සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය

Homosexuality and Sri Lankan Culture

(පළමුවන කොටස )

අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු අනුමැතිය කෙසේ වෙතත්, “සමලිංගික ප්‍රශ්නය” නමින් සරලව හැඳින්වෙන මෙය ගැඹුරින් සාකච්ඡා කලයුතු මාතෘකාවකි.

වත්මන් සිංහල ලියන කියවන සමාජයේ ඕනෑම ගැටලුවක් සාකච්ඡා කෙරෙන්නේ ඉතාම නොගැඹුරු ලෙසය. සංකීර්ණ ප්‍රශ්නයක් සරල කොට ඒ සරල ප්‍රශ්නයට “ඔව්“ හෝ “නෑ“ වැනි “සුදු-කළු“ පිළිතුරක් සෙවීම අපට ආවේනික ලක්ෂණයයි. දැන් අපට ගැටලුවක්ව ඇත්තේ සමලිංගිකත්වය නීතිගත කරනවාද නැත්ද යන “සරල ප්‍රශ්නය” ට උත්තරයෙකි. ඊනියා දේශප්‍රේමීන්ට අනුව දේශද්‍රෝහීන් සමලිංගිකත්වයට පක්ෂ අතර, දේශප්‍රේමීන් මෙයට විරුද්ධය. දෙපස සටන් කඳවුරු බෙදෙන අයුරු දෙස බලන විට නැවත “සමලිංගිකත්වයට පක්ෂ බටහිර ගැති, එන්.ජී.ඕ ඩොලර් කාක්කන්” දෙසට “දේශප්‍රේමී, ජාති හිතෛශී සමලිංගික විරෝධී” කඳවුර චෝදනා එල්ල කරන නිසා, මේ සටනින් දෙවැනි කඳවුර තරවෙනු ඇත. මේ සටන උසාවියක නඩු තීන්දුවකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත වන පනතකින් අවසන් නොවනු ඇත.  සමරිසි හැසිරීම් වලට විරුද්ධ සටන දිගින් දිගටම ගෙනයෑමට ඊනියා දේශප්‍රේමීන් පෙළඹෙනු ඇත. සමලිංගිකත්වයට විරුද්ධ මේ දේශප්‍රේමීන්ට නායකත්වය දීමට පල්හොරුන් එන්නේ ඊළඟ වටයේදීය. වැඩිකල් නොගොස් රට, ජාතිය, ආගම බේරා ගැනීමේ “පරම පවිත්‍ර චේතනාවෙන්” සිංහල,බෞද්ධ බහුතරය දේශප්‍රේමී, ජාති හිතෛශී පල්හොරුන් සමඟ එක්වෙනු ඇත. මෙයින්, මං පහරා රට විනාශකළ හොරුන්ට නැවත ජාතිය, ආගම හා සංස්කෘතිය බේරාගැනීමේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටීමට අවස්ථාව ලැබේ.

දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්

මේ කරුණ ගැන විමසීමේදී ශ්‍රී ලංකාවේ 76% ක් වන බහුතරයක් සිංහල ජන කොටසට අයිතිවන බවත්, එසේම 71% ක් බෞද්ධයන් වන බවත් කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. මේ බහුතර ජන කොටසෙහි සංස්කෘතිය මේ රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාව වේ. මේ ජන කොටස  දෙමල, මුස්ලිම්, ආදිවාසී , බර්ර්ග හා අනෙකුත් ජනකොටස් සමඟත්, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා අනෙකුත් ලබ්ධිකයන් සමඟ චිරාත් කාලයක් තුල මේ දිවයිනේ සමගියෙන් ජිවත් විය. ඉතිහාසයේ වැඩි කලක් මොවුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් ජීවත්වූ අතර මේ සාමය බිඳී ගියේ කෙටි කලකට පමණි. සිංහල බෞද්ධ නායකයන් විසින් මං පහරා විනාශ කල මේ දේශයේ අද එක්ව දුක් විඳින්නේ මේ සියළු ජන කොටස්ය. මේ විනාශයට මුලික හේතුව රටේ ධනය අපේ සිංහල බෞද්ධ නායකයන් විසින් නාස්ති කොට සොරකම් කිරීම මිස, අපරදිග හෝ පෙරදිග රටක්, අපට වින කැටීම නොවේ. රටේ අද පවතින තත්ත්වය වෙනත් රටක කුමන්ත්‍රණයක් නිසා ඇති වූවක් යැයි සිංහල බෞද්ධයන්ට ඒත්තු ගැන්වීම, මේ පල් හොරුන්ගේ අලුත්ම ව්‍යාපෘතියයි.

