කවිය, කෙටිකතාව සහ තිලකසේන

බ්‍රිටැනිකා ශබ්දකෝශයේ “Poetry” යන වචනය සඳහා වෙන් ව ඇති වෙබ් පිටුවේ මෙවන් සඳහනක් වෙයි: “කවිය යනු බස හැසිරවීමේ තවත් ක්‍රමවේදයකි.” ලොව විසූ විශිෂ්ටතම රොමැන්ටික කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් ට අනුව, කවිය යනු: “නිරායාසයෙන් ගලා යන්නා වූ ප්‍රබල හැඟුම් සමුදායකි.” ගොතික් කවියෙකු වූ එඩ්ගා ඇලන් පෝ පවසන්නේ මෙවැන්නකි: “මම, සරල ව ම, සුන්දරත්වය රිද්මයානුකූල ව ගොඩනැඟීම කවිය ලෙස දකිමි.” රොබට් ෆ්‍රොස්ට් පවසන්නේ මෙවැන්නකි: “හැඟීමට සිතිවිල්ල ද, සිතිවිල්ල ට වචන ද හසු වූ කල, කවි ශාස්ත්‍රය ඉපදේ.” මේ අතරින් කවිය යන්න හොඳින් ම නිර්වචනය කර ඇත්තේ කවුරුන්දැයි කියන්නට මම නොදනිමි. කවියෙහි නිර්වචනය කුමක් වේවා, කවි රසවිඳින්නට එකී කිසිවක් බල නොපාන බැව් මගේ මතය යි.

එපරිද්දෙන් ම තිලකසේනයන් ගේ නිර්මාණ, වෙසෙසින් ම ඔහුගේ කවි කලාව රස විඳීමට ඔහු සතු අක්ෂර විලාසය බල නොපාන බැව් මම විශ්වාස කරමි. එනමුත්, එයට එක්වර ම හුරු වීම ද තරමක් අපහසු බැව් මම දනිමි. ඔහුගේ අක්ෂර විලාසය මේ ලිපියේ ප්‍රධාන අරමුණ නොවන බැවින්, එය ගැන වැඩිදුර මෙයින් විස්තර නොකරමි. මෙය මා මීට පෙර දිනෙකදී ‘මන්දා’ කව මූලික කොටගෙන ලියූ ලිපියට ද සමානකම් දක්වන අතර, තිලකසේනයන්ගේ කවි පිළිබඳ කතා කිරීමේ දී මන්දා කවිය වැදගත් කියා මා සිතනා හෙයින්, මම එම කවිය සහ ඔහු ලියූ මාරියාවෙහි එන තවත් කවි දෙකක් මූලික කොටගන්නට සිතුවෙමි. මෙය එකී ලිපියෙහි ම වෙනස් ස්වරූපයකැයි සිතන්නට ද පුළුවන.

මුලින් ම, තිලකසේන ගේ කෙටිකතාවක කොටසක් සළකා බලමු

“සඳැල්ලේ බැම්මට මුවා වී ඉඳිමින් මම බලා හිටියා ඔබ දිහා. එහා පැත්තෙ පදිකාව දිගේ එමින් සිටි ඔබ දිහා. ඔබ හේතුකොටගෙන පදිකාව දිගට උන් මිනිසුන් අතර විවිධ චලන ඇති වනු මම බලාගන. මගේ දර්ශන පථය වරින්වර කැඩී ගියේ පාරේ එහා මෙහා ගිය තට්ටු දෙකේ බස් නිසා. ඇලේකට යමින් තිබුනු කාර් එකක් පෙනුනු මට සමහර බල්ලො දුවන්නෙත් ඔය වගෙයි හිතුනා. ගිගුරුමක්වත් මොකක්වත් නැතුව හිටපු ගමන් ඇදහැලෙන්න උනා වැස්සක්. වැහිකබායක්වත් නැතුව ඔබ දුවගන එද්දි වැස්සේ ඉරිවලට ඔබේ ගවුමේ රතු පැහැය රෝස පැහැයකට හැරෙනු මම බලාගන.”

