මහානාම සහෝදරයාට මගේ ආචාරය පිරිනමමි!!!

මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි

ගුණසේන මහානාම මියගිය පුවත දැනගත්තේ ෆේස්බුක් හරහා ය. ඔහු දීර්ඝ කාලයක් රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවීය. ඔහු ගැන බොහෝ දේ ලිවිය හැකිය. ඔහු මෙන්ම ඔහු ගේ පීතෘමූලික ආධිපත්‍යය යටතේ කොළොඹ කොටුවේ කේන්ද්‍රෙය් පිහිටි ඒ තට්ටු පහේ ගොඩනැගිල්ල පිළිබද මගේ මතක ගබඩාව ඒ තට්ටු පහට වඩා උසින් වැඩිය. ලංකා සමසමාජ පක්ෂයේ ස්වර්ණමය යුගයේ දී එම පක්ෂයේ මෙහෙයවීම යටතේ පැවැති රජයේ ලිපිකරු සංගමය සදහා මෙම මූලස්ථානය ගොඩ නංවන ලදි. පසුව එය නව සමාජ පක්ෂයට හිමිවූ අතර ඊටත් පසුව ගුණසේන මහානාම ඇතුළු පිරිසක් නව සමාජ පක්ෂයෙන්ද වෙන්වී මේ ගොඩනැගිල්ල සිය දේශපාලන මූලස්ථානය කරගති. 2000 ගණන්වල එය ජීවන් කුමාරතුංග විසින් මෙහෙයවනු ලැබූ පිරිසක් අත් පත් කරගත් බව අසා තිබේ. දැන් එය කා සතුදැයි නොදනිමි.

මට අවසාන වරට ගුණසේන මහානාම හමුවුනේ කිරුලපන ස්ටේෂන් එකේ දීය. ඒ දුම්රියේ ගමන් කිරීමට පැමිණ සිටිය දී නොවේ. ඒ වනවිට ඔහු පදිංචිව සිටියේ කිරුලපන දුම්රිය පොලේ තිබුණු කුඩා මඩුවකයි. දුම්රිය ස්ථානාධිපතිවරයා මහානාමගේ මිතුරෙක් වූ බැවින් ඔහු මහානාමට එහි වාසය කිරීමට අවසර දී තිබුණි. කොළඹ කොටුවේ අතිශය මිල අධික ප්‍රදේශයක පිහිටි තට්ටු පහේ බිල්ඩිමක් පාලනය කළ ඔහුට කිරුලපන ස්ටේෂමේ කොනක පිහිටි මේ කුඩා මඩුවේ සිය විශ්‍රාමික ජීවිතය ගත කිරීමට සිදුවී තිබුණි. එය හරියටම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉරණම මෙනි. අවිවාහකයෙක් වූ ඔහු එතැන කොතරම් කාලයක් වාසය කලාදැයි නොදනිමි. පසුව ඔහු සිය සොයුරියගේ නිවසේ ජීවත් වූ බව අසා තිබේ. ඔහු සිය ජීවිතය ගැන පොතක්ද ලියූ බව මට කීවේ Bls Wimalasingheයි. පොතේ මා ගැන සඳහන් පිටුව ඔහු මට එවා තිබුණේ ඊයේ රාත්‍රියේ ය.

මගේ දේශපාලන ජීවිතය කෙරේ මෙන්ම පුද්ගලික ජීවිතය කෙරේ ද ගුණසේන මහානාම හා ඔහුගේ මූලිකත්වයෙන් පැවැති රජයේ ලිපිකරු සේවා සංගමය සමග පැවැති සම්බන්ධතා ඉතා වැදගත් විය. මා මුලින්ම රජයේ ලිපිකරු සේවා සංගමයේ මුලස්ථානයට ගියේ ඒ ස්ථානය පිළිබඳ කිසිඳු අවබෝධයක් නොතිබුණු කාලයකයි. ඒ 1982 පමණ විය හැක. කවියෙකු වීමේ උවමනාවෙන් සිටි මට පිහිටවීමට කොළඹ කලා සමාජය සමග පරිවාරමය සම්බන්ධයක් තිබූ මගේ මිතුරෙක් ඉදිරිපත් විය. ඔහු මා එවකට තරුණ කවීන්ගේ ප්‍රධාන වේදිකාව වූ යොවුන් ජනතා පත්‍රයේ කර්තෘ ධර්මසිරි ගමගේ වෙත රැගෙන යාමට පොරොන්දු විය.