රටේ දහසකුත් එකත් දැවෙන ප්‍රශ්න තිබියදී, එවන් තවත් බටහිර කුමන්ත්‍රණයක් යැයි මේ පල් හොරුන්ට අර්ථකථනය කල හැකි මාතෘකාවක් කරලියට ඒම අතිශයින්ම සැක සහිතය.”සමලිංගික ප්‍රශ්නය” යැයි සරලව හැදින්වෙන මේ සංකීර්ණ කරුණ ගැන දිගු කාලීන සිංහල බෞද්ධ සංස්කෘතියෙන් උගත හැකි පාඩම් මොනවාදැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. එවිට, බටහිර සංස්කෘතියේ සැබෑ ගැත්තන් කවුරුන්දැයි ඔබට වැටහෙනු ඇත.

සංස්කෘතියක ස්වභාවය

සංස්කෘතිය යන වචනයට පොදු එකඟතාවයක් ඇති නිර්වචනයක් නැත. ජන කොටසක සංස්කෘතියක ප්‍රධාන අංග වනුයේ පොදු විශ්වාස, ආචාර ධර්ම, භාෂාව, ඇදහිලි, ආකල්ප වැනි දේය. යම් ජන කොටසක් තුලම මේ සම්බන්ධයෙන් වෙනස්කම් තිබිය හැකිය. එසේ නමුත්, පොදුවේ හඳුනාගත හැකි ලක්ෂණ අනුව ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතික ලක්ෂණ වලින් සමන්විතය.

ලොවෙහි අනෙක් සංස්කෘතීන් සමඟ ගනුදෙනු කරන, ගැටෙන කිසිම ජන කොටසක සංස්කෘතිය වෙනස් නොවී නොපවතී. එසේ වෙනස් නොවෙන සංස්කෘතීන් ඇත්තේ හුදෙකලා, වනචාරී ගෝත්‍රිකයන්ට පමණි. වසර දෙදහස් පන්සියයක් තුල සිංහල බෞද්ධ සංස්කෘතියද ක්‍රමයෙන් පරිණාමය විය. ග්‍රන්ථාරූඩ කර ඇති ත්‍රිපිටකය හැරුණු කොට සිංහලයන්ගේ හා සිංහල බෞධයන්ගේ ඇදහිලි, වන්දනා ක්‍රම, භාෂාව, ඇඳුම්-පැළදුම්, ආචාර ධර්ම, කෑමබීම, පාලන ක්‍රමද මෙසේ වෙනස් විය. මුග්ධ, ඊනියා “දේශප්‍රේමීන් දාර්ශනිකයන්”  සිතන්නේ වසර දෙදහසකට අධික කලක් තිස්සේ සිංහල බෞද්ධයන්ට නොවෙනස් වූ සංස්කෘතියක් තිබුණු බවය. කිසිදා නොවෙනස්ව පැවතුනේ යැයි ඔවුන් සිතන මේ සංස්කෘතිය රැකීම මේ අයගේ සටනයි. මේ මෝඩයන් රැලට නායකත්වය දෙන කපටියන්ට නම් සංස්කෘතිය යන වචනය වත් හරිහැටි ලියාගත නොහැක. අං තට්ටුවක් බැඳ තමන්ගේ කුඹුර හා ගත හැකි මී හරක් රැළක් සොයා ගැනීම මේ පල් හොරුන්ගේ අරමුණයි.

