Titan ට මොකද වෙන්න ඇත්තේ?

– ජනක රත්නායක –

සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝතැන්නක් තමයි වසර ගණනාවකට කලින් මුහුදුබත් වූ නෞකා කියලා කියන්නේ. මේ නිසා ඒවා නැරඹීමත් ඒවා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමත් වගේ දේවල් ආරම්භ වුණේ අද ඊයේ නෙවෙයි. ශ්‍රී ලංකාව අවට මුහුදේ පවා මෙම ගවේෂණ සිදු වෙනවා.

Ocean Gate කියන්නේ එවැනි ගවේෂණ (Expedition) සඳහා පහසුකම් සපයන පුද්ගලික ආයතනයක්. ඔවුන් නිර්මාණය කරපු Titan කියන කුඩා සබ්මැරීනය (ඇත්තෙන්ම මේවා හඳුන්වන්නේ Submersible කියලා) මේ වෙද්දි පුද්ගලයන් 5 දෙනෙකු සමග ගොඩබිම සමග කිසිදු සබඳතාවයක් නොමැතිව ගැඹුරු මුහුදේ අතුරුදන් වෙලා තියෙනවා. ඔවුන් 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගිය කණ්ඩායමක්. උතුරු අත්ලාන්තික් සාගරයේ Newfoundland වෙරළේ ඉඳන් සැතපුම් 400ක් විතර දුරින් අඩි 13,000ක පමණ ගැඹුරු මුහුදේ තමයි මේ වෙද්දි සුප්‍රකට ටයිටැනික් නෞකාව තියෙන්නේ. ඒ කියන්නේ මුහුදේ කිලෝමීටර 4ක් විතර ගැඹුරින්.

ටයිටන් සබ්මැරීනය ප්‍රමාණයෙන් අඩි 22ක් විතර දිග Vessel එකක්. ඒකෙ නියමුවත් එක්ක උපරිම පුද්ගලයින් 5ක් විතරක් වරකට රැගෙන යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 5.6ක උපරිම වේගයක් තියෙනවා. බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන විදුලි තෙරපුම් (Electric Thrusters) 4කින් තමයි ගමන් කෙරෙන්නේ. ඒවා පාලනය කරන්න පාලක පුවරුවක් සුක්කානමක් මුකුත් නෑ. ඒ වෙනුවට තියන්නෙ බ්ලූටූත් කන්ට්‍රෝලර් එකක්. (ඒක ඇත්තටම පරණ Logitech gaming controller එකක්) මේවා කීපයක්ම තියෙනවා. Ocen Gate ලා කියන්නේ සංචාරකයින්ට තමන් කැමති කෝණයකින් මුහුද යට නැරඹීමේ අවස්ථාව ඒකෙන් හම්බෙනවා කියලා.

පාලන පුවරුවක් නෑ වගේම මේක ඇතුලේ ගමන් ගන්න කාටවත් ආසන පහසුකම් නෑ. බිම වාඩි වෙලා යන්න තියෙන්නේ. කුඩා ප්‍රමාණයේ වෑන් එකක (Mini Van) සීට් අයින් කරලා බිම ඉඳගත්තා වගේ තමයි. 5 දෙනා ඉඳගත්තාම ඉඩ ඉවරයි. තියෙන එකම සීට් එක ටොයිලට් සීට් එක විතරයි. ඒකත් කුඩාම ප්‍රමාණයේ එකක්.

ඝනකම් කාබන් ෆයිබර් වලින් තමයි සබ්මැරීනයේ පිටත ආවරණය හදලා තියෙන්නේ. දෙපැත්තේ අර්ධ ගෝලාකාර කොටස් විතරක් ටයිටේනියම් වලින් හදලා තියෙනවා. මීටර 4000ක් ජලය යටදී එන තෙරපුමට ඔරොත්තු දෙන්න මේ බිත්ති වලට පුළුවන්. සෝනාර් සහ රේඩාර් සංවේදක තියෙනවා. ඒ නිසා අඳුරේ උනත් බාධක මග හැරගන්න පුළුවන්. එළියේ කැමරා සවිකරලා තියෙනවා සහ ගැඹුරු මුහුද වුණත් හොඳින් ආලෝකමත් වෙන විදියේ විදුලි පහන් තියෙනවා. සංචාරකයින්ට පිටත නරඹන්න අඩියක විෂ්කම්භයක් සහිත ඝනකම් වෘත්තාකාර වීදුරුවකුත් සපයලා තියෙනවා.

