයින් කොටසක් හෝ කොටස් රක්ෂිත වනයක් බවට ,අමාත්යවරයා විසින් ගැසට් පල කරන නියමයක් මගින් ප්රකාශයට පත් කිරීමේ හැකියාව පවතියි.එසේම නියමය මගින් වෙන් කිරීමට අදහස් කෙරෙන වනයේ සීමා මෙන්ම රක්ෂිතයක් බවට පත් කරනුයේ කවර දිනක සිටද යන්නත් ඒ නියමයෙහි නිශ්චිත ලෙස සදහන් කිරීම කල යුතුය.
3 (2) උප වගන්තිය ප්රකාරව ,3(1) වන උප වහන්තිය යටතේ රක්ෂිත වනයක් ප්රකාශයට පත් කල විට වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් රක්ෂිත වනයක් සදහා කළමනාකරණ සැලැස්මක් පිළියෙල කල යුතු වේ.එහිදී,ජෛව විවිධත්වය ,පස හා ජලය සංරක්ෂණය කිරීමේ කාර්ය සහ එහි අනන්ය පරිසර පද්ධති ,ජාන සම්පත් සහ දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ව හා වෘක්ෂලතා විශේෂද සුරක්ෂිත කිරීමේ කාර්ය සදහා නියම කරනු ලැබිය හැකි ආකාරයට එම සැලැස්ම පිළියෙළ කල යුතුවේ.
පනතේ 3 (3) උප වන වගන්තිය ප්රකාරව ,රක්ෂිත වනයක් සදහා පිළියෙළ කරන කළමනාකරණ සැලැස්ම ,වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හෝ එකී කාර්ය සදහා ලිඛිතව බලය පවරන ලද වෙනත් නිලධාරියෙකු හෝ විසින් , 3(2) උප වගන්තියේ නිශ්චිතව දැක්වෙන කාර්ය සදහා ,නියම කරනු ලැබිය හැකි ආකාරයට ,ක්රියාත්මක කරනු ලැබිය හැකිය.
3(4) උප වගන්තිය ප්රකාරව අමාත්යවරයා විසින් රක්ෂිත වනයක් හෝ එහි නිශ්චිතව සදහන් කොටසකට බලපාන පරිදි නියෝග සෑදීමේ බලය පහත සදහන් කාරණාවන් සමබන්ධව පවතින්නේය.එනම්,
(අ) .රක්ෂිත වනයක් පරිපාලනය සහ කළමනාකරණය
(ආ ).කළමනාකරණ සැලැස්මට ඇතුලත් කිරීමට නියමිත කාරණා සසහ එම කළමනාකරණ සැලැස්ම පිළියෙළ කිරීමේදී හා ක්රියාත්මක කිරීමේදී අනුගමනය කල යුතු ආකාරය සහ කාර්ය පටිපාටිය
(ඇ). රක්ෂිත වනයන්හි තිරසාර කළමනාකරණයේදී ජන කොටස්වල හා රාජ්ය නොවන අංශයේ සහභාගිත්වය ලබා ගැනීමේ කාර්ය සදහා කළමනාකරණ ගිවිසුම් පිළියෙළ කිරීම.
(ඈ). මේ උපවගන්තිය යටතේ ක්රියාත්මක කරනු ලබන ක්රියාකාරකම සම්බන්දයෙන් ,එම ගාස්තු හෝ අය කිරීම් සියලු අවස්තාවන්හිදී වනයෙන් ලබා ගන්නා මූල්යමය හෝ අන්යාකාර ප්රතිලාභවල වටිනාකමට සමානුපාත වන අයුරින් ගාස්තු හෝ අය කිරීම් පැනවීම,වලංගු ලෙස ප්රකාශයට පත් කරනු නොලැබූ යම් ප්රතිලාභයක් ලබා නොගැනීම මගින් ,මේ ආඥා පනත යටතේ වරදක් සංයුක්ත වන අතර ,එය අධිකරණය විසින් පනවන ලද දඩයක් ලෙස නිශ්චිතව දක්වනු ලැබිය හැකි පරිදි අය කර ගත යුතුය.
(ඉ). එම වනාන්තර කළමනාකරණය කිරීමට අදාලව ගිවිසුම්වලට ඇතුලත් වීම,ගිවිසුම් අවලංගු කිරීම,කොන්දේසි පැනවීම ,ගාස්තු නියම කිරීම,ආරවුල් සමථයට පත් කිරීම සදහා ක්රමෝපායන් සකස් කිරීම.
(ඊ). කළමනාකරණ හවුල්කරුන් හා ලාභයේ කොටස්කරුවන් අතර ප්රතිලාභ බෙදා හැරීමේ යාන්ත්රණයක් සකස් කිරීම.