එසේම යම් සංස්කෘතියක් අන් සංස්කෘතියක් සමඟ සැසඳීමේදී කිසි විටකත් අප අනෙක් සංස්කෘතියේ ලක්ෂණ හෙළා දැක, පහත් කොට, සැලකීම වැරදිය. යම් ජන කොටසකට පොදු සංස්කෘතික ලක්ෂණයක් ඇති වන්නේ ඓතිහාසික හා භූ දේශපාලන සාධක මතය. සංස්කෘතියක් තුල අද ලොවට නොගැලපෙන යම් ලක්ෂණයක් ඇත්නම් එය එසේ තේරුම් ගැනීමෙන් ඔබ්බට ගොස්, ඒ සංස්කෘතික ලක්ෂණය ඇති ජන කොටස හෙලාදැකීම ගැටුම් වලට මුලපුරයි. “සම ලිංගික ප්‍රශ්නය” ගැන විමසීමේදී මේ කරුණු මත පිහිටා කටයුතු කිරීම වැදගත් වේ.

සමලිංගික ප්‍රශ්නය

සමලිංගික ගැටළුව ලෙස ඉතා සරලව, එයට ආවේනික පරිදි සමාජගතව ඇති මේ මාතෘකාව ඇත්ත වශයෙන්ම ලොවෙහි හැඳින්වෙන්නේ LGBTQ සාකච්ඡාව ලෙසය. මෙහි එක් එක් ඉංග්‍රීසි අකුරට වෙනස් අරුත් තිබේ.

 

L – Lesbian       –  කාන්තාවන් සමඟ ලිංගිකව ඇසුරු කරන කාන්තාවන්

 

G – Gay            –  පිරිමින් සමඟ ලිංගිකව ඇසුරු කරන පිරිමින්

 

B – Bisexual      – විරුද්ධ ලිංගිකයන් හා සමලිංගිකයන් සමඟ ලිංගිකව හැසිරෙන්නන්

 

T – Transvestite – තමන්ට උපතින් ලැබුණු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරෙන්නන්

 

Q- Queer  – ලිංගිකත්වය හරි හැටි හඳුනාගත නොහැකි අය- නපුංසක (සිංහල), පන්ඩක (පාලි)

 

ළමා අපචාර හා ලිංගික බලහත්කාරකම්

මේ සාකච්ඡාවෙන් ළමා අපචාර හා ලිංගික බලහත්කාරකම් වෙන් කර හඳුනාගැනීම අතිශයින් වැදගත් වේ. වයසින් අඩු ළමුන් සමඟ ලිංගිකව හැසිරීම ළමා අපචාර ගණයට වැටෙන දඬුවම් ලැබිය හැකි වරදකි. අනෙකෙකු සමඟ ලිංගිකව බලහත්කාරයෙන් හැසිරීම ලිංගික දුෂණයකි. මේ ලිංගික දුෂණ හා ළමා අපචාර විරුද්ධ ලිංගිකයන් මෙන්ම සමලිංගිකයන් අතරද සිදුවිය හැකි, දඬුවම් ලැබිය හැකි වරදකි. ශිෂ්ට සම්පන්න ඕනෑම සමාජයක ළමා අපචාර හා ලිංගික දුෂණය සමාජය හෙලා දකිනු  පමණක් නොව, එය නීති විරෝධී වේ. අද ඇති වී ඇති සාකච්ඡාව ළමා අපචාර හෝ ලිංගික දුෂණයන් නීතිගත කිරීමක් පිළිබඳව නොවේ. “සමලිංගික ප්‍රශ්නය” යැයි සරලව හඳුනාගෙන ලය කම්පා කරගෙන වේදනාවෙන් කෑ ගසන ගිහි පැවිදි බොහෝ දෙනා සිතන්නේ, අද ඇති සාකච්ඡාව ළමා අපචාර හෝ ලිංගික දුෂණය නීතිගත කිරීමක් පිළිබඳව ගැන බවයි.

