– රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය –
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ.
කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ පරිදි, රටේ ජනගහනයෙන් දුප්පත්ම දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර විස්මයට කරුණ වන්නේ ධනවත්ම දහයෙන් පංගුවෙන් 4%ක් ද සමෘද්ධි සහනාධාර ලැබීමයි.
1989දී දියත් කරන ලද ජනසවිය වැඩසටහන දේශපාලනික හේතු මත 1994න් පසුව සමෘද්ධිය බවට පරිවර්තනය කරන ලදී. අධික ලෙස දේශපාලනික වූ සමෘද්ධි වැඩසටහන විධිමත් කිරීම සඳහා 2002දී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල පනත ඉදිරිපත් කරන ලද මුත්, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සැබවින්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 2022 දී ය.
2022 අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන ලද හඳුනාගැනීමේ ක්‍රියාවලියක් ඔස්සේ සංවර්ධනය කරන ලද ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය 2023 ජුලි මාසයේ සිට ආරම්භ වේ.
දිළිඳුම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි. එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර තිබේ.
දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල් 5,000 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2,000ක් ලෙස දිගටම ගෙවීමට නියමිතය. එලෙස ආධාර ලබන පවුල් සංඛ්‍යාව දළ වශයෙන් 290,500 කි. මෙලෙස ආධාර ලබන සමස්ත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 25ක් පමණ වේ. එය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 40කට වැඩිය.
අස්වැසුම දිළිඳු සහනාධාර යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ එය ඩිජිටල් ලැයිස්තුවක් මත පදනම් වූ, ප්‍රතිලාභියාගේ බැංකු ගිනුම වෙත කෙළින්ම මුදල් බැර වන ක්‍රමයක් වීමයි.
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අනුව, 2022 ජූනි මාසය වන විට එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල රු.13,421ක් ලෙස ගණනය කර තිබිණි. දරිද්‍රතාවෙන් පීඩා විඳින පුද්ගලයන් ලෙස සැලකෙන්නේ පවුලේ ආදායමෙන් මෙම ඒක පුද්ගල වියදම සපයා ගත නොහැකි අයයි.
ඉහත සඳහන් කරන ලද LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයෙන් පෙන්නුම් කළ පරිදි, ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 70ක් මේ වන විට දරිද්‍රතාවෙන් පීඩා විඳිමින් ජීවත් වෙති. මෙම පිරිස පවුල් ලක්ෂ 20කට අයත් වෙති. ගෘහ ඒකක සංඛ්‍යාව ලක්ෂ 16කි.
ජුලි මස සිට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අයගේ තාවකාලික ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලදි. ඒ සමගම තැන් තැන්වල උද්ඝෝෂණ ආරම්භ විය. සමෘද්ධිය ලැබුණු පිරිසකගේ නම් ලේඛනයේ නැති බව කියැවිණි. එසේම, සුදුසු නැති අයගේ නම් ලේඛනයේ ඇති බව ද කියැවිණි. රජය පැවසුවේ, ලේඛනය නිවැරදි කිරීම සඳහා වහා අභියාචනා හා විරෝධතා ලබාදෙන ලෙසයි. ඒ සඳහා ජුලි 10 දක්වා කල් ලබා දී තිබු අතර අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය නිවැරදි කිරීම සඳහා ක්‍රමවේදය වූයේ එයයි.
දැනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් 1,280,747 අතරින් අස්වැසුම සඳහා ඉල්ලුම් කළ පවුල් 887,653ක් අස්වැසුමට තේරී තිබේ. විරෝධතා ඉදිරිපත් නොවුණ අයට ජුලි මාසයේ සිට දීමනා ලැබේ. විරෝධතා ඉදිරිපත් වී ඇත්තේ 62,368ක් පමණි. ආබාධිත, වකුගඩු රෝග, වැඩිහිටි දීමනා පැරණි ලේඛනය අනුව ලබාදෙයි. 983,000ක් පමණ අභියාචනා ඉදිරිපත් වී ඇත. ඒ අතරින් බහුතරය තමන්ට ලැබෙන දීමනාව ඊට වඩා වැඩි විය යුතු බවට ඉදිරිපත් කරන ලද අභියාචනා බව වාර්තා වී ඇත.
විසි වසරක් පුරාවට ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ඇප කැප වූ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වශයෙන් අප මෙම ‘අස්වැසුම’ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද මූලික අවධානයක් යොමු කර ඇත. එයට ප්‍රධානතම හේතු සාධකය වන්නේ පුරවැසියන්ගේ ආර්ථික අයිතීන් ඔවුන්ගේ ජීවිතයේ යහපැවැත්මට බෙහෙවින් බලපාන සාධකයක් වන නිසාවෙනි. මෙම අස්වැසුම ව්‍යාපෘතිය යම් සාධනීය මට්ටමකට ක්‍රියාමක වන බව පෙනී යනමුත් ඒ හරහා නිශ්චිතව මෙම ප්‍රතිලාභ අවැසි පුරවැසියන් වෙත එය ලඟා කිරීමට සිවිල් සමාජය හරහා සිදුවිය යුතු කර්තව්‍යයට යම් රුකුලක් ලබා දීම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මූලික අරමුණයි.
“දිළිඳුකම ආර්ථික ගැටලුවක් පමණක් නොවේ; එය මානව හිමිකම් ගැටලුවක් ද වේ.” – අන්ත දිළිඳුකම සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු, පිලිප් ඇල්ස්ටන්