වරද පිළිගත් කතානායක ඉල්ලා අස්වෙයි!

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදුකල බවත් ඒ හේතුවෙන් කතා නායක ධුරයෙන්, පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවත් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙමින් ටෑන් චුවාන් ජින් මහතා ප්‍රකාශ කර ඇත.

ටෑන් චුවාන් ජින් මහතා සමග එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී චෙන්ග් ලී වෙයි මහත්මියද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ටෑන් චුවාන් ජින් මහතා විවාහක දෙදරු පියෙකි. චෙන්ග් ලී වෙයි මහත්මිය චුවාන් ජින් මහතා සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර එම සම්බන්ධය ඇයගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

ටෑන් චුවාන් ජින් මහතා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන අයුරින් හැසිරෙමින් වරදක් සිදුකල බව පිළිගැනීම තමන් අගය කරන බවත් දේශපාලනයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණය තේරුම් ගත හැකි බවත්ය.

අග්‍රාමාත්‍ය වරයා ටෑන් චුවාන් ජින් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ඔහු දැරූ වගකීම් සියල්ල සංස්කෘතික, ප්‍රජා සහ තරුණ කටයුතු අමාත්‍ය එඩ්වින් ටොන්ග් මහතා වෙත පැවරීමට තීරණය කර තිබේ.පාර්ලිමේන්තු කතා නායක ධුරය දරන්නෙකුට විෂමාචාර චෝදනා එල්ල වීම කිසිසේත් සැහැල්ලුවෙන් ගත හැකි කරුණක් නොවන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ප්‍රවාහන අමාත්‍යවරයාට එරෙහිව දූෂණ ක්‍රියා සම්බනධව විමර්ශනයක් ක්‍රියාත්මක වන මොහොතක තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විෂමාචාර ක්‍රියා හේතුවෙන් ඉල්ලා අස්වීම සිංගප්පූරු පාලක පක්ෂයේ ජනප්‍රියත්වය පහළ යාමට හේතු වනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසා තිබේ.

විමුක්ති එස් රොද්‍රිගෝ

Social Sharing
නවතම පුවත් විදෙස්