මා යොවුන් ජනතා පත්තරයට දීමට සූදානම්ව සිටි කවි ගෙනැවිත් නොමැති බව මට මතක් වූයේ ලේක් හවුසියේ පඩිපෙළ ළඟට පැමිණි විටයි. ඉන්පසුව මෙග් මිතුරා මා සමග උස ගොඩනැගිල්ලක ඉහළම මාළයට ගියේය. ඒ පසු කාලයක මගේ ස්ථිර වාසස්ථානයක් වූ රජයේ ලිපිකරු සේවා සංගම් කාර්යාලය බව මා දැනගත්තේ පසු කළෙකයි. එතනින් කොල ටිකක් ඉල්ලාගෙන අපි දෙදෙනා ලයිට් හවුස් එක ළඟට ගොස් කවි ටික මතකයෙන් කොළවල ලියා යොවුන් ජනතා පුවත් පත් කාර්යාලයට භාර දුනිමු. ධර්මසිරි ගමගේ නොසිටි බැවින් ඔහු හමුවීමට නොහැකි විය. අසල මේසයක සිටි නවයුගය කර්තෘ එඩ්වින් ආරියදාස සමග ටික වේලාවක් කථා කොට ආපසු පැමිණියෙමු. කවි කිසිවක් යොවුන් ජනතා පුවත් පතේ පළ වුයේ නැත.

ඉන් කළකට පසු ජීසීඑස්යූ බිල්ඩිමට නිරන්තරව යාමට පටන් ලත් පසු මේ එදා පැමිණි බිල්ඩිම බව මතකයට නැගිණි. මුල් පැමිණීමේ දී ජීසීඑස්යූ කාර්යාලයේ සිටි අමුතු මිනිසුන් පිරිස මගේ කුතුහළය වර්ධනය කළේය. එදා මා ගුණසේන මහානාම සහෝදයා දුටු බව මතක නැත. නමුත් පසුකාලීනව මගේ හොඳ මිත්‍රෙයක් වූ කුසල් පෙරේරා සමග මගේ මිතුරා කතා කලේට, කඩදාසි ඉල්ලා ගත්තේ ඔහුගෙන් දැයි මතක නැත.

මුලදී ජීසීඑස්යූ බිල්ඩිමේ අපගේ නිත්‍ය ගමනාන්තය වූයේ එහි බෙස්මන්ට් තට්ටුවයි. එය දේශපාලන වශයෙන් අතිශයින් ක්‍රියාශීලී තැනක් විය. පැහැදිළිවම කිව හැක්කේ එය මගේ නියම සරසවිවලින් එකක් වූ බවයි. මට දේශපාලන ලෝකයේ වැදගත් චරිත බොහොමයක් මුණගැසුමේ මේ අඳුරු සහ ගුප්ත යට මහලේදීය. මේ යට මහලේ පිහිටා තිබූ අතිශයින්ම කාර්යබහුල හා ආකර්ශනීය ස්ථානය වූයේ ලංකා ගුරු සංගමයේ කාර්යාලයයි.