(උ). දව නොවන වන නිෂ්පාදන සහ මැරුණු හා වැටී ඇති කෝටු ප්රාදේශීය ප්රජාව විසින් ඉන්ධන වශයෙන් භාවිතයට ගැනීමට අවසර ලබා දීමේදී අනුගමනය කල යුතු කාරය පටිපාටිය
(ඌ). රක්ෂිත වනයක් තුල කරගෙන යනු ලබන ක්රියාකාරකම්වලට අදාළ කොන්දේසි සහ
(එ). රක්ෂිත වනයක විද්යාත්මක පර්යේෂණ කිරීම සදහා අවසර දෙනු ලබන ප්රදේශ සහ එකී පර්යේෂණ කිරීමේ දී යටත්වනු ලැබිය හැකි කොන්දේසි.
තවද 2009 අංක 65 දරණ සංශෝධනය ප්රකාරව රක්ෂිත වනයක් තුල තහනම් කරන ලද ක්රියාවන් 7 (1) උප වගන්තිය තුල ඇතුලත් වේ.
(අ). අයුතු ලෙස ඇතුල්වන හෝ අයුතු ලෙස ඇතුල්වීමට සලස්වන හෝ රැදී සිටින
(ආ).ගවයන් යුතු ලෙස ඇතුල්වීමට ඉඩ දෙන හෝ තණකොළ හෝ වෙනයම් පැලෑටියක් කපන,නැතහොත් තණකොළ හෝ පැළෑටි ගවයන්ට කෑමට දෙන
(ඇ). ගසක් කපා හෙලන හෝ දැව කැපීම හෝ ඇදගෙන යාම කරන ,යම් ගසකින් පොතු හෝ කොළ හිතාමතා ගලවා දමන හෝ ගසක් පට්ටම් දමන ,කප්පාදු කරන ,යුෂ ගන්නා හෝ පුළුස්සන නැතහොත් යම් ගසකට හානි සිදුවන හෝ විනාශයක් සිදු වන යම් ක්රියාවක් කරන
(ඈ). එම වනය තුල ඇති යම් දිය පහරකට අවහිර කරන හෝ ජලනල යොදා හෝ වෙනත් ක්රමයකින් එම දිය පාරෙන් ජලය ලබා ගන්නා හෝ ජලය විෂ කරන ,ජලය අපවිත්ර කරන ,හෝ එම වනයට කැලි කසල දැමීමෙන් හෝ වනය තුලට කලි කසල බැහැර කිරීමෙන් වන පරිසරය අපවිත්ර කරන ,
(ඉ). එම වනය තුල ඇති යම් පැළෑටියක් හෝ එහි යම් කොටසක් ප්රවාහනය කරන ,ඉවත් කරන ,මුලිනුදුරා දමන හෝ විනාශ කරන,නැතහොත් යම් පැලෑටියක් හෝ පැළෑටියක යම් කොටසකට හානි සිදු කරන හෝ යම් පැළෑටියක් විකුණන හෝ විකිණීම සදහා අනාවෘතව තබන හෝ ප්රදර්ශනය කරන හෝ විකිණීම සදහා අර්පණය කරන
(ඊ). යම් පක්ෂියෙකු ,සතෙකු හෝ උරගයෙකු මරණයට පත් කරන හෝ මරණයට පත් කිරීමට තැත් කරන ,ඉවත් කරන ,ප්රවාහනය කරන ,වෙඩි තබන හෝ වෙඩි තැබීමට තැත් කරන ,අල්ලාගනු ලබන ,පුඩු අටවා අල්ලාගනු ලබන ,ඇල්ලීම සදහා උගුල් අටවන ,හිරිහැර හෝ බාධා කරන නැතහොත් එවැනි යම් පක්ෂියෙකුගේ ,සතෙකුගේ හෝ උරගයෙකුගේ යම් කොටසක් විකුණන හෝ විකිණීම සදහා තබන හෝ විකිණීම සදහා අර්පණය කරන නැතහොත් එවැනි යම් පක්ෂියෙකුගේ ,සතෙකුගේ හෝ උරගයෙකුගේ බිත්තර ගනු ලබන හෝ විනාශ කරනු ලබන නැතහොත් එවැනි යම් පක්ෂියෙකුගේ ,සතෙකුගේ හෝ උරගයකුගේ වාසස්ථානය විනාශ කරන හෝ ඉවත් කරන
(උ). ගල් කඩන ,හිරිගල් හෝ අගුරු පුළුස්සන ,වන නිෂ්පාදන එකතු කරන හෝ නිෂ්පාදන ක්රියාවලියකට භාජනය කරන ,කොරල් හෝ මොලියුස් සිප්පි කටු ලබා ගන්නා ,මිනිරන්,මැණික් හෝ වෙනත් ආකාරයේ ඛනිජ ලබා ගැනීම සදහා කැණීම් කරන හෝ පතල් හෑරීම කරන ,වැලි ,පස් හෝ වෙනත් ආකාරයේ ඛනිජ ලබා ගැනීම සදහා කැණීම් කරන හෝ පතල් හෑරීම කරන.වැලි,පස් හෝ ගල් එකතු කරන හෝ ඉවත් කරන හෝ ප්රවාහනය කරන සහ ඒ කාර්ය සදහා පුපුරණ ද්රව්ය පාවිච්චි කරන හෝ සන්තකයේ තබා ගනු ලබන ,
