ප්‍රේමයේ සම්බෝධය – Enlightenment Love

-සාලිය ඉඳුරුවිතාන-

(මිනිස් සංවේදනාවන්ගේ අවිඥානය සෞන්දර්යාත්මක සාරයක් ලෙස) පසුගිය දවස්වල මම අපේ දෘශ්‍ය කලා ශිල්පීන් කීප දෙනෙක් සමග දෘශ්‍ය කලාව ගැන යම් කතා බහක යෙදුනා. ඇත්තටම කිව්වොත් ඒ කතා බහ තුලදී මට හැගී ගිය දෙයක් තමයි එයාල අඳින චිත්‍ර ගැන කිසිම සංකල්පීය, චින්තනමය හා දාර්ශනික අදහසක් නැහැ කියන එක. ඒ හැම දෙනාම කියා සිටියේ තමන්ට එහෙම අදහසක් නැහැ, සිතට එන දෙයක් කැන්වස් එකේ අඳිනවා කියලා. එයාලගේ සිතුවිලිවලට එන අදහස් මොනවාද කියලා මම ඇහුව්වම, ඒ අය කියා සිටියේ එහෙම නිශ්චිත අදහසක් නැහැ කියලා. සමහර අය කියා සිටියා ලස්සන Beauty, සෞන්දර්ය Aesthetic වගේ දේවල් තමයි එයාලගේ චිත්‍රවල මූලික වෙන්නේ කියලා. මම ඊට පස්සේ ඇහුවා Beauty, Aesthetic ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා.

ඇත්තම කිව්වොත් ඒ කිසිම දෘශ්‍ය කලා ශිල්පියෙකුට Beauty, Aesthetic ගැන තියා, වෙනත් සමාජ දේශපාලන කාරණා ගැනවත් එහෙම බරපතල අදහසක් නැහැ. ඉතිං, අපේ දෘශ්‍ය කලා පීඨවල දාර්ශනික දුගී භාවය තමයි එයින් පිළිබිඹු වෙන්නේ සහ ඒ නිසා තමයි මේ සටහන ලියන්න හිතුනේ. මේවා ලිව්වම හතුරෝ ටිකක් හැදෙනවා මිස මට වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒත් අපේ දෘශ්‍ය කලාවේ ඇති අදේශපාලනයේ චින්තනමය හිස්කම නොලියා ඉන්නත් බැහැ. මේ දෘශ්‍ය කලා ශිල්පීන් සමග කතා කලාම මට දැනුන “නරුම ” අදහස තමයි “මේ අයගෙ චිත්‍ර ඉතාමත් අධික මිලකට මොන මගුලකට අරන් ගිහින් බිත්තිවල එල්ලගන්නවද ” කියන එක.

කලා කෘතියක් කියන්නේ මිනිස් අවිඥානයේ ගැබ තුලින් බිහිවෙන මානසික චින්තනයේ නිර්මාණශීලී පිළිඹිබුවකි. කලාව කියන්නේ යම්කිසි ආකාරයකින් මිනිසා තුළ පවත්නා සුඛ්‍ය, දුඛ්‍ය සංවේදනාවලින් බැහැර වීමට උත්සාහ කරන බුද්ධිමය හා මානසික වශයෙන් දාර්ශනික වටිනාකම, වෙනත් කිසිම දෙයකින් මිනිසාට ලඟා කරගත නොහැක. ඒ නිසාමයි කලාව දෙවියන් සතු පරමත්ව අදහසක් Absolute idea බව දාර්ශනිකයින් අර්ථකථනය කර තිබෙන්නේ.

වෙනත් කලාවන්ට වඩා චිත්‍ර කලාව මානව පැවැත්මේ සෞන්දර්යාත්මක ප්‍රගතියට මහත් බලපෑමක්කර ඇති අතර, චිත්‍ර කලාවේ විවිධ ශානරයන් ලෝකය පුරාම ව්‍යාප්තව වී ඇත. චිත්‍ර කලාව කියන්නේ, චිත්‍ර ශිල්පියෙක් ඔහුගේ පින්සලට පිටුපසින් ඇති මානසික චින්තනමය ලෝකය හරහා හිස් කැන්වසයක් මත චිත්‍රණය කිරීමයි. පින්සල් පහර පිටුපසින් සමාජ දේශපාලන, ආගමික, දාර්ශනික චින්තනමය කාරණා මෙන්ම, තම පුද්ගලික ජීවිතේ අභ්‍යන්තරික බිඳ වැටීම්වල සංකීර්ණ මානසික තත්වයන් මෙන්ම, නිශේධනාත්මක ආත්මීය හැගීම් Reverie කැන්වසය මතින් මත්වෙන්නත් පුළුවන්. එහෙත් බොහෝ දෘශ්‍ය කලා ශිල්පීන්ට එහෙම සමාජ දේශපාලන දාර්ශනික මෙන්ම, සිත රිදුම් දෙන මානසික තත්වයක් නැහැ. ඒ අය කරන්නේ පවතින සමාජ සංදර්භයට හොඳටම අනුගත වී තමන්ගේ කුරුටු බලි වැනි චිත්‍ර ටික විකුණාගන්නට පාර හදාගන්න එකයි.