සුදු කබර රෝගයෙන් පෙළුනු දයානන්ද සහෝදරායගේ නිතර සිනා මුසු ගුප්ත මුහුණ ඔනෑම ආගන්තුකයෙකු ඒ කුඩා කාමරය තුළට පිළිගැනීමට සූදානමින් සිටියේ ය. ඔහුට කිසිදා නිෂ්චිත වැටුපක් ලැබුණේ නැත. ඒ ගුරු සංගමයට සල්ලි නොතිබුණු නිසා ය. තියෙන හැටියට කීයක් හරි ලැබුණි. සමහර විට එච්එන් ප්‍රනාන්දු “දයානන්ද උඹ කාල ද, උඹට සල්ලි තියෙනවද“ අසා සාක්කුවේ තියෙන දෙයක් ඔහු අත මිට මොලවයි. දයානන්දට කිසිදා ඒ සම්බන්ධව පැමිණිලි තිබුනේද නැත.

එම කුඩා කාමරයේ එකළ මගේ ප්‍රියතම දර්ශනය වූයේ රංජිත් පෙරේරා, රොහාන් පෙරේරා හා ප්‍රගීත් එක්නැලිගොඩ වැනි අය අතර සිදුවන සාකච්ඡාවන් ය. මා එහි ගිය මුල් දිනවල එච් එන් ප්‍රනාන්දු කොළඹ සිටියේ නැත. ඔහු යාපනයේ තාවකාලිකව පදිංචිව සිටියේ ය. මට මතක විදියහ ඔවුන් සමග එකට දේශපාලන කටයුතු කළ උඩුවරගේ හෙන්රි පෙරේරා අත්අඩංගුවට ගැනීමෙන් පසු විය යුතුය. 1987 මුලදී පමණ එච් එන් යලි කොළඹට පැමිණියේය. ඔහුගේ පැමිණීම “සිදුවීමක්“ විය. ඒය ගුරු සංගම් කාර්යාලයට විශේෂයෙනුත් ජීසීඑස්යූ ගොඩනැගිල්ලට පොදුවේත් විශාල ජවයක් එකතු කලේය. එච්. එන් ගේ ශරීරය ලෙඩ බහුල දුර්වල එකකි. නමුත් ඔහුුගේ මානසික ශක්තිය හා ජීවය අසීමිත එකකි. රෝහණ විජේවීරගේ මතභේදාත්මක මස්සිනා ලෙස ඒ වනවිටත් එච්. එන් අප අතර පුරාවෘත්තයක් බවට පත්වී සිටියේය. මේ යටි බිම් මහලේ පිහිටි කුඩා ශ්‍රවණාගාරය වාමාංශික සම්මන්ත්‍රණ හා දේශන නිතර පැවැත්වුනු ස්ථානයක් විය. පසුව අප රාත්‍රියට නිදාගන්නා ස්ථානවලින් එකක් වූයේ ද එම ශ්‍රවණාගාරයයි.

කොළඹ වාණිජ නගරයේ සීඝ්‍රයෙන් වෙනස්වන මේ අවට අවකාශය තුළ පිහිටා තිබූ වෙනස්ම ලෝකයක් වූ මේ පස්මහල් ගොඩනැගිල්ලේ අවසාන කරකවන්නා වූයේ නියම වෘත්තිය සමිතිකාරයෙකුට ආවේණික මුහුණක් හා රැවුලක් තිබූ ගුණසේන මහානාමයි. දයා පතිරණ මරාදැමීමෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් ඉරණමක් කරා තල්ලු කරනු ලැබූ ස්වාධීන ශිෂ්‍ය සංගමයට අයත් අප කණ්ඩායමේ එදිනෙදා ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට මේ ගොඩනැගිල්ල පත් වූයේ අපට එහි යටිබිම් මහලේ කාමරයක් තුළ අපගේ කාර්යාලය පවත්වාගෙන යාමට ගුණසේන මහානාම ඉඩ ලබා දීමත් සමගයි. කාර්යාලය ලබාදුන්නා පමණක් නොව අපගේ කණ්ඩායමට කෑම සපයා ගැනීමට අවශ්‍ය මුදල් ද නිති පතා ලබා දුන්නේය.