බුදු දහමේ කාම මිත්‍යාචාරය

“සමලිංගික හැසිරීම්” ලෙස සරලව හැදින්වෙන LGBTQ ගණයට අයිතිවෙන ලිංගික චර්යාවන් “කාමමිත්‍යාචාරයට” අයිති වන පාප කර්මයක් යැයි, බුදුදහම නිසි ලෙස නොදන්නා සිංහල බෞද්ධ ඇතැමුන්ගේ අදහසයි. මේ  මතයෙහි මුග්ධ බව ගැන ග්‍රන්ථයක් පළකිරීම බුදුදහම ගැන ගැඹුරු දැනුමක් ඇති ගිහි පැවිදි උගතුන්ට භාර කරමි.

මාගේ දැනුමේ හැටියට  බුදුදහමෙහි මුලික සංකල්පයක් වන “කර්මය” ගැන මෑත කාලයේදී කර ඇති ගැඹුරුම විග්‍රහයන් සරලව ඉදිරිපත්කල යතිවරයාණෝ “රේරුකානේ චන්දවිමල” මහ නාහිමිය. උන්වහන්සේගේ “බෞද්ධයාගේ අත්පොත” හි සඳහන් කාමමිත්‍යාචාරය ගැන ඇති ලියවීම මෙහි සම්පුර්ණයෙන්ම උපුටා දක්වන්නේ මේ වැරදි අදහස මුළුමනින්ම උගුළුවා දැමීමටය. ඒ සඳහන මෙසේය ” සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නාවූ ස්ත්‍රියක හා බලයෙන් හෝ  සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාම මිත්‍යාචාර පාපය වේ. හිමියන් තමන් රක්ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් හා කාමයහි හැසිරීමෙන් ස්ත්‍රියට කාම මිත්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිත්‍යාචාර පාපය වේ. සැමියෙකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

 

  1. සේවනය නොකල යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීමය.

 

  1. සේවන චිත්තය ඇතිවීමය

 

  1. සේවනයට උත්සාහ කිරීමය

 

  1. සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීමය යන අංග සතර සම්පුර්ණ වීමෙන් කාම මිත්‍යාචාරය වේ.”

 

කාමයෙහි හැසිරීමේදී බලහත්කාරකම් කිරීම හෝ ආරක්ෂා කෙරන යන මුලික අදහස් දෙක මේ පාඨයන් උගත හැකි ඉතා වැදගත් සංකල්ප වේ. එසේම යමෙකුට ශාරීරික පිඩාවක් කිරීම කාමමිත්‍යාචාරයට අයිති නොවුනත්, පාපයකි. කවරෙකුට කලත් ලිංගික දුෂණය පාපයක් වන්නේ එනිසාය. බුදුදහම සියලු ආකාරයේ ලිංගික හැසිරීම් සසර ගමන දිගු කරන ක්‍රියාවන් ලෙස සලකනවා මිස,  LGBTQ ගණයේ ලිංගික හැසිරීම් අන් ලිංගික හැසිරීම් වලින් වෙන්ව නොසලකයි. LGBTQ ගණයට අයිතිවෙන ලිංගික චර්යාවන්, කාමමිත්‍යාචාර ගණයට අයිතිවන්නේ යැයි බුදුදහමේ කොතැනක හෝ සඳහන්ව ඇත්දැයි ඔප්පු කිරීම,”සිංහල බුදුදහම” රැකීම සඳහා පෙනී සිටින, දේශමාමක උපාසක උපාසිකාවන්ට භාර කරමි.

