තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතුයි

බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වු රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක කියා සිටියේ පොලිසිය මෙම පනත දඬුවමක් ලෙස භාවිතා කරන බවයි. එනිසා වහාම මෙම පනතේ තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතු බව ඔහු කියාසිටී.

“ලංකාවේ තියෙනවා ලොකු ප්‍රශ්නයක් නඩු ප්‍රමාද වෙනවා සහ බන්ධනාගාරවල තත්ත්වය. එතකොට මහාධිකරණයෙන් ඇප ලබා ගන්න කියලා තියෙන නීති සහ මේ වගේ මහජන නිදහස සීමා කිරීම ගැන සමහර නීති භාවිතා කරන්නේම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඬුවමක් කරන්න. රක්ෂිත බන්ධනාගාර තමයි ටිකක් පීඩාව වැඩි, මොකද ඒවයේ තදබදය වැඩී. අනිත් එක තමයි රිමාන්ඩ් කළාට පස්සේ මහාධිකරණයෙන් ඇප ගන්න ගියොත් අනිවාර්යෙන් මාස දෙක තුනක් යනවා.”

මානව හිමිකම් රකින්න ගෙන එන ලද පනත වෙනස් ආකාරයට භාවිතා කරමින් නීතිය අවභාවිතා කිරීම ගැන නීතිඥවරයා පෙන්වා දුන්නේ වසර කිහිපයකට ඉහත දී බේරුවල ඇවිලී ගිය මුස්ලිම් විරෝධී ප්‍රහාර සිහිපත් කරමිනි.

“මුලින්ම ජාතික වෛරය ඇති වෙච්ච සිද්ධියක් තමයි බේරුවල ඇති වෙච්ච සිද්ධිය. පැහැදිලිවම පේන දෙයක් තමයි භික්ෂුන් වහන්සේලා ඒ පවත්වපු නීති විරෝධි රැස්වීම, ඒ වගේම තමයි උසි ගැන්වීම සෑහෙන දුරට සිද්ධ වුනා. නැත්නම් මේක නිවා ගන්න තිබුණා ඒ වෙලාවේ. පැහැදිලිවම ජාත්‍යන්තර මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වෙන්න තිබුණා ඒ මොහොතේ.”

ලංකාවේ මෙන්ම තවත් රටවල් මෙම පනත මර්දනකාරි නීතියක් ලෙස යොදා ගන්නා බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ පිළිබඳව ලොව පුරා වාද විවාද පවතින බව ද කියා සිටියේය.

“එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමිසම පත් කරපු කමිටුවක් අවුරුදු හතරක් විතර අධ්‍යනය කරලා අවසානයේ නිර්දේශ කිහිපයක් දැම්මා. ඒකට කියන්නේ රබාත් ප්ලෑන් ඔෆ් ඇක්ශන් කියලා. ඒකේ තියෙනවා සන්දර්භය බලන්න ඕනේ, ඊට පස්සේ අත්ඩංගුවට ගැනීම මොකක්ද කියලා බලන්න ඕනේ, ඒවගේ අදහස මොකක්ද බලනවා, ඒවාගේ ඒ කෙනා මීට කලින් ඉඳන් මෙහෙම කරපු කෙනෙක්ද වගේම එකෙන් අත්‍යාතන්න හානියක් වුනා ද වගේ දේවල් බලන්න කියලා තමයි ඒ කමිටුව නිර්දේශ කළේ.”

“දැන් අපි ICCPR පනත සංශෝධනයක් කිරීම සඳහා දිගු කාලීනව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මේ පනතේ සෑහෙන වගන්ති තියෙනවා ඒවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තුනේ එක වගන්තිය විතරමයි ක්‍රියාත්මක වෙන්නේ.” යැයි නීතිඥවරයා කියා සිටියේය.

එබැවින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති නීතිය පනතේ තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතුය බව දුලාන් දසනායක වැඩිදුරටත් පැවසීය.

උපුටාගැනීම – බීබීසී සිංහල

Social Sharing
නවතම විශේෂාංග