ටික කලකින් මට “උසස්වීමක් ද“ ලැබුණි. ඒ එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මේ “වාමාංශික ආරක්ෂක මූල කඳවුරට“ එල්ල විය හැකි සන්නද්ධ ප්‍රහාරයකට මුහුණ දෙන “ආරක්ෂක බලකායේ“ සාමාජිකයෙක් ලෙසිනි. මගේ කාර්යය වූයේ රාත්‍රී පහන් වනතුරු ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවට සමාන්තර උඩු මහලේ බැල්කනියට වී ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වියහැකි ප්‍රහාරකයින්ට පහර එල්ල කිරීමයි. ඒ සඳහා මහ යකඩ පොල්ලක් සහ ඇසිඩ් පිරවූ කුඩා මාමයිට් බෝතලයක් ලැබී තිබුණි. වාසනාවට කිසිම දිනක ම මගේ එම ආයුධ දෙකේ ශක්තිය පරීක්ෂා කර බැලීමට අවස්ථාව උදා වූයේ නැත.

මේ කාර්යය වෙනුවෙන් මට මාසිකව රුපියල් 1500ක දීමනාවක් ලැබුණි. එය මට දිව්‍ය ලෝකයෙන් ලැබුණු තෑග්ගක් මෙන් විය. පියාටද රැකියාවක් නොමැතිව පවුලම නන්නත්තාරව සිට ඒ සමයේ මුළු පවුලේම නඩත්තුවට හා දවල් කාලයේ කොළඹ නගරයේ හා කොළඹින් පිටත මගේ වාමාංශික දේශපාලන රස්තියාදුව පවත්වාගෙන යාමට මේ රුපියල් 1500 හොඳටම ප්‍රමාණවත් විය.

මේ වකවානුවේ මට තවත් වරප්‍රසාදයක් හිමිවිය. ඒ ජීසීඑස්යූ හී ස්ථාවර නවාතැන්කරුවන් ලැඟුම් ගන්නා එහි පසුපස උඩු මහලක පිහිටි විශේෂ කලාපයේ පදිංචියට යාමයි. ප්‍රගීත් එක්නැලිගොඩ, රොබට් ජයසේකර, සරත් මුණසිංහ හා මෙකී නොකී විවිධ වාමාංශිකයින් මේ විශේෂ කලාපයේ ලැඟුම් ගෙන සිටියේය. විශේෂ දෙයක් වූයේ කොමඩ් වැසිකිලියක් පාවිච්චි කිරීමට මා මුල්වරට පුරුදු වූයේ මේ විශේෂ කලාපයේ දී වීමයි.

ගුණසේන මහානාම සහෝදයාට දේශපාලන ඉලක්කයක් තිබුණි. ඒ ඔහු විසින් පිහිටුවා තිබූ පක්ෂය වැඩි වර්ධනය කිරීමයි. මුල් කාලයේ ඒ පක්ෂයේ දීප්තිමත් ක්‍රියාධරයින් රැසක් සිටියේය. සුමනසිරි ලියනගේ, විලී සේනානායක වැන්නන් ප්‍රධානය. එකළ මේ දෙදෙනාම ඕස්ට්‍රෙලියාවේ ජීවත් විය. නව පිරිසක් සමග පක්ෂය ගොඩනැංවීම මහානාම සහෝදරයාගේ අරමුණ විය. ඒ සඳහා ඔහු ස්වාධීන ශිෂ්‍ය සංගමය මත විශාල බලාපොරොත්තුවක් තබා සිටියේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එවක නායක කේ එල් ධර්මසිරි පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ද ඇතුළු කරගෙන තිබිණි.

පක්ෂය ඉතා මනරම් පුවත්පතක් ප්‍රකාශයට පත් කළේය. එහි නම උරුමය විය. මුළින් එය සංස්කරණය කළේ සුමනසිරි ලියනගේ, විලී සේනානායක් වැන්නන් විය හැක. මා දන්නා සමයේ එහි සංස්කාරකවරයා වූයේ රංජිත් පෙරේරාය. සම්ප්‍රදායික වර්ගයේ මාක්ස්වාදියෙක් නොවූ රංජිත් එය අතිශය මනරම් හා ඉහළ බුද්ධිමය ආකර්ශනයක් සහිත පුවත්පතක් බවට පත් කලේය. ඒ පුවත්පතේ පිටවත් කිසිවක් දැනට මා සතුව නැතත් ‘මරාසාද්’ නාට්‍යය ගැන රංජිත් ලියා තිබූ විශිෂ්ට ලිපිය මගේ මතකයේ තිබේ.