උක්ත කොටස, අජිත් තිලකසේනයන් ගේ හොඳම කෙටිකතා සංග්‍රහ අතරින් එකක් යැයි සැළකෙන ‘සුන්නද්දූලි’ කෙටිකතා සංග්‍රහයට අයත් කතාවක් වන ‘රතු මල නොහොත් චාලිද්දරය – ගුරුවරයෙකුගේ කතාවක්’ හි එන්නකි. මෙම කොටස, චිත්ත රූ ගංගාවක් ලෙස දකිමි. සමහර ජනප්‍රිය කතුවරුන් හට පවා, ප්‍රබල චිත්ත රූ මැවීම් සිදු කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත්, තිලකසේනයන්, එවැන්නක් කිරීමට සමත් වන්නේ ය. උත්තම පුරුෂයෙන් කතන්දරය ගොතන තිලකසේන මහතා, පළමු වැකි ත්‍රිත්වයෙන් ම මේ කොටසට අනුව ‘ඔබ’ යන වචනයෙන් හැඳින්වෙන තැනැත්තිය ප්‍රධාන කරන්නට පෙළැඹේ. ඔහු වැකි ත්‍රිත්වයෙන් ම සිදුවීම විස්තර කරයි. මුලින් ම, කතා නායකයා සඳැල්ලේ බැම්මට මුවා වී ‘ඔබ’ දෙස බලා සිටි බැව් පවසයි. ඉනික්බිති, හේ එම වැකියෙහි ම ඇලීගෙන සිටියි. දෙවැනි වැකියෙන්, ඔහු ‘ඔබ’ ගේ ගමන් මඟ තරමක් විස්තර කරයි. ඇය පදිකාවේ සිට ආ හැටි විස්තර කරයි. “ඔබ හේතුකොටගෙන පදිකාව දිගට උන් මිනිසුන් අතර විවිධ චලන ඇති වනු මම බලාගන.” යන වැකිය ඇගේ ගමන් ලීලාව සහ පදිකාව මත සිටිනවුන්ගේ හැසිරීම ප්‍රබල කරමින් ම නැවතත් ‘ඔබ’ හුවා දක්වන්නට සමත් වෙයි.

ඔහු සහ තරුණිය (‘ඔබ’ යන වචනයෙන් මේ අවස්ථාවේ දී හැඳින්වෙන තරුණිය) අතර වූ ඔහුගේ දෘශ්‍ය පථය මඟින් ඇති වූ සබඳතාව, තට්ටු දෙකක බසයක් හේතුවෙන් තරමක් බිඳී යන්නේ එවිට දී ය. පසුව ඔහු මුල්වරට දෑස වෙන’තක හරවයි. ඔහුගේ දෑසට හසුවනුයේ ‘ඇදේකට යමින් තිබුණු කාර් එකක්,’ ය. එයින්, ඔහුගේ මනසට ‘සමහර බල්ලන්’ ගෙන එනු ලැබේ. වැස්සක ඇද වැටීම ඔහු පවසන්නේ මෙයා’කාර ව ය: “ගිගුරුමක්වත් මොකක්වත් නැතුව හිටපු ගමන් ඇදහැලෙන්න උනා වැස්සක්.” හිටි අඩියේ කඩා වැටෙන හිතුවක්කාර වැස්සක් කතන්දරයට එක්කාසු කරමින්, තිලකසේනයන් නැවතත් ඡේදයේ ඇරැඹුමෙන් කියැවුණු ‘ඔබ’ ප්‍රධාන කරන්නේ ය: “වැහිකබායක්වත් නැතුව ඔබ දුවගන එද්දි වැස්සේ ඉරිවලට ඔබේ ගවුමේ රතු පැහැය රෝස පැහැයකට හැරෙනු මම බලාගන.” රතු පැහැය දෑස ඇදගන්නා වර්ණයකි. සාමාන්‍ය මාවතක දී වුව, රක්ත පැහැය ඔබේ දෑස ඇදගන්නා බැව් අමුතුවෙන් කීමට අවැසි නැත. කතන්දරය පුරාවට ම රතු ප්‍රබල වර්ණයක් වන අතර, එවැන්නක් මඟින් කතුවරයා පාඨකයිනට කතන්දරය පිළිබඳ ව ඉඟියක් ලබා දෙන්නට උත්සහ දරන්නට ඇතැයි කියා ද කිව හැක. මෙකී සිදුවීම කතුවරයා ගේ අහඹු තීරණයක් ම පමණක් විය හැක. කෙසේ වුව, වැහි බිඳුවලින් ඇගේ ඇඳුම ලා පැහැ ගැනීම මනසේ මවමින් වර්ණ සහ වැස්ස මුහු කරන්නට නම් කතුවරයා සමත් ව ඇත. මෙය නොවේ ද ඇමරිකන් කතුවර ස්ටීවන් කිංග් නිතර දෙවේලේ ම සඳහන් කරනා “Show, don’t tell,’ න්‍යාය? සලරුවක් බඳු සිදුවීම් මාලාවක් මනැසේ දර්ශනය කිරීමට සමත් වීම දක්ෂ කතුවරයෙකු ගේ ගුණාංගයකැයි මම සිතමි.