මේ නිර්මාණයට අවශ්‍ය වගකීම් සහතික ඒවා නිකුත් කරන සමාගම් වලින් ලබා දීලා නැහැ. හේතුව ඒවා ලබාගැනීමේ ක්‍රියාවලියට Ocean Gate සමාගම උනන්දු නොවීම. ඔවුන් කියන විදිහට එවැනි වගකීම් සහතික වලින් සබ්මැරීනයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් දෙන්න බැහැලු. ඒවායෙන් ලබාදෙන්නෙ සබ්මැරීනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මිනුම් ලකුණු (benchmarks) විතරයි කියන එකයි ඔවුන්ගේ මතය. කොහොමහරි මේ ටයිටන් සබ්මැරීනයෙන් ටයිටැනික් නරඹන්න යනවා නම් එක්කෙනෙක් ගෙන් $250,000ක් අය කරනවා. Ocean Gate සමාගම නම් කියන්නේ ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් එක ගමනකට වැය වෙනවා කියලයි. කොහොම වුණත් ඒ ගෙවීමට අමතරව ගිවිසුමකට අත්සන් තියන්නත් ඕන. ඒ ගිවිසුමේ පළමු පිටුවේ තැන් 3කම “මරණය” වචනය සඳහන් වෙනවා කියලයි කියන්නේ.

මුදලත් ගෙවලා ගිවිසුමත් අත්සන් කරාම නැවකින් ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ අදාළ ප්‍රාදේශයට රැගෙන යනවා. එතනින් සබ්මැරීනයට ගොඩවෙන්නයි තියෙන්නේ. මගීන් 5 දෙනාම ගොඩවුණාට පස්සේ නැවේ ඉන්න කාර්ය මණ්ඩලය සබ්මැරීනය වහලා පිටතින් බෝල්ට් ඇණ යොදනවා. ඒ කියන්නේ ඇතුළත ඉන්න අයට චාරිකාව නිමා කරලා මුහුද මතුපිටට ඇවිත් පිටත කාර්ය මණ්ඩලය දොරටුව විවෘත කරනකන් පිටතට එන්න බැහැ.

දොරටු සීල් කරාම ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ පුද්ගලයින් 5 දෙනාට පැය 96කට විතරයි. අකරතැබ්බයකට මුහුණ පාන්න වුණොත් මුහුද මතුපිට තියෙන නෞකාවට පණිවිඩ යවන්න පුළුවන්. පණිවිඩ හුවමාරුව සිදුකෙරෙන්නෙ සෝනාර් සංඥා වලිනුයි. Transponder සහ Transceiver අධාරයෙන් SMS ආකාරයට පණිවිඩ හුවමාරුව සිදුවෙනවා. මේවායේ සබ්මැරීනයේ පිහිටුම සහ දැනට පවතින තත්වය විතරයි සඳහන් කරන්න පුළුවන් ඉඩ තියෙන්න.

ඊට අමතරව සබ්මැරීනයේ පිටත බිත්ති වලට සුළු හෝ හානියක් සිදු වුණොත් ඒ පිළිබඳව සංවේදක මගින් නෞකාව දැනුවත් කෙරෙනවා. එතකොට ස්වයංක්‍රීයව සබ්මැරීනය මුහුද මතුපිටට එන විදිහටයි හදලා තියෙන්නේ. ඒ සඳහා සබ්මැරීනය නිර්මාණය කරද්දී ඒකෙ උත්ප්ලාවකතාව (buoynce) පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. අමතර භාරයන් නිදහස් කරලා මේ ඉපිලීම ලබාගන්න එතකොට පුළුවන්.