බුදු දහමේ LGBTQ ගැන සඳහන් නොවන්නේ බුදුන් වහන්සේ වැඩ විසූ යුගයේ සමාජයේ එවන් හැසිරීම් නොතිබුණු නිසා යැයි තවත් තර්කයක් නැගෙන්නට ඉඩ ඇත. එවැනි තර්කයක් නගන්නන් විනය පිටකයේ පාරාජිකා පාලි කොටස කියවුවහොත්, අද සමාජයේ දක්නා සියලු ආකාරයේ ලිංගික චර්යාවන් එකල සමාජයේද තිබුණු බව වැටහෙනු ඇත. පාරාජිකා පාලිය භික්ෂුන්වහන්සේලාට පැනවූ විනය ශික්ෂාපද ඇති ත්‍රිපිටකයේ කොටසක් වන අතර එහි  LGBTQ ගණයේ සියලු ලිංගික ක්‍රියාද විස්තර කෙරේ. එහිද, සියලු ආකාරයේ ලිංගික ක්‍රියා භික්ෂුන් වහන්සේලාට අකැප කිරීමක් මිස,  LGBTQ ගණයේ  ලිංගික හැසිරීම් අන් ලිංගික හැසිරීම් වලින් වෙන්ව සලකා නැත. බුදුදහමෙහි මෙවන් ලිංගික චර්යාවන් ඇති අය අසාමාන්‍යය ලිංගික චර්යාවන් ඇත්තන් සේ සැලකීමක් කර නැත.

නපුංසක වචනයෙහි අරුත

පන්ඩක ලෙස පාලි බසින් හැඳින්වෙන, නපුංසක යැයි සිංහල බසින් ව්‍යවහාර වන ලිංගේන්ද්‍රි නොමැති අය හෝ උභය ලිංගිකයන් ලෙස පාලි බසින් හැඳින්වෙන ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම පිහිටා ඇති අය එසේ වන්නේ, ඔවුන්ගේ සිරුරෙහි උපතින්ම ඇති ජානමය හෝ හෝමෝනමය වෙනස්කම් නිසාය. මෙවන් භෞතික සාධක මත LGBTQ ප්‍රජාවට අයිති වන්නන් අතිශය සුළුතරයකි. මෙවන් සිරුරේ භෞතික වෙනස්කම් ඇත්තන්ට එම භෞතික වෙනස මහණවීමට බාධාවක් නොවන නමුත් සාමනේර පැවිද්දෙන් ඉහලට ගොස් උපසම්පදාව ලබා ගැනීම විනය නීති මගින් තහනම් කොට ඇත. මේ තහනම පනවා ඇත්තේ භික්ෂු භික්ෂුණී සාසනය තුල සමාජයේ ගෞරවයට බාධාවෙන හෝ දුෂ්කර මහණදම් පිරීමට බාධාවන කායික ප්‍රශ්න ඇති අයට සාමනේර පැවිද්දෙන් ඉහලට යාමට ඉඩ නොතැබූ නිසාය. ඒ බව පැහැදිලි වන්නේ භෞතික ලිංගික වෙනස් කම් ඇති අයට පමණක් නොව, අංගවිකල වුවනට, සමෙහි කබර ඇති පුද්ගලයන්ට පවා උපසම්පදාව ලබාදීම තහනම් කර ඇති නිසාය. කුමන ආකාරයේ හෝ ලිංගික ක්‍රියාවක නියුතුවීම භික්ෂුවකට අකැප නිසා හා එය මහණකමින් නෙරපීමට හේතුවන නිසා භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ ලිංගික හැසිරීම සමලිංගිකද, විරුද්ධ ලිංගිකද යන ගැටලුව ශාසනය තුල පැන නොනඟී.

ශ්‍රී ලාංකික සංස්කෘතියේ ලිංගික හැසිරීම්

සමලිංගික හැසිරීම් වලට බලවත් සේ විරුද්ධ වන්නන්ගේ ප්‍රබල තර්කයක් වන්නේ එවන් හැසිරීම් ශ්‍රී ලාංකික සංස්කෘතියට විරුද්ධ බවයි. ඔවුන් නිර්මල ශ්‍රී ලංකික සංස්කෘතිය ලෙස සලකන්නේ  බටහිර බලපෑමෙන් ” අපවිත්‍ර නොවූ ” සංස්කෘතිය නම් ඒ ගැන අප මුලින් විමසා බලමු.

