කාලය හැමදේම විනාශ කරනවා – මොනිකා බෙලුචි

-සුභාෂිණි චතුරිකා-

“ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි, ඇය වැන්නියක් හා සම්මුඛ සාකච්ජාවකට අවස්ථාවක් ලැබීම හරියට ලොතරැයියක් ඇදුනා ව‍ගේයි. මට කළ යුතු දේ අමතක වුණා”

ඇය හා සම්මුඛ වීමට අවස්ථාව ලද බොහෝ ජනමාධ්‍යවේදීන්/වේදිනියන් ඇයගේ අතිශය සුන්දර රූප සොබාව නිසා නොසන්සුන්ව, එවැනි අකාරයේ හැඟිම් වචනයට නැඟීම පුදුමයක් නොවෙයි. ඇය එනම්, ඉතාලි ජාතික රංගන ශිල්පිණියක් වන මොනිකා බෙලුචි සතුව ඇත්තේ, ඇය වටා සිටින්නන් නිරන්තරයෙන් නොසන්සුන්තාවකට ඇද දමන තරම් සිත් වශීකරන සුළු සුන්දර රූපයකි. ඇය නිරූපණ ශිල්පයේ සිට රංගන කාර්යයට අවතීර්ණ වන්නේ ද ඇයගේ රූපය පිළිබඳව සහ ගතානුගතික සමාජය ඒ හා ගොඬනඟා ගන්නා විශ්වාසයන් ද පිළිබඳ සවිඥානිකවය. ඒ නිසාම ඇය හිමිකම් කියන්නේ සුන්දර රූපයකට පමණක් නොව ඇය සතුව, බොහෝ සමත්කම් ද, ඇයගේ රූපයේ තරමටම තමා වටා පවතින ලෝකය තේරුම් ගැනීමට තරම් ඇය සබුද්ධික වන බව ද මෙතෙක් ඇය දායක වු සිනමා නිර්මාණ හරහා ඇය පෙන්වා දී ඇත.

1968 වසරේ ඉතාලියේ උපත ලද ඇය ප්‍රථමයෙන් නීතිවේදිනියක් වීමේ අදහසින් සිය උසස් අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළා ය. ඒ අතරවාරයේ ඇය නිරූපණ ශිල්පයට නැඹුරු වුයේ සිය අධ්‍යාපනය වෙනුවෙන් මුදල් සොය ගැනීම සඳහා ය. නමුත් ඇයටත් නොදැනීම නිරූපණ ශිල්පය විසින් ඇයට, චිත්‍රපට ලෝලින් ඉමහත් ආදරය කරන, අභියෝගාත්මක චරිත වලට පණ පොවන සුන්දර රංගන ශිල්පිනියක් වීමේ මාවත එළි පෙහෙළි කර දී තිබුණි. Malèna, Irreversible, Tears of the Sun, The passion of the Christ, Matrix ඇය රඟපෑ අභියෝගාත්මක චිත්‍රපටවලින් සමහරකි.

ඇයට භාෂා හතරක් ( ඉතාලි, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඥ්ඥ) කතා කළ හැකි වීමත්, ඇය එම භාෂා ඥාණය යොදා ගනිමින් විවිධ භාෂාවලින් නිෂ්පාදනය වන, වැඩිමනත් ලෙස අසීරු චරිත වලට දායක වීම නිසා ඇයට ලෝක සිනමා කර්මාන්තයේ වැඩි වපසරියක වැඩ කිරීමට හැකි වූ බව චිචාරකයින‍් ගේ අදහසයි. 1999 වසරේදි චිත්‍රපට නළුවෙකු වන වැන්සොං කැසෙල් සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට දියණියෝ දෙදෙනෙක් සිටිති. 2003 වසරේදි ඔවුහු නීතියෙන් වෙන්වුහ.

පහත දැක්වෙන්නේ ජනමාධ්‍යවේදින් කිහිපදෙනෙක් විටින් විට මොනිකා බෙලුචි හා සිදුකළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් සංස්කරණය කළ ලිපියකි. (www.bbc.co.uk/ films, the-talks.com/interview/monica-bellucci, http://collider.com/monica-bellucci-interview-shoot-em-up/)

 

ඔබට වැඩියෙන් අවස්ථා ලැබෙන්නේ ඔබ ලස්සන නිසාද?