හැබැයි පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30ට විතර ටයිටැනික් නෞකාව නැරඹීමට පුද්ගලයින් 5 දෙනෙකු සමග දියත් කෙරුණු ටයිටන් සබ්මැරීනය දියත් කිරීමෙන් පැයකුත් විනාඩි 45කට පස්සේ ඉඳන් මේ වෙද්දිත් කිසිදු සංඥාවක් නිකුත් කරලා නැහැ. සංවේදක මගින්වත් සබ්මැරීනය තිබෙන ස්ථානය හොයාගන්න Ocean Gate මෙහෙයුම් කරුවන්ට බැරි වෙලා තියෙනවා. ඔවුන් එයින් පැය 6කට පස්සේ කැනේඩියානු වෙරළ ආරක්ෂක බළකාය ඇතුළු බලධාරීන් දැනුවත් කරන්න පියවර ගත්තා. ඔවුන් සහ ඇමරිකානු නාවික හමුදාව සමග රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම මේ වෙද්දි සෙවුම් කටයුතු ආරම්භ කරලා තිබෙනවා.

මුහුද මතුපිට වර්ග සැතපුම් 10,000කට වැඩි වපසරියක සෙවීමේ මෙහෙයුම් දැනට ක්‍රියාත්මක කරලා ඉවරයි. මොකද යම් විදිහකින් පණිවිඩ හුවමාරු වලට බාධා ඇති වුණත් සබ්මැරීනය මුහුද මතුපිටට එන්න ඉඩ තියෙන නිසා මුහුද මතුපිට පරික්ෂවත් වැදගත් වෙනවා. ඊට අමතරව සෝනාර් බෝයාවන් යොදා ගෙන සබ්මැරීනයෙන් මොනයම් හෝ සංඥාවක් නිකුත් කෙරෙයි කියන අපේක්ෂාවෙන් මුදවාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් ඉන්නවා. සබ්මැරීනයෙන් එන සංඥාවක් මිසක මුහුද මතුපිටින් යවන සෝනාර් හෝ රේඩාර් සංඥාවක පරාවර්තනයක් නම් ලැබීමට ඉඩකඩ ඉතාම අඩුයි. ඒකට එක හේතුවක් තමයි සබ්මැරීනය තියෙන ගැඹුර. අනෙක් අතට මුහුදේ මිලියන ගාණක් මුහුදුබත් වුණ නෞකා කොටස්, අපද්‍රව්‍ය, ජීවින් මැරුණු ජීවින් කොටස් තියෙනවා. ඒවා අතරින් ටයිටන් සබ්මැරීනයෙන් පරාවර්තනය වුණ සංඥාවක් ලබාගන්න තරම් තාක්ෂණයක් තියෙන්න විදියක් නෑ.

ඒ වගේම අඩි 13,000ක් ගැඹුරු මුහුදට මිනිසුන්ම ගිහින් ගවේෂණය කරලා සබ්මැරීනය හොයන්න බැරි බව නම් අපි තේරුම් ගන්න ඕන. හරියටම සබ්මැරීනය තියෙන තැන නොදැන එහෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කරන එක ඉතාම අවදානම් වැඩක්. ඒ නිසා දැනට රොබෝ යන්ත්‍රයක් ගවේෂණයට යොදවලා තියෙනවාලු. එයිනුත් මේ දක්වා සුබදායී තොරතුරක් ලැබිලා නැහැ. නමුත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Boeing P-8 Poseidon (දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානය) මගින් මිනිත්තු 30කට වරක් නිකුත් වූ සංඥා කීපයක් හඳුනාගෙන තියෙනවා. මේවා බොහෝ විට සබ්මැරීනය ඇතුළත සිට එහි බිත්තියට පහර දෙන ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. ඔක්සිජන් ඉතිරි කරගන්න මේ වගේ සැරෙන් සැරේ සංඥා නිකුත් කරනවා වෙන්න පුළුවන් කියලයි මුදවාගැනීමේ කණ්ඩායම් කියන්නේ.

