හීන මරන රටක්…!

-චන්දන ප්‍රසන්න-

ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්.

නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා කීපදෙනාගෙන් කෙනෙක්, මම දැකපු පළවෙනි සිංහල ගෑනු කොමීඩියන්. කොහොමත් ලෝකෙත් ගෑනු කොමීඩියන්ලා අඩුයි. මෑතක ඉඳන් තමයි ඇමරිකාවෙ වුණත් එහෙන් මෙහෙන් ගෑනු කොමීඩියන්ලා මතුවෙන්නෙ. උන්ගෙනුත් වැඩි හරියක් කරන ජෝක්වලට හිනා යන්නෙ නෑ. උන් වැඩිපුර කරන්නෙත් (සහ කරන ඒවයින් හිනායන්නෙත්) සෙක්ස් කොමඩි. කොමඩි සහ කොමඩිවලට හිනායන එක අපේ ඔළුවෙ හෙන සංකීර්ණ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් නිසා, ඕකට හේතුව හරියට ම කියන්න බැරි වුණත් පරිණාමික ව අපේ සයිකොලොජි හැදිල තියෙන විදිය වෙන්න ඕන.

නතාශගෙ මම ලයිව් බලපු පළවෙනි කොමඩි සෙග්මන්ට් එකට මට හිනා ගියා. ඒක සෙක්ස් කොමඩියක්. පස්සෙ දවසක වැඩිය සෙක්ස් ගැන කතා නොකරන කොමඩියක් කළා. ඒකට එච්චර හිනාගියෙ නෑ. කොහොමත් මම හිතන විදියට කොමඩි කියන්නෙ ලෝකෙ තියෙන අමාරුම පර්ෆෝමිං ආර්ට්වලින් එකක්. මොකද ඒ වෙලාවෙ ඕඩියන්ස් එකෙන් තමන් බලාපොරොත්තු වෙන තැන දි හිනාව ආවෙ නැත්තං ලෝකෙ ඉන්න ලොකුම කමීඩියන්ලා වුණත් අනාථ වෙනවා. හෙන ෆේමස් කමීඩියන්ලා වුණත් ‍කියනවා උන් හැම තිස්සෙ ම හෙන ඇන්සයිට් එකක ඉන්නෙ කියල, තමන්ගෙ ඊළඟ කොමඩි ස්පෙෂල් එකේ මිනිස්සු හිනාවෙයි ද තැනිවෙයි ද කියලා.

ලෝකෙ ප්‍රසිද්ධ කොමීඩියන්ලා එක්ක තියන්න බැරි වුණත් (ලංකාව සිංදු, චිත්‍රපටි, නවකතා වගේ ඒවත් ලෝකෙ ඒවත් එක්ක තියන්න බෑනෙ) හසලකයලගෙ සෙට් එකට තමන්ගෙ ලයිව් ඕඩ්යන්ස් එක හිනස්සන්න පුළුවන් වෙලා තියෙනවා. ලංකාව වගේ ඕඩියන්ස් එකත් sincerity හදාගන්න අමාරු රටක ඒකත් හෙන චැලේජ්න් එකක්. සාමාන්‍යයෙන් වෙන රටවල නම් ගායකයො සහ ලයිව් ඕඩියන්ස් එක අතරත් ඒ වගේ sincerity එකක් තියෙනවා. මම හිතන්නෙ ඒ ඕඩියන්ස්වල ඉන්නෙ ගායකයට පිස්සුවෙන් වගේ ලව් කරන, ඌ සිං කරද්දි කලන්තෙ දාන මට්ටමේ ෆෑන්ස්ලා නිසා ඒක තරමක් ලේසි ඇති. හැබැයි ලංකාවෙ ලයිව් ෂෝවල බොරුවට කෑගැහුවට ඕඩියන්ස් එකත් එක්ක එහෙම sincer සම්බන්ධයක් ස්ටේජ් එක උඩ හදාගන්න ගායකයො මම දැකල තියෙන්නෙ හෙන අඩුවෙන්. ගායිකාවො නම් ඇත්තෙ ම නැති තරම්. කොහොමත් පොඩ්ඩ එහෙ මෙහ වුණු ගමන් ස්ටේජ් එකට ගල් ගහන, ස්පීකර් කුඩුපට්ටම් කරන, එදිනෙදා පාරෙ තොටේ හම්බෙන තක්කඩිත් එක්ක එහෙම එකක් හදාගන්න අමාරු එකත් මට තේරුම්ගන්න පුළුවන්.