විශිෂ්ට කලා කෘතීන් නිර්මාණය වෙන්නට නම්, ඒ පිටුපස විශාල සංකල්පීය, චින්තනමය, හා දාර්ශනික පසුබිමක් තිබෙන්නට අවශ්‍යයි කියන කාරණය මම තදින්ම විශ්වාස කරනවා. එහෙත් අපේ සමාජය තුළ එහෙම දාර්ශනික කතිකාවක් නැහැ වගේම, කලා කෘතියක් නිර්මාණය කරන්නට සංකල්පීය හා චින්තනමය පසුබිමක් අවශ්‍ය නැහැ කියන එක අපේ ඊනියා කලා කරුවන්ගේ හා ඊනියා බුද්ධිමතුන්ගේ අදහසයි. සොබාදහම අනෙකා කරගෙන ප්‍රාග් මානවයා විසින් කල කලා නිර්මාණ තුලින් කිසියම් ඥානාන්තමක බුද්ධියක් Cognitive Intelligence හෝ චීත්තවේගාත්මක බුද්ධියක් Emotional Intelligence ඇතිවෙන්නේ නැත්තේ, එම කලාවන් මනෝභාවාත්මකව Conceptual කල නිර්මාණ නොවන නිසයි.

යම්කිසි මනෝභාවාත්මක කලා කෘතියක් ප්‍රේක්ෂිකාවක් විසින් රස විඳීමෙන් පසු, එම ප්‍රේක්ෂිකාව තුළ ජීවිතේ අර්ථය දෙස එබී බැලීමට විශාල සිතුවිලි දහරාවක් තම මානසික ලෝකය තුළ නිර්මාණය වන්නේය. මිනිසා තුළ ඇති සහජ ශක්තිය සංවේදනාත්මකව ප්‍රකාශ කරන්නට නම්, තම මානසික ලෝකය සංකල්පීය වශයෙන් දියුණු තත්වයක තිබිය යුතුයි වගේම එමගින් තමයි එම කලා කෘතිය හා මානසික සහසම්බන්දතාවය ගොඩනගා ගන්නට හැකි වෙන්නේ. ලෝකය පුරා විවිධ ශානරයන් යටතේ චිත්‍ර කලාව බිහිවූ අතර, ඉතාලියානු මහා පුනරුදය Renaissance කලාවේ මහා හැරයුම් ලක්‍ෂය විය. මේ පුනරුද යුගයත් සමග බිහිවූ චිත්‍ර කලා ශානරයන් අතර, Rococo කලාවට සුවිශේෂ තැනක් හිමි වෙන්නේ එය සෞන්දර්යවේදය Aesthetics පදනම් කරගෙන බිහිවූ කලා ශානරයක් වන නිසාය. මේ කලා සාම්ප්‍රදාය ලස්සන Beauty සහ සෞන්දර්ය Aesthetic කියන අලංකාර ස්වභාවය මොන තරම්ද කියනවා නම්, Rococo චිත්‍ර කලාව මරණයට පවා ජීවිතය ගෙනදෙන තරම් ආත්මීය අලංකාර ජීවන යතුරක් මෙම චිත්‍ර තුළ ගැබ්වී තියෙනවා.

සෞන්දර්යවේදය Aesthetics කියන සංකල්පය මුල් වරට සංකල්පීය වශයෙන් හඳුන්වා දෙන්නේ 1750 දී පමණ ජර්මන් ජාතික Alexander Baungarten ගේ Aesthetica කෘතිය හරහායි. ඉන්පසු කාන්ට් ගේ Critique of Judgment කෘතිය හරහාද මෙය තව දුරටත් විකාශනය වුන අතර, මේ වනවිට සෞන්දර්යවේදය කියන සංකල්පයට විවිධ දාර්ශනික අර්ථකතනයන් ලබා දී ඇත. ඒ කෙසේ වෙතත් සෞන්දර්ය Aesthetics කියන සංකල්පය මූලික වශයෙන් අර්ථ ගැන්වෙන්නේ හැගීම් Feelings දනවන රෝමාන්තික කලාපයටයි. Rococo චිත්‍ර කලාව කියන්නේ එහෙම හැගීම් දනවන විචිත්‍රවත් චිත්‍ර කලාවක්. එය එතරම්ම සුන්දරත්වයෙන් අනූනයි. ඒකයි Rococo චිත්‍ර කලාව මරණයට පවා ජීවිතය ගෙන දෙන තරම් කලාවක් කියන්නේ.

ලස්සන සහ සුන්දරත්වය කියන එකේ දළ අදහස වත් දන්නේ නැති අපේ දෘශ්‍ය කලා ශිල්පීන්ට, Rococo කලාවේ පුරෝගාමියෙක් වන Francis Boucher ගේ මේ Enlightenment Love කියන මේ චිත්‍රය ලස්සන, සුන්දරත්වයට හොඳම උදාහරණයකි.

ඔබගේ භාෂා ලෝකය විශාල වී, එය අවිඥානයක්‌ ලෙස ඉහලට එසවෙන තුරු, සැබෑ සුන්දරත්වයේ අරුත් චිත්‍රණය කරන්නට මේ සංසාරේදී නම් කල නොහැක.

ආමේන්..

Social Sharing
අවකාශය නවතම