සංඥාව අනුව නම් සබ්මැරීනය මේ වෙද්දි ටයිටැනික් රැඳී තිබෙන මුහුදු පතුලේම නැවතිලා තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි 13000ක මුහුදු පතුලේ. (එහෙම කට්ටියක් හිරවෙලා සබ්මැරීනයේ බිත්ති වලට ගහනවා කියලා හිතද්දීම කොහොමද )

සමහර විශ්ලේෂකයින් නම් ඒක නිවැරදි සංඥාවක් නෙවෙයි කියලයි කියන්නේ. ඒත් ඒක නිවැරදි වුණත් ඉතිහාසයේ මේ වෙනකං මුහුදු පතුලේ ක්‍රියාත්මක කරපු සාර්ථකම මුදවාගැනීමේ මෙහෙයුම සිදු කරලා තියෙන්නේ අඩි 1575ක් ගැඹුරින් විතරයි. ඒ 1973 කැනේඩියානු සබ්මැරීනයක් මුදවාගැනීමේ මෙහෙයුම. කිලෝමීටර් 4ක් දුර ශක්තිමත් කේබල් සහ ටොන් 10ක බරින් යුතු ටයිටන් සබ්මැරීනය එසවීමට හැකි නෞකාවක් හෝ තවත් සබ්මැරීනයක් නොමැති බව තමයි බොහෝ දෙනාගේ මතය. ඉහළම හැකියාවෙන් යුතු NATO’s Submarine Rescue System (NSRS) සතුව තියෙන්නත් අඩි 2037ක දුරක් දුරස්ථ පාලනයෙන් ගමන් කරන්න පුළුවන් කුඩා සබ්මැරීන විතරයි.

මුදවාගැනීමේ කණ්ඩායම් කියන විදිහට වෙන්න පුළුවන් නරකම දේ තමයි මුහුද යට අධික පීඩනය හින්දා සබ්මැරීනයේ සැකිල්ලට හානි වෙලා විනාශ වෙලා ඇති කියන එක. නැතිනම් සබ්මැරීනය පාලනය කරන්න බැරිව නිසල ටයිටැනික් නෞකාවේම හැප්පුනා වෙන්නත් පුළුවන් බව ඔවුන් කියනවා.

ටයිටන් සබ්මැරීනය පරීක්ෂණ කිමිදුම් 50ක් විතර කරලා තිබෙනවා. පසුගිය වසරේත් සංචාරකයින් එක්ක බාධක මැද්දේ වුණත් ටයිටැනික් සංචාරයක් සිදු කරලා තිබුණා. (ඒ ගැන යූටියුබ් වීඩියෝවක් කමෙන්ට් වල බලන්න) හැබැයි සබ්මැරීනයේ විදුලි පද්ධතියට හානි වීම් ඒ පර්යේෂණ චාරිකා වලදි වාර්තා වෙලා තිබුණා. එහෙම වෙලත් ඔවුන් නැවත මුහුද මතුපිටට එන්න සමත්වුණා. ටයිටැනික් නෞකාවට මුළු ගමන් කාලය පැය 2කුත් විනාඩි 30ක් විතරයි. ඒ නිසා ලැබුණු සංඥාවලට අනුව ඔවුන් බොහෝ දුරක් නිරුපද්‍රිතව ගිහින් තියෙනවා. ඒ හින්දා බැටරි බලය අවසන් වෙලා නම් හරි විදුලි පද්ධතියට හානි වෙලා නම් හරි ඔවුන්ම උත්ප්ලාවකතා භාර නිදහස් කරලා බාගයක දුරක් වත් මුහුද මතුපිටට නොආවොත් ඔවුන්ව බේර ගන්න එතරම් දුරක් ගමන් කරන්න පුළුවන් සබ්මැරීන හෝ උපකරණ කිසිවෙක් සතුව නෑ.

ඒ කොහොම වුණත් හෙට (22) සවස 5.30 වෙද්දි ඔවුන්ගේ පැය 96 අවසන් වේවි. ඊට කලින් මොකක් හෝ දෙයක් සිදු නොවුනොත් බොහෝ විට ටයිටැනික් වගේම අඳුරු මතකයක් විදිහට ටයිටන් සබ්මැරීනයේ කතාවත් ලෝක ඉතිහාසයට එකතු වේවි.

හිරවෙලා ඉන්න 5 දෙනා වෙන්නේ Ocean Gate එකේ ප්‍රධාන විධායක නිලධාරියා Stockton Rush, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන Hamish Harding, ප්‍රංශ කිමිදුම් ශිල්පී Henry Nargeolet, පාකිස්තාන ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා Suleman යන අය.

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
නවතම විදෙස්