ශ්‍රී ලංකාවේ චිරාත් කාලයක් තුල පැවතියේ පැවතියේ යම් අයෙකුගේ ලිංගික ජීවිතය, ලිංගික චර්යාවන්  හා සරණ පාවා ගැනීම් පොදු සමාජයට හානියන් නොවන්නේ නම් ඒවා නිහඬව ඉවසන සංස්කෘතියකි. ලිංගික හැසිරීම් අනවශ්‍ය ලෙස තළු මරමින් උලුප්පා දැක්වීම හෝ හෙලා දැකීම අපගේ ජන සංස්කෘතියේ අංගයක් නොවීය. සමාජයට හෝ රටට හානියක් නොවෙන තාක් කල්, ශ්‍රී ලාංකිකයන් අන් අයගේ ලිංගික හැසිරීම් වලට අත නොපෙවීය.

බුදුසමය ලංකාව තුල ජන ජීවිතයේ එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික ජිවිතයේ අංගවලට ඇඟිලි නොගැසීය. මේ ඉවසීම අද දක්වා අප සමාජයේ නිහඬව පවතී. බටහිර රටවල දේශපාලඥයෙකුගේ පුද්ගලික ලිංගික හැසිරීම් ඇතැම් විට රජයන් බිඳ වැටෙන තරම් ප්‍රබල වන නමුදු, ලංකාවේ මිනිසුන් ඒ පිළිබඳව නොතකයි. රාජ්‍ය පාලනයට බාධාවක් නොවන්නේ නම්, යම් අයෙකුගේ පුද්ගලික හැසිරීම  රටකට බලපාන්නේ කෙසේදැයි වටහා ගැනීම අපහසුය.

ආගමික සංස්ථා පුද්ගලික ජිවිතයට ඇඟිලි ගැසීම, බටහිර සංකල්පයක් මිස ශ්‍රී ලාංකික සංකල්පයක් නොවේ. බටහිර මෙන් නොව ලංකාවේ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් ආගමික ආයතනයක  ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් අප රට තුල නොතිබිණි. මේ කිසිම ක්‍රියාවකට බලහත්කාරයෙන්  සම්බන්ධවීම භික්ෂුන් වහන්සේලා නොකළ අතර, පන්සල සම්බන්ධ නොවීය. ඕනෑම ක්‍රියාවකට උපදෙස් හෝ ආශීර්වාදය ගිහියන් ඉල්ලා සිටි විට, එය ලබාදීම මිස, අන් කිසිවක් භික්ෂුන් වහන්සේලා නොකළේය.

ලංකාවේ රජවරුන්ට බිසවුන් සරණපාවා ගැනීම ගැන ” මහා සංඝයා වහන්සේලා” අනුමැතිය පැතීම අවශ්‍ය නොවීය. උදාහරණයක් ලෙස සොලීන්ගෙන් රට බේරාගෙන එක්සේසත් කල මහා විජයබාහු රජුගේ අග බිසව ද්‍රවිධ පාන්ධ්‍ය ජාතික ලීලාවතී ය විය. ඇයට පුතෙකු නොලැබුණු නිසා ඔහු ඇය අග බිසව තනතුරේ සිටියදීම සරණපාවා ගත් “ත්‍රිලෝක සුන්දරී” ඔරිස්සාවෙන් පැමිණි කාන්තාවක් විය. මේ දෙදෙනාම උපතින් බෞද්ධයන් නොවීය. මහා විජයබාහුගෙන් පසු රජ පැමිණියේ ඇයගේ පුත්  වික්‍රමබාහුය. මහා විජයබාහුට මේ කිසිදු ක්‍රියාවකට මහා සංඝයා වහන්සේලාගේ අනුමැතිය අවශ්‍ය නොවීය.මේ සියලු බිසවුන් රජුගේ “හරි ගැහැනුන්” මිස “හොර ගැහැනුන්” නොවීය.

