අඩි 7000ක් උඩින් ජීවත්වන මිනිස්සු!

නාගරීකරණයත් සමඟ ලංකාවේ ගම්මාන රැසක් ගැමිරික කලාප බවට පත් වෙලා තියනවා. “ගැමිරික” යනුවෙන් හඳුන්වන්නේ ග්‍රාමීය සහ නාගරික ලක්ෂණයන් ගෙන් යුත් දෙමුහුන් කලාපයකට. නමුත් එසේ දෙමුහුකරණයේ ආධිපත්‍යයට හසු නොවූ ගම්මානයක් ලංකාවේ තවම ඉතිරිවෙලා තියනවා කියලා ඔබ විස්වාස කරනවාද? සුන්දරතාවය සහ දුෂ්කරතාවය මැද හුස්ම ගන්න නැග්රැක් ගම්මානය ගැනයි මේ.

බලංගොඩට තරමක් ආසන්නයෙන් පිහිටි මිහිදුමෙන් පිරි අපූරු සීත කඳුකර ප්‍රදේශයක් තමයි, නන්පෙරියල් තේ වතුයායේ පිහිටි න්න්පෙරියල් හා නග්රැක් ගම්මාන කියන්නෙ. නන්පෙරියල් ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 5000කට වඩා උසින් පිහිටා තිබෙන අතර නැග්රැක් ගම උසින් අඩි 7000ක් වෙනවා.

වලාකුළු අතර සැඟවුණු මේ ගම අධික සීතල දේශගුණයකින් යුක්ත යි. ප්‍රවාහන පහසුකම් නැති, ඉගෙන ගන්න කිලෝ මීටර ගණනක් දුර පාසලට යන්න සිදුවන මේ ප්‍රදේශයේ සොබා සුන්දරත්වය නම් ඉහළ යි. නමුත් ඒ සුන්දරත්වයට යටින් තියෙන්නේ අතිශය දුක්බර කතාවක්.

බලංගොඩ සිට බදුල්ල පාරෙ කිලෝමීටර් 18 ක් දුරින් බෙලිහුල්ඔය පසුකළ විට ගලගම කියන පුංචි නගරය හමුවෙනවා. එතැනින් තවත් මීටර් 500 ක් වගේ යනකොට වම් පැත්තෙන් ඉහළට නන්පෙරියල් වතුයායට යන පටු මාර්ගය පිහිටා තියනවා. මේ පාරේ කිලෝමීටර් 6 ක් වගේ දුරින් කඳු අතර තමයි තේවතුවලින් වටවූ නන්පෙරියල් ගම පිහිටා තියෙන්නෙ. නන්පෙරියල් තේ ෆැක්ටරියත් පිහිටා ඇත්තේ ගමට නුදුරින්ම යි. වතුයායේ ගම්මාන පිහිටා ඇත්තේ ඊට නුදුරින්. මේ ගම් අයත් වන්නේ ගල්පොත්තැන්න කියන ග්‍රාම නිලධාරි වසමට.

වතු යායේ කොටස් හතරක ගම් හතරක් පිහිටා තියනවා. ගම් තුනක් පිහිටා තිබෙන්නේ කඳුවලින් වටවූ ගැඹුරු පාතාල වැනි බිම්කොටස්වල යි. උසින් ම පිහිටා ඇති නැග්රැක් ගම පිහිටා තියෙන්නේ හෝටන් තැනිතලාවේ ඇති ලෝකාන්තය පහළ බෑවුමේ.

නැග්රැක් ගම්මානය බදාගෙන ඉන්න කඳු පන්ති අතරින් උසින් වැඩි ම කඳු ඇත්තේ හෝටන් තැනිතලාව කඳු පෙදෙසේ. හෝටන් තැනිතලාවේ පිහිටි තොටුපොළ කන්ද හා කිරිගල්පොත්ත කන්දත්, තැනිතලාවට පහළින් පිහිටි හාගල කන්ද හා ගොංමොල්ලි කන්දත් ගම්මානය අවටින් දැකගන්න පුළුවන්. නන්පෙරියල් තේ කර්මාන්තශාලාව පිහිටි කොටසින් ඉහළට ගිය පසු උග්ගල්දූව, ඉහළ කොටස හා නන්පේරියල් කොටස්වලට මාර්ගය තැනින් තැන බෙදී යනවා. මෙම මාර්ගයේ නැග්රැක් ගමට යනවිට වැලමිට වංගු 32 ක් පමණ පසු කරන්න වෙනවා. මේ පාරේ සාමාන්‍ය වාහනයකට නම් ගමන් කිරිමට අපහසු යි. ගල් ගැලවුණු බෑවුම් වැඩි දුෂ්කර මාර්ගයේ ජීප් රථ, ලොරි, ත්‍රිරෝද, මෝටර් බයිසිකල් වැනි වාහන නම් ගමන් කළ හැකියාවක් තියනවා.