ඒ වගේ රටක ‍ගෑනු කොමීඩියන්ලා හැදෙන එක සෑහෙන වැදගත් ඒ නිසයි. ගෑනු පිරිමි කවුරු වුණත් කොමඩි කරනවා කියන්නෙ තමන්ව මිනිස්සු ඉස්සරහා රිවීල් වෙන, තමන්ගෙ ඔළුවෙ තියෙන ඩාර්ක් ම තැන් ගැන එළිපිට කතාකරන්න සිද්ධවෙන වැඩක්. ලංකාවෙ ගෑනියෙක් (පිරිමෙියෙක් වුණත්) ඕක කරනවා කියන්නෙ හාමුදුරුවන්ටයි, ෆේස්බුක් හැතිකරේටයි, පොලිසියටයි කලින් ඕක මර්දනය කරන්නෙ ගෙවල්වල ඉන්න අම්මල තාත්තලයි, නෑදෑයොයි. ඒ වගේ තත්ත්වයක් තියාගෙන ‍හිනායන හෝ නොයන කොමඩි කරන්න, ඒකත් සෙක්ස් ගැන කොමඩි කරන්න ලංකාවෙ ගෑනියෙක් ස්ටේජ් එකට නඟිනව කියන්නෙම වැඩක්. කොහොමත් ගොඩක් ක්ෂේත්‍රවල පුරෝගාමියෝ කියන්නෙ ඒ දේට දක්ෂම හෝ ඒක හොඳට ම කරපු උන් නෙවෙයි. හැබැයි පස්සෙ කාලෙක එන දක්ෂ උන්ට එතෙන්ට එන්නෙ අර මුලින් ම ආපු පුරෝගාමීන්ට පාර දිගේ.

නතාශගෙ පුද්ගලික පසුබිම මම දන්නෙ නැතත්, ලංකාව ගැන දන්න නිසා මම හිතන්නෙ නෑ මේකෙන් පස්සෙ නතාශා කොමඩි කරන්න ස්ටේජ් නගියි කියලා. මොකද මෙච්චර කල් ‍කොහොම බේරිලා හිටියත් හිරෙත් වැටුණට පස්සෙ නම් ඔය ගෙවල්වල උන්ගෙන් ‍බේරෙන්න වෙන්නෙ නෑ. ඒ නැතත් අර කලින් කීව වගේ, කොමඩි කියන්නෙ ඕඩියන්ස් එකත් එක්ක හෙන sincerity එකකින් කරන්න ඕන එකක් සහ මිනිස්සුන්ගෙ ඔළුවෙ සම්මත සීමාවෙන් එහා දේවල් කතාකරන්න ‍ඕන ආර්ට් එකක් නිසා, ඒ සීමා ගැන බයක් සහ බිඳුණු හිතක් එක්ක කොමඩි කරන්න අමාරුයි, මම දන්න විදියට. නතාශට විතරක් නෙවෙයි, හසලකයලගෙ සෙට් එකට ම ඕක බලපාන්න ඉඩ තියෙනවා. සිංදුවට අදාළ මූඩ් එක මැරිලා අවුරුදු ගාණකට පස්සෙත් ඒ මළගෙදර මූණෙ තියාගෙන ස්ටේජ් නැඟලා සිංදු කියන්න (විශේෂයෙන් ලංකාවෙ) ගායකයන්ට පුළුවන් වුණාට කොමඩි එහෙම කරන්න අමාරුයි, මම හිතන්නෙ. ඒ විදියට මිනිහෙක්ගෙ හීනයක් මරන එක, කාලයක් තිස්සෙ මහන්සි වෙලා හදාගත්ත ආර්ට් එකක කුඩුපට්ටම් කරල දාන එක, ඒ මිනිහට කොච්චර රිදෙනව ඇති ද, හීනෙන්වත් හිතුපු නැති වෙලාවක නොකළ වරදකට හිරේ වැටුණ ම (ඒකත් ලංකාවෙ හිරගෙදරක) ඒ මිනිහ මූණ දෙන ‍ටෲමා එක ගැන සත පහක ගාණක් මේ රටේ උන්ට නැති එක එක අතකට පුදුමත් නෑ. උතුරෙ, දකුණෙ මරපු මැරිල්ල කිරිබත් කකා උඩ පැනපැන සහ ඒ මැරිලි සමරපු විදිය බැලුවම.