(ඌ). යම් ගින්නක් දල්වන ,දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩ හරින හෝ යම් ගින්නක් ඇවිලෙන්නට සලස්වන හෝ ගින්න පැතිරී යාමට ඉඩ හරින හෝ යම් ගින්නක් රැගෙන යන,
(එ). යම් ගසක් හෝ දැව කපා හෙලන ,කපන ,ඉරාන,සංවර්ධනය කරන හෝ වෙනස් කරන ,රැස් කරන ,ඉවත් කරන හෝ ප්රවාහනය කරන,වන ද්රව්ය එකතු කරන ,ඉවත් කරන හෝ ප්රවාහනය කරන නැතහොත් තම සන්තකයේ ,භාරයේ හෝ පාලනයේ තබා ගනු ලබන,
(ඒ). පලන්චියක් ඉදි කරන හෝ ලී ඉරන වලක් තනන ,
(ඔ). වගා කිරීම සදහා යම් ඉඩමක් එලි කරන ,පස් කපන හෝ යම් ඉඩමක් හාරන හෝ ගොඩනැගිලි සදහා ඉඩමක් සුදානම් කරන හෝ දැනටමත් එලි කරන ලද යම් ඉඩමක් වගා කරන හෝ යම් ස්ථිර හෝ තාවකාලික පැලක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකරන නැතහොත් එසේ ඉදි කරන ලද යම් ගොඩනැගිල්ලක පදිංචිචි වී සිටින,
(ඕ). යම් පාරක් තනන,දැනටමත් තනන ලද යම් පාරක් වෙනස් කරන හෝ එයට හානි කරන,එසේ තනන ලද යම් පාරක් පාවිච්චි කරන ,යම් තාප්පයක්,අගලක් ,ඉවුරක් ,වැටක්,කඩුල්ලක්,පීලලක්,බඩවැටියක් ,නාම පුවරුවක් ,සංඥා පුවරුවක් හෝ වෙනත් යම් මායිම් සලකුණක් හානියට පමුණුවන,වෙනස් කරන ,විරූපී කරන හෝ ඉවත් කරන ,
තැනැත්තෙකු වරදකට වරදකරු වේ.
වරදකරුවෙකු වූ තැනැත්තෙක් අවුරුදු පහක් නොඉක්මවන්නා වූ කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමකට
හෝ රුපියල් දසදහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයක් නොඉක්මවන්නාවූ දඩයකට හෝ,නැතහොත් ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දෙකටම හෝ යටත් විය යුතු බව දක්වා ඇත.
එම දඩුවමට අතිරේකව,රක්ෂිත වනයට කරන ලද යම් හානියක් සදහා අධිකරණය විසින් ,වන්දියක් ප්රදානය කරනු ලැබිය හැකි බවත්,එම වන්දි මුදල රක්ෂිත වනයකට සිදු වූ හානියේ වටිනාකමට නොඅඩු විය යුතු බවත්,අධිකරණය විසින් නියම කරන ලද දඩයක් ලෙස ගෙවීමට යටත් කොට අය කිරීම කල යුතු වන බවත් ආඥාපනත මගින් දක්වා ඇත.
එසේම, 2(1) වගන්තියේ නිශ්චිතව සදහන් යම් වරදක් කිරීමෙහිලා ආධාර හෝ අනුබල දෙන හෝ එවන් වරදක් කිරීමට ඉඩ සලසන තනත්තෙකුද වරදක් සදහා වරදකරු වන බවත් වරද සමබන්ධව සදහන් දණ්ඩනයන්ටම යටත් බවත් දක්වා ඇත.
සැකසුම : නීතිඥ සමාධි හංසනී ප්රේමසිරි
නීති නිලධාරිනි
පරිසර යුක්ති කේන්ද්රය
Social Sharing
අවකාශය නවතම විශේෂාංග