නැග්රැක් ගම පිහිටා තිබෙන අඩි 7000කට ආසන්න උසක් දක්වා අබලන් පාරේ බස් රථවලට ගමන් කිරීම කිසිසේත් කල නොහැකි කාර්යයක්. බලංගොඩින් දිනපතා පිටත්වත බස් රථය ගමන් කරන්නේ නන්පෙරියල් වත්තේ පහළ කොටසට පමණ යි. බලංගොඩින් පාන්දර 5.30ට පිටත් වන බසය තුඹගොඩ, රත්මල්වින්න, ඉඹුල්පේ, සීලෝගම, බෙලිහුල්ඔය පඹහින්න, හිරිකටුඔය පසුකරමින් නන්පෙරියල් වෙත පැමිණෙනවා. ඉන් පසු තවත් ගමන් වාර කිහිපයක් ද බසය සිදු කරනවා. කලකට පෙර නන්පෙරියල් තේ කම්හල දක්වා බසය ගමන් කළත් පාර අබලන්වීම නිසා දැන් එය ගම පටන් ගන්නා තැනට පමණයි ගමන් කරන්නේ. නන්පෙරියල් තේ කම්හල අසලින් ඉහළට වාහනවලින් ගමන් කිරීමේ දී වතු බලධාරීන්ගෙන් අවසර ගත යුතු වෙනවා. ‍ නන්පෙරියල් සිට ඉහළට දිවෙන පාරේ සමහර ස්ථානවල කොන්ක්‍රිට් අතුරා තිබුණත් බොහෝ ස්ථාන ඉතාමත් අබලන් ව පවතිනවා.

දකුණු ඉන්දියාවෙන් මුලින් ම පැමිණි දා පටන් පරම්පරා කිහිපයක් තිස්සේ තේ වතු යායවල් වල සිට වලාකුළුවල ගෑවෙමින් දිවිගෙවන මේ ජනතාවගේ එකම ජීවන වෘත්තිය දළු කැඩීම යි. නමුත් මේ වනවිට තම දරුවන්ට උගන්වා වෙනත් රැකියා සඳහා යැවීමේ බලාපොරොත්තුව ද වැඩිහිටියන් තුළ තිබෙනවා. නන්පෙරියල් විවේගානන්ද වතු පාසල පිහිටා තිබෙන්නේ නැග්රැක් කොටසට පැමිණීමට පෙර කන්ද පාමුලයි. ඒ වෙත ගමේ සිට දුර කිලෝ මීටර 12ක බෑවුමක් තරණය කළ යුතු වෙනවා. වත්තේ බොහෝ දරු දැරියන් එම පාසලට යන අතර එම දරුවන්ව පාසලේ නේවාසිකව නවතා ඇත්තේ මාපියන්ට ගමනාගමන පහසුකම් හෝ පොදු ප්‍රවාහන පහසුකම් එම ස්ථානයට නොමැති නිසයි.

නන්පේරියල් දක්වා එන ලංගම බස් රථය නැග්රැක් ගම්මානයට නොඑන නිසා ගමේ ජනතාවට තම අවශ්‍යතා ලබා ගැනීමට කිලෝ මීටර 8ක් කඳු නගින්න බසින්න සිදුවෙනවා. මේ ගම්වල වැසියන්ට තැපැල් කන්තෝරුවක් හෝ බැංකු පහසුකම් පවා නොමැත. ප්‍රදේශයේ පිහිටා තිබෙන එකම වතු රෝහල ඇත්තේ කන්ද නැගීම ආසන්නයේ නන්පෙරියල් කොටසේ පාමුලයි. ගමේ වතු නිවාසවල තත්ත්වයත් සතුටුදායක නැති තරම් ය. කුඩා ලයිම් කාමරවල විදුලිය නොමැතිව දිවිගෙවන ඔවුන් පෙට්‍රල් මැක්ස් ලාම්පු සහ භුමිතෙල් ලාම්පුවලින් ආලෝකය ලබා ගන්නවා. වත්තේ පහළ සමහර කොටස්වලට මේ වනවිට විදුලිය ලැබී තිබුණත් නැග්රැක් ගම්මානයට විදුලිය අහිමියි. ඔවුන්ගේ සෑම නිවසක් ම පහේ තහඩු සෙවිලි කර තිබෙනවා. එම නිවාස පවා දැන් අබලන්ව ගොසින්. අඩි 7000ක් උසින් පිහිටා තිබෙන මේ ගම්මානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත සංවර්ධනය කිරීමට පාලකයන් ගේ උනන්දුවක් නැත. එම නිසාම ගම්වැසියන් ගේ ජීවිත වල දියුණුව දිනෙන් දින ලෝකාන්තයෙන් එපිටට විසී වී යෑම නැවැත්වීමට නොහැකියි.

Social Sharing
නවතම විශේෂාංග