ගායකයො ගැන කියද්දි, 2002 දි චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙන් ගෙදරට පැනල මරන්න හදපු දවසෙන් පස්සෙ රූකාන්ත අතින් ආයෙ කවදාවත් අර ඊට කලින් හැදුණු ජාතියෙ සතුට පිරිණු මියුසික් හැදිලා නෑ. දැනට වුණත් රූකාන්ත ස්ටේජ් එකක සිංදු කියද්දි මූණෙ තියෙන, කාලකන්නි තක්කඩි සමාජයක් එක්ක තමන්ගෙ හදවත බෙදාගන්න සිද්ධවීමේ ඛේදවාචකය, මට නම් තේරුම්ගන්න පුළුවන්. ඊට කලින් සීටී, සුනිල් ශාන්ත, ආනන්ද සමර‍කෝන් වගේ මියුසීසියන්ලවත් මේ රට නොමරා මරල හෝ තමන්ම සුවිසයිඩ් කරගන්න තැනට පත්කරලා තියෙනව නෙ. ඊළඟට ප්‍රේමකීර්තිගෙ ඉඳන්, ජනප්‍රවාදවලට අනුව වැඩේ ඉවරවුණාට පස්සෙ රජ අනින් ඇස් අන්ඳ කරපු හෝ මරපු චිත්‍ර ශිල්පීන් දක්වා ‍භෞතිකවත් සෑහෙන පිරිසක් මරල ඇති.

කොහොමත් රජ කාලෙ අතෑරල මෑත ඉතිහාසෙ විතරක් ගත්තත් මේක අවුරුදු පතා මිනිස්සු මර මරා යන හෙන ලේ පිපාසිත රටක්. ඒ විදියට මැරුම්කන්න වෙනවා කියන අවදානම දැනදැන ඒකට මූණදුන්න ලසන්ත, ශිවරාම්, එක්නැලිගොඩ වගේ ගොඩදෙනෙක් ඉන්නවා. එහෙම දැන දැන අවදානම භාර අරං ආණ්ඩුවලට විරුද්ධව සටන්කරල හිරේ ගිය මිනිස්සු ඉන්නවා. ඒකෙන් යම් කොටසකගෙ පොලිටිකල් කැරියර් එකට ඒ විදියට හිරේ වැටුණ එක වාසියක් වෙලා තියෙනව වගේම තමන්ගෙ සාමාජිකයො කීපදෙනෙක්, නාකයයෙක් පොලිස් අත්අඩංගුවට පත්වෙලා හිරේ යයි කියන බලාපොරොත්තුවෙන්ම, ඒක තමන්ගෙ කැම්පේන් එකේ කොටසක් හැටියට තියාගෙන අරගල කරන සංවිධානත් තියෙනවා.

මහින්දගෙ 18 වෙන සංශෝධනේට විරුද්ධව පෝස්ටර් ගහපු වෙලේ ඒ පෝස්ටරේ ප්‍රින්ට් කරපු ප්‍රෙස් එකේ තේ හදපු එකාගෙ ඉඳන් ඔක්කොම උන් ටික හිරේ ගියා (මම බයගුල්ලෙක් නිසා හැංගිලා බේරුණා). අපි හිරේ යන්න තරම් වරදක් කරල නොතිබුණත් ඒ වගේ වෙලාවට රාජපක්ෂ රෙජීමය එක්ක ගේම ඉල්ලනව කියන්නෙ පරිප්පුවක් කන්න වෙනවා කියන අවදානම දැන දැන කරන වැඩක්. හැබැයි අර ප්‍රෙස් එකේ වැඩකරපු උන් මොනව දැනගෙන ද සති ගාණක් හිරේ හිටියෙ?

අන්තරේ උන් උද්ඝෝෂණ කරද්දි කඳුළුගෑස් පාරක්, වතුර පාරක්, එකෙක් දෙන්නෙක් ඇතුලට යන එක බලාපොරොත්තුවෙන්, ඒක දැන දැන උද්ඝෝෂණේ කරන්නෙ. හැබැයි ආනන්ද සමරකෝන් ජාතික ගී තරගෙට සිංදුව දාද්දි, මේක නිසා තමන් සුවිසයිඩ්කරගන්න මට්මට‍ වැටෙයි කියල බලාපොරොත්තුවෙන් ද ඒක කළේ? ගෙදරට වෙලා නොඉඳ රස්සාවට ගිය එකෙන් ප්‍රේමකීර්ති ජීවිත අවදානමක් අරන් ගේමක් ප්ලේ කළා කියන්න පුළුවන් ද? රූකාන්ත යූඑන්පී ස්ටේජ්වල සිංදු කියද්දි, මේක නිසා තමන්ව මරන්න එයි කියල හීනෙකින්වත් හිතුව වෙන්න පුළුවන් ද?