 

 

දැන්, ඔහුගේ කවි තුනක් සලකා බලමු. එම කවි ත්‍රිත්වය ම මාරියාවෙහි එන කවි වේ. පළමුවැන්න “මන්දා” ය.

මන්දා

“අපේ කසාදය කටුගාලා ගෙවුණු දෙවසර තුලදි
අපි මුන ගැහුනා කීප විටක් කඩමන්ඩියෙදි
පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා

අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සල තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට

වරක් මම
පදිකාව දිගේ එමින් සිට
නිකමට
ඔබ ඉන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සලුපිලි හලට එබුනා

වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා

මගේ දෙවන බිරිඳ
ඇගෙන් මට දරුවො නැහැ

ඊයෙ රෑ කෑම පිහද්දි
මට දැනුනා අතීත සුවඳක්
මතකයට ආවා
කුස්සියේ ඉස්සර හැඩය
හැඳි අලුව කලින් එල්ලුනු තැන
දිය මැස්ස වට්ටි ආන එදා තිබුනු පිලිවෙල

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා”

මෙම කවිය දෙවරක් කියවූ පසු, මුළු කවිය ම පාහේ මාගේ මතකයේ රැඳී තිබිණි. මෙය, මා කැමති ම කවිවලින් එකකි. මෙම කවියෙන් තිලකසේන මහතා මනුෂ්‍ය මනසේ සංකීර්ණ ස්වභාවය පෙන්නුම් කරන්නට තැත් දරන බැව් ප්‍රකාශ කළ හැක. මේ ඉදිරිපත් කොට ඇත්තේ කටුගාන ලද කසාදයක සැමියා ගේ මනැසේ හැසිරීම ය. කසාදයක් කටු ගා දැමීමට බොහෝ විට හේතු වනුයේ සැමියා සහ බිරිඳ අතර උත්පත්තිය ලබන මොනයම්ම හෝ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය බරපතළ වුව, නොවුව, දික්කසාද වීමට තීරණය කරනා අඹු-සැමි දෙපළ අතර ඇති වූ කුඩා ගැටලුවක් වුවත්, දික්කසාදයකට පාර කැපිය හැක. කවිය කියවන විට මා හට හැඟෙනුයේ මේ ජෝඩුව එවැනි ජෝඩුවක් කියා යි. “පාර පනිද්දි ඔබ එක්වරක් මා දිහා බැලුවා” යන වැකියෙන්, තිලකසේන මෙම වැකියෙන්, පළමු බිරිඳ ගේ හැසිරීම් රටාව ද පෙන්නුම් කරන්නට පෙළඹේ. ඇය ද ඔවුන’තර පැවති සම්බන්ධය මුළුමනින් ම අමතක කොට නැත. දික්කසාදයෙන් පසු ව, දරුවාගේ අයිතිය ලැබී ඇත්තේ බිරිඳට ය. “අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට, මම ඔහුව උස්සලා තිබ්බා පා පුවරුවෙන් උඩට, ඉක්මනට ගැන්නෙන්න, ඔබේ තුරුලට” මෙම පෙළේ ‘ඔබේ තුරුලට’ යන වචන ද්වයෙන් කවියා සැමියා සහ බිරිය අතර පැවති සම්බන්ධයේ ප්‍රේමණීය අවස්ථා පිළිබඳ යම් ඉඟියක් ලබා දෙන අතර, දරුවා ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයේ එක්තරා සංකේතයක් ලෙස ද කවියා පෙන්නුම් කර ඇතැයි කියා මට සිතේ. ‘ඔබේ තුරුලට’ යන්න සඳහන් කිරීමෙන් තිලකසේන, සැමියා සහ බිරිය අතර පැවති අතීත සබඳතාවේ සිප – වැළඳගැනීම් පිළිබඳ ව ද පෙන්නුම් කරන්නට උත්සහ කරන්නට ඇතැයි කියා මම සිතමි.

