ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියැවෙනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් තිබෙනවා.
කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද වාර්තා වෙන අතර දැනට අනාවරණය වී ඇති ආකාරයට මෙම හානිය රුපියල් මිලියන 286 (කෝටි 28) ක පමණ අලාභයක් යැයි ගණන් බලා ඇත.
තවද කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇති අතර ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද අනාවරණය කෙරෙනවා. මේ බව අනාවරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී බව පැවසෙයි. එතෙක් මේ කිසිවක් අනාවරණය වූ බවක් වාර්තා වන්නේ නැත. කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්වලට අමතරව ආරක්ෂිත දැල් පවා කපාගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත.
මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද මේ සම්බන්ධව සියලු වාර්තා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකර තිබෙන බව පැවසෙනවා.
පොළවේ සිට සම්බන්ධ වන තඹ කේබල් කපාගෙන යාමෙන් නව කැලණි පාලම අනතුරක ඇතැයි තමාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවේ දී හෙළි වූ බවත් ඒ අනුව වහාම ආරක්ෂාව තහවුරු කරන්නැයි වගකිවයුතු අංශවලට යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර කියනවා. මෙම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් කරන්නැයි ඔහු යෝජනා කරනවා.
මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. ‘කල්‍යාණි රන් පිවිසුම’ නව කැලණි පාලම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 නොවැම්බර් 24 දා විවෘත කරනු ලැබූවක්.