දැන් මේ රංචු මානසිත්වය නිසා හැම එකා ම ෆයර්වෙලා කෑගැහුවට නතාෂගෙ කොමඩිය මේ කන්ටෙක්ස්ට් එකෙන් එළියෙ, තනියෙන් යූටියුබ් එකේ උඩ පහළ යන ගමන් දැක්ක නම්, ඔය අන්තවාදී තලේබාන් බෞද්ධයො පවා සෑහෙන දෙනකුට නෝටිස්වත් නොවෙන්න ඉඩතිබුණ කියලයි මම හිතන්නෙ. අඩු තරමේ අපි ඉස්කෝලෙ යන කාලෙ යෝවද තම්පව රෝමනු ජේසුගෙ ඉඳන් හැම එකා ගැනම ජෝක් කරපු පරම්පරාවෙ එකෙකුටවත් නම් ඕක ලොකුවට මීටර්වෙන එකක්වත් නෑ කියන එකයි මගේ තක්සේරුව.

ඕක යූටියුබ් දාන්න කලින්, ඕකෙ මොකක් හරි කේස් එකක් ඇදෙයි ද කියල මගෙන් ඇහුව නම් මම උගෙන් අහන්නෙ “පිස්සුද බං… ඕකට කවුරුත් මුකුත් කියන්නෑ” කියල. මෙතන නතාෂයි හසලකයයි කරල තියෙන එකම වැරද්ද වැරදි වෙලාවක වැරදි තැනක හිටගෙන හිටපු එක විතරයි. මේ කැම්පේන් එක ඩිසයින් කරපු එකා හෝ ටීම් එක ඒක පත්තු කරන්න මැටීරියල් එකක් හොයහොයා යද්දි උන්ගෙ නිවුස් ෆීඩ් එකේ මතුවුණු එක විතරයි.

හරියට අර කලින් ඔය වගේ කැම්ප‍ේන් එකකට බඩු හොයන කාලෙ දොස්තර සාෆි ඒකට අහුවෙන්න කරල තිබුණ වැරැද්ද ප්‍රසව හා නාරිවේද සම්බන්ධ මුස්ලිම් දොස්තර කෙනෙක් වීම විතරයි වගේ. හරියට අර ඉස්සර නිදං ගන්න බිල්ලට දෙන්න තුන් කුළුඳුල් බිල්ලක් හොයනවා වගේ. කැම්පේන් එකේ ක්‍රයිටීරියා එකට සෙට් වුණා නම් බඩු පැකට්. නතාශගෙ වීඩියෝ එක හම්බවුණේ නැත්තං උඹල අපි ලියපු මොකක් හරි එකක් හෝ කරපු නාට්ටියක, චිත්‍රපටියක කෑල්ලක් කොහෙන් හරි ඇවිත් ඕකට සෙට්වෙන්න ඉඩතිබුණා.

අර එල්ටීටීඊ යුද්දෙ අන්තිම මාස හය, අවුරුද්ද වගේ කාලෙ උඹ බස් එකකට නගිනව නම් බස් බෝම්බෙකට අහුවීමේ අවදානම අතේ තියාගෙන නගිනව වගේ තමයි. උඹ ලංකාවෙ ආර්ට් හෝ වෙන කැපීපේන මොකක් හරි දෙයක් කරනව නම් උඹ කොයි වෙලාවක හරි මේ වගේ වගේ කැම්පේන් එකකට අහුවෙලා හිරේ යන්න හෝ මැරුම් කන්න අවදානම අතේ තියාගෙන ඉන්නෙ.

අර කතාවක් තියෙනව ඉස්සර මහනුවර ‍යුගේ වගේ කාලෙ ගමක මිනිහෙකුට අහම්බෙන් හරි මැණිකක් වගේ වටින දෙයක් හම්බවුණොත් කරන්න තියෙන මොළේ තියෙනම වැඩ් තමයි කවුරුත් දකින්න කලින් ඒක විසිකරලා දාන එක කියල. මොකද ඕක කවුරු හරි දැනගත්තොත් ඒක රජා දක්වා ගිහින් අන්තිමට මැණික රාජසන්ත වෙලා මැණික හොයාගත්ත එකාට බෙල්ලත් නැති වෙන්න තියෙන චාන්ස් එක වැඩි නිසා.