කෙසේ වෙතත් ස්වාධීන ශිෂ්‍ය සංගමය හා මහානාම සහෝදරයා අතර දීගය වැඩිකල් පවත්වාගෙන යාමට නොහැකි විය. ඒ ධර්මසිරි සහෝදරයාට වෙනත් සැලසුමක් තිබුණු නිසා ය. ඒ නිසා ස්වාධින ශිෂ්‍ය සංගමයට ජීසීඑස්යූ කාර්යාලයෙන් ඉවත් වීමට සිදුවිය. පසුව එහි තාවකාලික නැවතුම් පළ බවට නොරිස් කැනල් පාරේ රාජිත සේනාරාත්නගේ නිවස පත්විය. කෙසේ වෙතත් මට ජීසීඑස්යූ සමග සම්බන්ධය තව දුරටත් තිබූ බව මතකයේ තිබේ.

වරක් විශ්ව විද්‍යාලයේ දරුණු ශිෂ්‍ය ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත කර සිට ඉන් එළියට ආ පසු යාමට තැනක් නොවීය. ගෙදර කලබල වන නිසා ගෙදර කිසිවෙකුට සිද්ධිය දැන්වූයේ නැත. ඒ නිසා යාමට තිබුනේ ජීසීඑස්යූ බිල්ඩිමටයි. පස්වන මහළේ ජීසීඑස්යූ කාර්යාලයේ පසෙක පැදුරක් දමාගෙන වැතිරී සිටීමට අවශ්‍ය අවකාශය මහානාම විසින් මට ලබා දෙන ලදි. නමුත් දවසකට වඩා එහි සීටීමට හැකි වූයේ නැත. මා තුවාල ලබා හිසේ තුවාල වෙළුම් සහිතව රෝහල් ඇදක වැතිරී සිටින පින්තූරයක් දිණිමිණ පත්තරේ මුල් පිටුවේ පලවී තිබුණි. එය දුටු මගේ ඥාති සොහොයුරෙක් මගේ මවට පැමිණිල්ල ඉදිරිපත් කළ පසු මව මා සොයා පැමිණියාය.

මහානාම ගේ දේශපාලනය ගැන ලිවිය හැකි දේ බොහෝය. නමුත් වැදගත්ම දේ 1987-89 වකවානුවේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට විරුද්ධව ක්‍රියාත්මක වූ දේශපාලනයේ කොළඹ අගනාගරික මූලස්ථානය ලෙස ජීසීඑස්යූව ඉටුකළ කාර්යභාරයත් මහානාම එයට දැක්වූ දායකත්වයත්ය. ලංකා ගුරු සංගමය හා ස්වාධීන ශිෂ්‍ය සංගමයට අමතරව ඊපීආර්එල්එෆ් මූලස්ථානය ද තාවකාලිකව එහි පිහිටා තිබුණි. ගුරු සංගමයටත් ස්වාධීන ශිෂ්‍ය සංගමයටත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ද ඊපීආඑල්එෆ් සංවිධානයට එල්ටීටීඊයෙන්ද මාරාන්තික තර්ජන එල්ලවී තිබුණු, මරණයට බියේ සැඟවී සිටි අතර පොහොසත් දේශපාලන සාකච්ඡාවක තෝතැන්නක් බවටද එය පත් වී තිබුණි. ඒ පිළිබදව පසුව ලිවීමට බලාපොරොත්තු වෙමි.

මගේ ජීවිතයේ එක් යුගයක ගැලවුම්කරුවා වූ මහානාම සහෝදරයාට මගේ ආචාරය පිරිනමමි!!!

Social Sharing
අවකාශය නවතම