ආදරය ජයගනු ඇත…!

-මහේෂ් හපුගොඩ-

ටයිටැනික් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය දැක්ක ලොකු සිහිනයක භෞතික ප්‍රථිපලයක්. වෙනත් විදියකට කිව්වොත් එක්තරා දැවැන්ත සිහිනයක් මල්පල ගැනීමක්. විද්‍යාවේ සහ තාක්ෂණික පුනරුදයේ තවත් එක මිනිස් අග්‍රඵලයක්. දෙවියන්ගෙන් මිනිස්සු වියෝ වෙලා තමන්ගේම ශක්තිය සහ පරිකල්පනය ගැන විශ්වාසය තියල ආරම්භ කරපු ව්‍යාපෘතියක ලස්සන ප්‍රථිපලයක්. ඒ නිසාම මිනිසාට ආඩම්බර වියහැකි දෙයක්.

බයිබලයෙන් බය කරලා තිබ්බ මිනිස්සු යම් නිදහසක් සොයාගත්ත වෙලාවක් තමයි ටයිටැනික් කියන සංකේතය ඇතුලේ කියන්නේ. මේ ලෝකේ යම් කෙළවරක අපායට තරම් දික්වෙච්ච මහා ප්‍රපාතයක් තියනවා, ඒ නිසා ගොඩක් ඈත යන්න එපා කියල තිබ්බ, නිසා ඒ අවදානම ගන්න තරම් විනාශ නොවෙන, අපරාජිත දේවල් මිනිස්සු නිර්මානය කරමින් හිටියා.

යක්ෂයාට පරාජය කරන්න බැරි, යක්ෂයාට වඩා ලොකු ෆැන්ටසි එකක් එයාලට හැමදාම ඕනි වුණා. එහෙම වුනා විතරක් නෙවෙයි එහෙම දේවල් එයාල ඇත්තටම මේ මහ පොළොවේ ස්ථාපිත කළා.

නැවේ කපිතාන් මෙච්චර ආඩම්බර වෙන්නේ එයා අභියෝග කරන්නේ දෙවියන් සහ යක්ෂයා යන දෙකම පරාජය කළ මිනිස් නිර්මාණයක් ඇතුලේ එයා ඉන්න නිසා. ඒක මෙහෙයවන නිසා. ඒක අමුත්තක් නෙවෙයි.

ටයිටන් කියන මහා ග්‍රීක දෙවිවරු, ටයිටන් කියන ප්‍රබන්ධ නැව වගේ මහා සිහින ගොඩක එකතුවක් තමයි ‘කවදාවත් විනාශ කරන්න බැරි’ ටයිටැනික් ඇතුලේ තිබිල තියෙන්නේ.

හැබැයි කවදාවත් කාටවත් විනාශ කරන්න බැරි කියන සිහිනය ඇතුලේ හදපු ටයිටැනික් එක සීතල රාත්‍රියක ස්වභාවධර්මයේ අයිස් පරයක හැපිලා සුන්නද්දූලි වෙලා යනවා. ඒක නැවක් විනාශ උනාටත් වඩා මිනිස් ෆැන්ටසි එකක් විනාශ වීමක්. මිනිස් පරිකල්පනය අභියෝගයට ලක්වීමක්. පරාජයක්. ඒකයි ටයිටැනික් බටහිර මිනිස් අර්ථයෙන් ක්ෂිතියක් වෙන්නේ.

තව නැව් ගොඩක් මුහුදයට තිබ්බට ටයිටැනික් නැවටම නැවත නැවත යන්න හිතෙන්නේ ඒක එක්තරා අසමසම මිනිස් ෆැන්ටසි එකක් නියෝජනය කිරීම නිසා.

එහෙම දෛවෝපගත ටයිටැනික් වෙතට අවුරුදු එකසිය දහයකට පස්සේ ආයෙත් ගියාට පස්සේ කළු කුහරයක් වගේ තව තවත් අපි ඒකටම අවශෝෂණය කරගන්නවා නම්? අඩි දොළොස් දහස් පන්සීයක් යට ඉන්න ඒ මිනිස්සුන්ට ආයේ මේ ලෝකේ ආලෝකය බලන්න දෙන්නේ නැත්නම්? අවුරුදු එකසිය දහයකට පස්සේ තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් ආයෙත් යක්ෂයා ජයග්‍රහණය කරනවා නම්…

තවමත් ඇහෙන්නේ පොඩිම පොඩි අනතුරු සද්දයක් විතරද? කොහේ අතුරුදහන් වුනාද කියල තවම දන්නේ නැති මැලේසියාවේ MH 370 ගුවන් යානය වුනත් අන්තිමට දුන්නේ එහෙම පොඩි අනතුරු සද්දයක් විතරයි නේද?

මිනිසාට තවමත් විසඳාගන්න බැරි අඳුරු කලාප මේ ලෝකේ කොච්චර නම් තියනවද? ඒ අඳුරු අහුමුළු ජයගන්න කොයිතරම් නම් මිනිසා වෙහෙස වෙනවද?

දෙවියන් සහ යක්ෂයා යන දෙකම පරාජය කරලා මිනිසා ආයිත් ජයග්‍රහණය කරයි කියලා මට හිතෙනවා.

මිනිසා ජයග්‍රහණය කරනවා කියන්නේ ආදරය ජයග්‍රහණය කරයි. ආදරයේ ජයග්‍රහණය වෙනුවෙන් මියගිය ජැක් ඔබ හරි….!

 

 

Social Sharing
නවතම විදෙස්