එක් වරක් ඔහු තැපැල් පෙට්ටිය ඉදිරිපිට වූ රේන්ද සලුපිලි හලට එබෙනුයේ සිය ප්‍රථම බිරිඳ දැකගැනීම උදෙසා ය. ඉන්පසු ව, බිරිඳ ඔහු දැක පාන මදහස, කවියා රිදී ඉරකට සම කරයි. එම ඉරෙන්, ඇගේ දසන්වල වර්ණය සඳහන් කරමින් ම, කවියා කිසිත් නොමැකී යන චිත්ත රුවක් මවන්නට සමත් වේ. සමහර විට ඔහුගේ හැසිරීම ඇය හට ද දැනගන්නට ලැබී තිබෙන්නට පුළුවන. ඔහු දුටු විටෙක ඔවුන්ගේ අතීතය සිහි වී ඇය එවන් මන්දස්මිතයක් පෑවා වෙන්නට ද පුළුවන. සැමියා දෙගිඩියාවෙන් දෝ මන්දා මෙවන්නක් පවසන්නේ ඉන්පසු ය:

“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා”

තමා සිය පළමු බිරියට නැවතත් ආල කිරීම අරඹා ඇතැයි ද කියා ඔහු සිතන්නට වන්නේ ය. ඉන්පසු ඔහු මෙවැනි දෙයක් පවසයි: “මගේ දෙවන බිරිඳ, ඇගෙන් මට දරුවො නැහැ.” එනමුත් පළමු බිරිඳට ඔහුගෙන් දරුවෙක් සිටින’තර, දරුවා සිය පළමු බිරිඳ කෙරේ තමා තුළ ඇති ආලය තීව්‍ර කරවන වග සැමියා යම්තමින් සඳහන් කරයි. ‘අතීත සුවඳක්’ මතකයට ආ බැව් සඳහන් කරමින් පළමු කසාදයේ අතීතකාමුක සුවබර හැඟුම් ගොන්නක් සමඟින් කවිය මෙලෙස අවසන් කරයි:

“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා”

දෙවැනි කවිය, “කියන්න” ය.

කියන්න

“පොල් අතු වහලෙක ඉරටු පෑදුනු තැනින්
හඳ දිහා බලාගන
ලුනු වැඩියෙන් ඇති කැඳිත්තක් බිබී
නොකා
තවමත් බහක් නුදුන් යුවතිය ගැන හිතහිතා
සුසුම් හෙල හෙලා මිනිහෙක් මදුරුවො කකා
ලනු ඇඳක බොකුට්ටෙ වැතිරගෙන ඉන්න බව
හඳේ කියන්න මුලු ලෝකෙටම
උඩත් බිමත් ඉන්න හැම කොට්ඨාසෙකටම
යන ගමන් ලොව වටා

තව දින විසි නමයකින්
මුන ගැහෙමු අපි
මම මෙතනම ඉන්නම්
දැනගන්ඩ තොරතුරක්

දෙවිවරුන් නැති නිසා ගගනගාමීන්ට කියන්න
ටැක්සි රියදුරන්ට මුද්දර එකතුකරන්නන්ට කියන්න
කියන්න හමුදාපති ගොල්ලට අගමැතිවරුන්ට රජුන්ට
අධිරාජයින්ට තවමත් ඉන්නවා නම් කියන්න

