අනුර ඇතුලු 26කට අද කොළඹ පාරවල් තහනම්..!

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) සංවිධානය කර ඇති විරෝධතාවයට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටින් අද (08) පස්වරුවේ ජාතික ජන බලවේගය මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතයි.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 – 01 වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, කේ.ඩී. ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු 26කට එරෙහිවයි.

මෙම අධිකරණ නියෝගයට අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් වනු ඇති.

වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පාර්ශවයක් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පිඩාවක් සිදුවන බවට සඳහන් කරමින් වැලිකඩ පොලීසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

-News19LK-

Social Sharing
නවතම පුවත්