මම දන්නවා ලස්සන කිසියම් කුතුහලයකට මඟ පාදනවා. ඒත් ඔස්කා වයිල්ඩ් කිව්වා වගේ එය පවතින්නේ මිනිත්තු පහයි, ඔබ තුළ වෙන යමක් නැති නම් ඒ කුතුහලය රඳවා පවත්වා ගන්න. මම හිතන්නෙ නැහැ මට මේ වගේ වෘත්තියමය තත්වයක් ලැබෙන්නෙ නැහැ, මට ලස්සන විතරක් තිබුණා නම්. අධ්‍යක්ෂවරු රංගන ශිල්පීන් තෝරා ගන්නෙ ඔවුන්ගේ ලස්සන නිසා නෙමෙයි, හැකියාව නිසයි.

ඔබගේ පෙනුම ඔබට කවදහරි බාධාවක් වෙලා තියෙනවද?

ඔව් ඇත්තෙන්ම. මගෙ පටන් ගැන්ම තියෙන්නෙ විලාසිතා ව්‍යාපාරය තුළින්. එය මගේ ප්‍රශ්න දෙගුණ කළා. මෙවැනි වෘත්තියකට එද්දි, විලාසිතා සහ ලස්සන කියන්නෙ නරකම කාරණා දෙකක්. මම ලස්සන නිසා බොහෝ අය හිතුවා මම මෝඩයි කියලා. ඒක හරියට වෙස් මුහුණක් වගේ. ඔබට එය බිඳ දමන්න සිදුවෙනවා ඊට පිටුපසින් ඔබ තුළ යමක් තියෙනවා කියලා පෙන්වන්න. ඔබ පෙන්වන්න ඕනෙ ‘ඔබ’ කියන පුද්ගලයා කියන්නෙ අනෙක් අයට ඇවිත් ඔබ තුළ ඇති දේ සොයා ගන්න සලස්සවන කෙනෙක් කියලා.

ඒ නිසාද ඉතාමත් දුෂ්කර චරිත ඔබ තෝරා ගන්නෙ?

වෙන්න ඇති.

ඔබ තවමත් හිතනවද ඔබ ඒ සම්බන්ධයෙන් කිසිවක් තහවුරු කළ යුතුයි කියලා?

ඔව්! අනිත් අයට නොවෙයි. මටම.

ඇත්තටම?

ඔව් ඇත්තටම. මා මාව සොයා යන්න ඕන‍ෙ. කවුරුහරි මා වෙත එනවා නම් අවදානමක් සහිත නව අදහසක් එක්ක, මම එයට කැමති නම් මම එය කරනවා. මම කැමතියි බොහෝ සංවාදයන්ට තුඩු දෙන චිත්‍රප‍ට වලට. මගේ අත්දැකීමට අනුව මම කිසියම් චිත්‍රපටයක් කළ වහාම ඔවුන් මෙවැනි ආකාරයේ තත්වයක් නිර්මාණය කරනවා. Irréversible, The Passion of the Christ, Malèna වැනි චිත්‍රපට වලදි වගේ. එය හරිම සිත් ගන්නා සුළුයි. මම කැමතියි මනුෂ්‍යත්වයේ අඳුරු පැතිකඩ ගවේෂණය කරන්න. එවිටයි මම නිළියක් වෙන්නෙ.

Malèna

විටින් විට ඔබ රඟපෑ චිත්‍රපට ඔබ නරඹනවාද?

නැහැ. මට එක චිත්‍රපටයක් දෙපාරක් බලන්න බැහැ. සමහර විට අවුරුදු ගණනාවකට පස්සෙ එහෙම බලන්න පුලුවන් ඇති. මොකද මම Malèna එහෙම බැලුවා, හරිම විනෝදජනකයි. මට හිතන්නෙ සෑහෙන කාලයක් ගත වුණාට පස්සෙ තමයි චිත්‍රපටයක් දෙවනවරට බලන්න පුළුවන්. මට එයට තිබෙන මානසික බැඳීම නැති කරගන්න අමාරුයි. ඒ නිසා මට ඒක එපා වෙනවා.

ඔබගේ එවකට ස්වාමි පුරුෂයා වැන්සොං කැසෙල් ඔබ මෙන්ම රංගන ශිල්පියෙක්. ඔහු තිරය මත චරිතයකට පණ පෙවීම ඔබට කොහොමද දැනෙන්නෙ?

මම Mesrine චිත්‍රපටය නැරඹු මොහොතේ මම කම්පනයට පත් වුණා, ඔහුගේ විශිෂ්ඨ රංගනය දැකලා. මට හිතා ගන්නවත් බැරි වුණා ඒ ඔහුයි කියලා. නමුත් එක් ජවනිකාවකදි, එනම් ඔහු සිරගෙදර දි තම දරුවන් හා කතාබහ කරන අවස්ථාවෙදී මට සිහිපත් වුණා ඔහු කො‍හොමද ඔහුගේම දරුවන් හා හැසිරෙන්නෙ කියලා. ඒ හැරෙන්න….. එම රංගනය ඉතාම ලස්සනයි, සජීවීයි.