පොල් අතු වහලෙක ඉරටු පෑදුනු තැනින්
හඳ දිහා බලාගන
ලුනු වැඩියෙන් ඇති කැඳිත්තක් බිබී
නොකා
තවමත් බහක් නුදුන් යුවතිය ගැන හිතහිතා
සුසුම් හෙල හෙලා මිනිහෙක් මදුරුවො කකා
ලනු ඇඳක බොකුට්ටෙ වැතිරගෙන ඉන්න බව
හඳේ කියන්න මුලු ලෝකෙටම”

තරුණියකගෙන් බහක් ලැබෙන තෙක්, කල් මරමින් සිටිනා තරුණයාගේ සිතිවිලි ධාරාව අතරින් ඔහුගේ ආර්ථික පසුබිම, තරුණ හැඟුම් සමුදායන් හි සංකීර්ණ බව පෙන්වා දෙන තිලකසේනයන්, සරල වචන මාලාවක් භාවිතා කරමින්, හඳ දූතයෙකු ලෙස භාවිත කරයි. තමා ඇගෙන් බහක් ලබන තෙක්, බලා සිටිනා ආකාරය මුළු ලොවට ම පවසන්නැයි කියා හෙතෙම ඉල්ලයි. මේ රමණීය කවිකරු මෙවැන්නක් ද සඳහන් කරයි: “තව දින විසි නමයකින්, මුන ගැහෙමු අපි, මම මෙතනම ඉන්නම්, දැනගන්ඩ තොරතුරක්.” තොරතුරක් දැන ගැනීමට ඔහු තුළ ඇති ලාලස කවියා එම පෙළෙන් මනාව විස්තර කරයි. ගගනගාමීන් ට ද, ටැක්සි රියදුරන්ට ද, හමුදාපති ගොල්ලට ද, අධිරාජයින් වැනි බලවත් පිරිස්වලට ද ඔහු ඇගෙන් බහක් ලැබෙනා තෙක් ලණු ඇඳක බොකුට්ටේ වැතිරීගෙන ඉන්නා බැව් පවසන ලෙස හඳෙන් ඉල්ලන්නට වෙයි. කවියෙහි ප්‍රධාන සිදුවීම මෙයා’කාර ය. තරුණිය කෙරේ ඉලන්දාරියා තුළ ඇති අධික ප්‍රේමය කවියා ගෙත්තම් කොට ඇත්තේ මෙපරිද්දෙනි. තෙවැනි කවිය පහත දක්වා ඇත. එය පිළිබඳ ව කිසිඳු සටහනක් තැබීම අවැසි නැතැයි කියා මම සිතමි.

තෙවැනි කවිය, “තාරුකා” ය.

තාරුකා

“මගේ සිතිවිලිත් එක්ක
මට නිකා ඉන්ඩ දෙන්ඩ
එච්චරයි මම කියන්නේ බෝඩින් නෝනාට

තාරුකා මැකිලා ගියා පශ්චිම යාමයේ
ගියා නොකියාම
ඔබ වගේ
වාර විභාගයේ අන්තිම පත්‍රය අවසන් වෙච්ච විගස
නිමාඩුව එලඹෙන්ඩත් කලින්

අරුන හැඩගැහෙන වෙලාවේ
මම
ලයිට් එක දාගන
පොතක් දිගඇරගන විතරක්
හෙට මගේ අන්තිම පත්‍රය ගැන නැතුව වගක්
ජනේලයෙන්
අහස බලාන ඉන්නකොට
මගේ තේ එක අරන්
දොර නොඅඬවාම
බෝඩින් නෝනා ආවා ඇතුලට

ඈත් බැලුවා ජනේලයෙන්
මොකද මගෙන් ඇහුවා
තාරුකා මම කිව්වා
ආයෙත් පායාවි
බෝඩින් නෝනා කිව්වා.”

සිංහල සාහිත්‍යයේ දැවැන්තයෝ කීපදෙනෙක් වෙති. ඒ අතරින්, අජිත් තිලකසේන ප්‍රධානියෙකි. හේ ඉන්ද්‍රජාලිකයෙකි.

කාව්‍ය තත්සර
2023 – 06 – 05

අජිත් තිලකසේනයන්ගේ ඡායාරූපය – අරුණ ප්‍රේමරත්න

Social Sharing
අවකාශය නවතම