මැරතන් කරූට ජපානෙ යන්න චාන්ස් එක හම්බුණාම ඌ යන්න කලින් වටේ උන් ඌව වතුරෙ ගිල්ලලා මැරුවා. මම පුද්ගලිකවම දන්න කොල්ලෙක් ආමි එකේ බොක්සිං ටීම් එකෙන් ර‍ට යන්න සිලෙක්ට් වෙලා තියෙද්දි ආමි එකේ උගෙ සෙට් එක ඌව කකුල්දෙකෙන් එල්ලලා ඔළුකට්ට කුඩුවෙනකල් ගැහුවා. පණ බේරුණත් ඌ අදටත් මානසික ආබාධිතයෙක්. පියුමි හංසමාලිගෙ ඉඳන් වොයිස් එක දිනපු රමියා දක්වා තමන්ට වඩා මොකක් හරි තියෙන එකෙක් ව නිකමට හරි ඔය ගුවන් තොටිල්ලෙන් ලිස්සලා වැටුණොත් උන්ට කරන දේ සම්බන්ධව dark web එකේ තියෙන hurtcore වලට වඩා ෆැන්ටසි තියෙන උන් ලක්ෂ ගණන් මේ බිමේ ඉන්න බව දැනගන්න නම් කරන්න ඕන කාගෙ හරි කමෙන්ට් සෙක්ෂන් එකකට යන එක විතරයි.

ඉස්සර අපි පොඩි කාලෙ අම්මා කුවේනි ගැන කතාව කියද්දි කියනවා, කුවේනි ගලෙන් පල්ලට පැනලා මැරෙන වෙලේ කරපු සාපෙ එදයින් පස්සෙ මේ දූපතේ උපදින හැම පිරිමියකුට ම වදිනවා කියලා. ඕවා නිකං කතන්දර විදියට කීවට මේක වෙන දේවල් දැක්කම හිතෙනවා මේක හෙනම සාපලත් දූපතක් කියලා. ලේසියෙන් ගොඩයන්න පුළුවන් විදියෙ දේවල් ටිකක් ස්වභාවික ව හම්බවෙලා තිබුණත්, අතට එන දේ කටට දාගන්න බැරි ගාණට හරියට ම අන්තිම මොහොතේ මොකක් හරි කුණ්ඩවාලයක් පටලගෙන එක එකා මරාගන්න හිතෙන විදියෙ පිසාචයෝ ටිකක් ඉන්න එක සාපයක් නෙවෙයි නම් වෙන මොකක් ද?

එක අතකට මුන්ට මෙහෙම කන්න නැතුව බංලොකොත් වෙලා ඉන්න එකත් හොඳයි. කන්න නැතුව පෙට්‍රල් ටික ගහගන්න බැරුව පස්ස බිම ඇනිලා ඉඳපු උන්ට යංතං ඔළුව උස්සන්න පුළුවන් වෙලා මාස හයක් යද්දි මෙහෙම නං මුන්ට හරිහමන් සල්ලියක් හම්බවෙලා පොඩ්ඩක් බලවත් වුණොත් එහෙම අහළ පහළ රටකටවත් ඉන්න හම්බවෙන එකක් නෑ. ඔහොම ම එක එකාගෙ කකුලෙන් ඇද ඇද එක එකාට ඇර ඇර ඉඳල එක දවසක ඉර පායද්දි මුහුදට යටවෙලා නොපෙනී යන එක තමයි මම හිතන්නෙ මේ කාලකන්නි දූපතට ලැබෙන්න පුළුවන් හොඳම poetic end එක.

කොහොමත් මේ දූපත හෝ ඒකේ ජනතාව ගැන ආදරයක්වත් බලාපොරොත්තුවක්වත් මට නෑ. මට දුක තියෙන්නෙ නතාශලා (රූකාන්තලා, ආනන්ද සමරකෝන්ලා, ප්‍රේමකීර්තිලා සහ තව දිග ලිස්ට් එකක්) වගේ මේ අදාළ නැති දූපතක ඉපදිලා, අදාළ නැති වැඩ කරන්න ගිහින්, දූපත්වාසී ස්වදේශිකයො අතින් පණ පිටිං බාබකියු වෙන තනි තනි මිනිස්සු සහ ඒ මිනිස්සුන්ගෙ කුඩුපට්ටම් වුණු හීන ගැන විතරයි.

 

 

Social Sharing
අවකාශය නවතම