ඔබ දෙදෙනා ඔබගේ රංගන කාර්යයන් ගැන එකිනෙකා හා කතා බහ කළාද?

කිසිවක් කතා කළේ නැහැ. මම සහ වැන්සොං ජීවත් වුණේ ලෝක දෙකක. මම දන්නෙ නැහැ ඔහුගේ යාළුවෝ කවුද කියලාවත්, ඔහුත් දන්නෙ නැහැ මම ඇසුරු කරන්නෙ කවුද කියලා. අපි එකම අයව ඇසුරු කළේ නැහැ. අපිට එක සමාන ජීවිත තිබුණේ නැහැ. මම මගේ ලෝකෙන් එළියට ඇවිත්, ඔහු ඔහුගේ ලෝකෙන් එළියට ඇවිත් එක මොහොතකට අපි දෙදෙනා මුණ ගැහෙනවා. ඒත් අපි එකිනෙකාට වෙනස් සත්ත්වයෝ දෙදෙනෙක්. මම හරිම ස්වාධීන කෙනෙක්. ඔහුත් එහෙමයි. මම හිතනවා අපිට එකට ඉන්න පුළුවන් වුණේ ඒ විදියට විතරයි කියලා.

Irréversible

ඒ විදියෙන් දරුවන් ලොකු මහත් කරන්න අමාරු වුණේ නැද්ද ?

නැහැ.

ඔබ‍ගේ දුවලාට තේරුණාද ඔවුන්ගේ දෙමව්පියන් මොනවද ඇත්තටම ජීවිකාව සඳහා කරන්නෙ කියලා?

නැහැ. දවසක් මගේ දුව මට කියනවා, “ නැහැ අම්මා. මට ඕනෙ ඔයා වගේ වෙන්න. මට ඕනෙ නැහැ වැඩ කරන්න. මට ඕනෙ අම්මා කෙනෙක් වෙන්න. මම ලොකු වුනාම මගේ දුව යයි වැඩට” ඒක හරිම පරිපුර්ණ කියමනක්. මොකද එයා හිතන්නෙ මම කිසිම දෙයක් කරන්නෙ නැහැ කියලා. ඇය කියනවා: “මේ ජීවි‍තේ හරි ලස්සනයි, අපි හැම තිස්සෙම ‍හෝටල් වලයි, ගෙවල් වලයි. ඒක හරිම අපූරැයි. මම ඒ ගැන හරිම සතුටින් ඉන්නෙ.” ඒ කියන්නෙ මම නිතරම ඇය ලඟින් හිටියා.

කවදහරි ඇයටත් ඔබ වගේම රංගන ශිල්පිණියක් වෙන්න ඕනෑ වෙයි?

මම හිතන්නෙ නැහැ.

ඇයි?

ඇයි ද කියනවානම් එය විශේෂ කාර්යයක්. ඇය මට කියනවා නම් ඇයට නයිට්වරියක් වෙන්න ඕනෙ කියලා, මම එපා කියන එකක් නැහැ, මොකද මම හිතන්නෙ එවැන්නක් කියන්නෙත් ජිවිතේ ආශාවක්. ඇයගේ ජීවිත ආශාවක් ඒ විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඇයට එය කරන්න වෙනවා.

මොනිකා බෙලුචි ඇයගේ දියණියක සමඟ

මොනවා කළත් අපි ඔක්කොම තනි පුද්ගලයින්…

ඔව්. ඇයට එය ඕනෑ වෙයි නැත්නම් නැහැ. එයට ආශාවක් තියෙනවා නම් එය ඉතාමත් විශිෂ්ඨයි. ඒත් එය ඉතාමත් දුෂ්කරයි – සුන්දරයි, නමුත් දුෂ්කරයි. ඇයට ගොඩක් දේවල් එක්ක පොරබදන්න වෙනවා. මෙම ව‍ෘත්තිය හොඳයි ඔබගේ දෙමව්පියොත් ඒ වෘත්තියේම ‍නියෙලෙන්නෙ නැත්නම්. වැන්සොං ගේ පියාත් රංගන ශිල්පියෙක්. ඒ නිසාම වැන්සොං ට අනන්‍යතාවක් ඇති කර ගැනීමට හරිම දුෂ්කර වුණා.

ඔබගේ පවුලේ පසුබිම තුළ එවැනි තත්වයක් තිබුණද?