බටහිර නම් මේ අය පල්ලියේ අනුමැතිය නැති රජවරුන්ගේ බිරිඳන්, අනියම් බිරිඳන්  විය. වරෙක බටහිර රජෙකුගේ විවාහය කතෝලික සභාව දෙදරවිය. එංගලන්තයේ පස්වෙනි හෙන්රි රජුට තම බිසව දික්කසාද කොට ඈන් බොලින් නම් කාන්තාව සරණ පාවා ගැනීමට අවශ්‍ය විය. මෙයට පාප් වහන්සේ විරුද්ධ විය. මෙයින් කිපුණු පස්වැනි හෙන්රි රජු රෝමානු කතෝලික පල්ලියෙන් වෙන්වී ගොස් එංගලන්ත සභාව පිහිටුවා ගත්තේය. එසේ නමුත් ඒ එංගලන්ත සභාවටද ජන ජීවිතය පාලනය කිරීමේ අවශ්‍යතාවයන් තිබුණි. ලංකාවේ රජවරුන්ට හින්දු භක්තික බිරිඳන් අපමණ සිටි නමුදු එංගලන්තයේ රජුට තවමත් ඇන්ග්ලිකානු නොවන කාන්තාවක සරණ පාවා ගැනීම තහනම්ය. ඉතා මෑත කාලයේදී පවා පලවෙනි එඩ්වඩ් රජුට තම කිරුල අතහැරීමට සිදුවුයේ, දික්කසාදවු, කතෝලික වොලිස් සිම්ප්සන් නම් ඇමරිකානු ජාතික කාන්තාව සරණ පාවා ගැනීමට සුදානම් වූ නිසාය.

ලංකාවේ නම් එකගෙයි කෑම යැයි ප්‍රචලිතව පවති. එක් ගැහැනියක විසින් පිරිමින් දෙදෙනෙකු සරණපාවා ගැනීම රජ පවුල් තුලද  පැවතිනි. ‘රාජාවලියේ’ හා ‘අලකේශ්වර යුද්ධය’ හි සඳහන් වන පරිදි බුවනෙකබාහු, පරරාජසිංහ හා මායාදුන්නේ රජවරුන් තිදෙනා එකගෙයි කෑ ගෘහයක දරුවන්ය. ඔවුන්ගේ මවු කීරවැල්ලේ කුමාරිකාවක වූ අතර පියවරුන් විජයබාහු හා ශ්‍රී රාජසිංහ රජකුමරුවන් විය.

මේ ඉවසීම එසේ වුවද පාලකයාගේ ලිංගික චර්යාව රාජ්‍ය පාලනයට බලපෑවිට ශ්‍රී ලංකික ජනතාව දරුණු ලෙස ප්‍රතික්‍රියා කළේය. මහාවංශයේ දැක්වෙන පරිදි අතිශයෙන්ම කාමාතුර ගැහැනියක වූ අනුලා රැජින සැමියන් කිහිප දෙනෙකු රජ කමට පත්කොට මරා, සෙබලුන් රැසක් සමඟ සමුහ ලිංගික ක්‍රියාවන්හි නිරතවෙමින් රාජ්‍ය පාලනයට බාධා පැමිණවූ විට ජනතාව නැගී සිටියේය. ලංකා ඉතිහාසයේ පණපිටින් ජනතාව විසින් පණපිටින් ගිනිතැබූ එකම රාජ්‍ය පාලකයා අනුලා රැජින විය.

පැරණි බෞද්ධ සංස්කෘතිය ගිහියන්ගේ ලිංගික හැසිරීම් ගැන පමණක් නොව ඇඳුම් පැළදුම්, කෑම්බීම්, කථාව, පුජා විධි, දරු උපත් වැනි සියලු ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඬව සිටි නමුත්, මේ සියල්ල ගැන “සිංහල බෞද්ධ මතය” පළකිරිම මෑතකාලීන ප්‍රවණතාවයකි. මුලින් අධිරාජ්‍ය විරෝධී ලෙස, හිසෙහි පනාවක් පැළඳීම, නම් හා වාසගම් පිළිකෙව් කිරීම වැනි සුළු කරුණු වලින් ඇරඹුණු විවේචන, අද ජන ජීවිතය පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයද වෙලාගෙන ඇත. රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි.

අජිත් අමරසිංහ

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

Social Sharing
අවකාශය නවතම විශේෂාංග