මම මේ වෘත්තියට ආවේ වෙනස්ම ආකාරයේ පවුල් පසුබිමකින්, ඒත් ඒකත් එච්චර ලේසි වුණේ නැහැ. ඒත් ඔබ පැවත එන්නෙ ඔක්‍කෝම නළු නිළියන් වුණු පවුලකින් නම් එය ඊටත් වඩා අමාරු වෙන්න තිබුණා. මම දන්නවා වැන්සොංට ගොඩක් සටන් කරන්න සිද්ධ වුණා, ඔහුගේ පියා නිසා, ඔහු ස්ථාන ගත විය යුතු තැන සොයා ගන්න.

Malèna චිත්‍රපටය ඊර්ෂ්‍යාව ගැනද?

ඔව්.. ඒ වගේම තමන්ට නැති දෙයක් අත්පත් කර ගැනීමේ ආශාව ගැන. අත් පත් කර ගැනිමේ ආශාව කියන්නෙ මිනිස් ස්වභාවය. එම චිත්‍රපටය එක්දහස් නමසිය ගණන් වල සිසිලියානු ගමක හෝ රූප සොබාව ගැන නිරූපණයක් විතරක් නොවෙයි. මම හිතන්නෙ එය මිනිසා ගේ අත්පත් කරගැනීමේ ආශාව සහ එය මිනිසුන් අතර තියෙන සබඳතා විනාශ කරන්නෙ කොහොමද කියන එක පිළිබඳ නිරූපණයකුත් වෙනවා.

Malèna චිත්‍රපටයේ ඔබට තිබූ අල්ප දෙබස් සංඛ්‍යාව සැලකීමේදී එම චිත්‍රපටය තුළ ඔබ මුහුණ දුන් අභියෝගය කුමක්ද?

මුළු චිත්‍රපටයම ගත්තත් එය අභියෝගයක්. මට ඒ චරිතයට පණ පොවන්න ඕනෑ වුනේ මගේ ශරීරයෙන්. එය මට කළ හැකි වුණා‍. Malèna තුළින් මතුවුන ගොඩක් දේවල් තියෙනවා. මම ඉගෙනගත්තා ශරීරය කතා කරන්නෙ කො‍හොමද කියන එක. රඟපානවා කියන්නෙ දෙබස් නොවෙයි. The Piano චිත්‍රපටයේ හොලි හන්ටර් කතා කළේ නැහැ. ඒත් ඇය ඔස්කාර් සම්මානය දිනා ගත්තා. ඒක තමයි ගිසප‍ෙ තොර්නාතොරේ ට අධ්‍යක්ෂණ කරන්න ඕනැ වුණු චිත්‍රපටය.

Irreversible චිත්‍රපටයට අනුව කාලය හැමදේම විනාශ කරනවා?

ඔව්. මම විශ්වාස කරනවා කාලය හැමදේම විනාශ කරනවා. ඔබ ලස්සන ඇපල් ගෙඩියක් ගන්න. ටික දවසකින් ඒක වේලිලා යනවා, පනුවො ගහනවා. අපට සිද්ධ වෙන්නෙත් ඒකම තමයි.

එම චිත්‍රපටය‍ තුළ ඔබ මොන ආකාරයේ අභියෝගයන්ට ද මුහුණ දුන්නේ?

මට තිරපිටපතක් කියවන්න ලැබ‍ුණේ නැහැ. මොකද එහෙම එකක් තිබු‍ණේ නැති නිසා. ඒත් ඇත්තටම මට ගැස්පා එක්ක වැඩ කිරීමේ උවමනාව තිබුණා, මොකද ඔහු ඉතාම දක්ෂ කෙනෙක්. මම ඔහුගේ ප්‍රථම චිත්‍රපට දෙක Carne සහ I Stand Alone නරඹලා තියෙනවා. මම හිතුවා මේ මිනිහාට ඇත්තටම පිස්සු, ඒත් එයා දක්ෂයි කියලා. ඔහුට මාත් එක්ක නිර්මාණයක් කරන්න ඕනෙයි කියලා දැන ගත්තාම මට හරිම සතුටක් දැනුනා. මම ප්‍රීතියෙන් පිනා ගියා. ඉතින් අපි වැඩ කරන්න පටන් ගත්තා, පිටු 15 ක චිත්‍රපට සාරාංශයත් එක්ක. ඔබට එවැන්නක් එක්ක විතරක් වැඩ කරද්දි තමන් ගැන පූර්ණ විශ්වාසයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒත් එහෙම හැම තිස්සෙම කරන්නත් බැහැ. නැවත මට එහෙම දෙයක් සිද්ධ වුනේත් නැහැ. ඉතින් තිර පිටතක් නැහැ, මම කතාව විතරයි දැනන් හිටියේ. ඉතින් කැමරාව නවත්වන්නෙ නැතිව මිනිත්තු 15, 20 ක්‍රියාත්මක වෙනවා. ඒක එක විදියකට නාට්‍යය රඟහළක වැඩ කරනවා වගෙයි. අපි කළේ එක දවසක අපට හිතට එන දේ පුහුණු වෙනවා, ඊළඟ දවසේ එය රූගත කරනවා. ඉතින් ඒක මට මුළුමනින්ම අළුත් අත්දැකීමක්, ඒත් ඒක හරිම සුන්දරයි, මොකද සිනමාව තුළ ඔබට කවදාවත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ චරිතයක් ඒ විදියෙන් ගොඩ නඟන්න.

කො‍හොමද Irreversible චිත්‍රපටයේ දර්ශන තලයකදී සහ.. අපි කියමු Matrix වගේ චිත්‍රපටයක දර්ශනතලයකදි ඔබගේ මනෝභාවය වෙනස් වෙන්නෙ?

මම කියන්න ඕනෙ, කැමරාව ඉදිරියෙදි, එය අඩු වියදම් හෝ වැඩි වියදම් සහිත සිනමා නිර්මාණයක් ද කියන එකේ වෙනසක් නැහැ. ඔබ කැමරාව ඉදිරියේ ඉන්නවා නම් ඔබ රඟපාන්න ඕනෙ. අනික භාෂාව. මම හිතන්නෙ රංගන ශිල්පියෙකුට එයත් වැදගත්. ඔහු හෝ ඇය වැඩ කරන්නෙ ඔහුගේ ආධ්‍යාත්මය, සිතුවිලි සහ භාෂාව ඇසුරෙන්.

ඔබගේ වෘත්තිය ජීවිතයේ ආරම්භය නීතිවේදය?

ඔබ දන්නවා, නීතිඥයෙක් කියන්නෙ බොරුකාරයෙක්. එකම දේ නෙ. මම කිව්වෙ, නීතිඥයෝ කියන්නෙ විශ්මිත නළු නිළියෝ. ඔයාට හිතා ගන්නවත් බැහැ ඒ අය හැමදාම කරන රංගනය මොනවගේද කියලා. ඉතින් ඇත්තටම ඒ එකම දේ. උසාවියක් තුළ රඟපෑම සහ දර්ශන තලය තුළ රඟපෑම.

The passion of the Christ

ඔබට හාස්‍යත්පාදක චිත්‍රපටයක රඟපෑම වැනි සරල තැනකට යන්න පුළුවන්ද?

ඕහ්… හාස්යෝත්පාදක චිත්‍රපට සම්බන්ධයෙන් මට කිසිදු වි‍රෝධයක් නැහැ. ප්‍රංශයේදි මම එවැනි නිර්මාණයක් එනම් Asterix චිත්‍රපටයක් සඳහා දායක වුණා. එය ඉතාම දැවැන්ත හාස්‍යජනක චිත්‍රපටයක්. මම නිතරම වෙනස් දේවල් සොයනවා. ඒ කියන්නෙ එය හාස්‍යමය, නාට්‍යමය, ත්‍රාසජනක හෝ වෙන ඕනෑම ආකාරයක් විය හැකියි. ඇත්තටම මම සොයන්නෙ නිවැරදි දේ. මට අනුව නිවැරදි තෝරා ගැනීම කරන්න ඕනෙ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් සහ ඊටපස්සෙ තිර පිටපත ගැන. තිරපිටපත ‍විශිෂ්ඨ එකක් ‍නොවුනත් ඔබට ඉන්නේ විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් නම් ඔබට පුළුවන් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒත් හොඳ තිර පිටපතක් තිබුණත් ඔබට දක්ෂ අධ්‍යක්ෂවරයෙක් නැත්නම් ඔබට කවදාවත්ම… කවදාවත්ම විශිෂ්ඨ නිර්මාණයක් කරන්න බැහැ. මට ගොඩක් වැදගත් වෙන්නේ අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ දැක්මයි.

රඟපෑමට අමතරව ඔබ‍ කැමති දේ?

ජිවිතය!( ඇය සිනාසෙයි). ඔබට තේරෙනවා, මම අදහස් කළේ, අනික් හැම කෙනාම වගේ මමත් කැමතියි ඇවිදින්න යන්න, යාළුවෝ සහ පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න. චිත්‍රපට බලන්න යන්න. පොත් කියවන්න. ඒ දේවල් වලට මට කාලය තියෙනවා.

https://www.lucernanotes.net

Social Sharing
අවකාශය නවතම සාකච්ඡා