I don’t know. So what?

– ෂෙනු පෙරේරා –

තාමත් ඉංග්‍රීසි කතා කරද්දි වැරදෙනවා. ලියද්දි වැරදෙනවා. ඔෆිස් එකේ වැඩවලදි නම් දන්න අයගෙන් අහගන්නවා. මූණේ හැඟීමකින්වත් වෙනසක් නොපෙන්නා වැරදුණු තැන් කියලා දෙන වෘත්තීය සගයො ඉඳලා තියෙනවා ජීවිතේ. දැනුත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙදි යාළුවො හිටියා. ඉස්කෝලේ යන කාලේ නම් ඉංග්‍රිසි ඕනේ නෑ වගේ හැසිරුණු කාලයක් තිබ්බා. පීරියඩ් තොග ගණන් කට් කරා. වැඩේ වැරදුණා කියලා තේරුණේ උසස්පෙළින් පස්සෙ. වැරදි හදාගන්න මහන්සි වුණා. Harry Potter පළවෙනි පොතෙන් පටන් අරන් තමා English පොත් කියෙව්වෙ. English පොත් කියෙව්වට තේරෙන්නෙ නැහැ කියන බය එක්ක හැප්පෙන්න තිබ්බ හොඳම විදිහ මම වඩාත් ආදරේ කරන, හොඳට දන්න පොතකින් කියවන්න පටන් ගන්න එක කියලා මම හිතුවා. TV series බැලුවෙ ඉංග්‍රීසි හදාගන්න නෙමෙයි. ඒත් බලද්දි හැදෙන බව තේරුණා. තාමත් සමහර වෙලාවට මීට වඩා හොඳට දේවල් කියාගන්න පුළුවන් වුණානම් කියලා හිතෙනවා. ඒ උවමනාව ඉගෙන ගන්න තියෙන ආශාව දල්වනවා.

අයර්ලන්තෙදි මගේ එක යෙහෙළියක් හිටියා. එයා ප්‍රංශ ජාතිකයෙක්. කතා කරගෙන යද්දි එයා සමහර වෙලාවට කතාව නවත්තලා අනිත් ප්‍රංශ ජාතිකයො දිහාවට හැරිලා එයාට අහන්න උවමනා වචනෙ එයාලගෙ භාෂාවෙන් කියලා ඒකට කියන ඉංග්‍රීසී වචනෙ අහනවා. මම ගිය මුල් කාලේ භාෂාව ගැන තිබ්බ බය නැති වුණේ එයාලා නිසයි. “I don’t know. So what?” ( මම දන්නෙ නෑ. ඉතින් මොකද?) කියලා අහන්න තිබ්බ ඒ හයිය මට නිතරම මතක් කරා ‘යුරෝපීයන් වෙච්ච මෙයාලත් භාෂාවෙ අඩුපාඩු කකුලෙන් උඩට මායිම් කරන්නෙ නැත්තම් මං මොකටද නටන්නෙ?’ කියන එක.

භාෂාවක් වැරදුණාම, අපේම මව් භාෂාව වුණත්, ඒ වැරදුණු කෙනාව විහිළුවට ගන්න හිතෙන්නෙ සන්නිවේදනය කරන්නා ගැන තියෙන ගෞරවයට වඩා සන්නිවේදනය කරන මෙවලම් ගැන (Tools) ගැන තියෙන ගෞරවය නිසයි. අපි ටූල්ස් අප්සට් යනවට බයයි හැබැයි මනුස්සයෙක්ට සමච්චල් කරන්න බය නැහැ. ලොකු කතා කිව්වට රැජිණට හර්ට් වෙනවට බයයි නේද හිත යටින්?

“දන්න දේ කරගෙන හිටියනම් අපහස විඳින්න වෙන්නෙ නෑ නේ, මොකටද නොදන්න ඉංග්‍රිසි කතා කරේ” කියලත් සමහර අය අහනවා. දන්න දේවල් විතරක් කරගෙන හිටියනම් අපි තාම වනන්තරේ නේද කියලා හරිම පහසුවෙන් අමතක කරනවා අපිම.

පොෂ් වෙන්න ඉංග්‍රීසී වචන කියනවා ඒකයි මේ විහිළු කරන්නෙ කියලත් කියනවා මේ ළමයින්ට. දන්න වචන ටික කියන්නත් කොච්චර හයියක් ඕනෙද? මම උසස් පෙළ පන්තියේදිත් දන්න වචන තුන හතර කතා කරන්නත් බය වුණු කෙනෙක්. පොෂ් වෙනවා කියන්නෙ වැරදි වැරදි හරි තව භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න එකටනම් , ඊළඟ ජෙනරේෂන් එක , මේ 80-90 ලොකු ඔළු අයියලා අක්කලගෙ ඊගෝස්ටික් කතා දූවිලි සේ සලකා යායට පොෂ් වෙනවා දකින්න අපිට ලැබෙන්න ඕනේ.

භාෂාවක් කියන්නෙ Privilege එකක්. English කියන්නෙ එක පන්තියකට සීමා කරලා තිබුණු මෙවලමක්. පොඩි පන්තිවල ඉද්දි යාළුවො Elocution යනවා කියලා ඇහෙද්දි ඒකත් විද්‍යාව වගේ ලොකු විෂයක් වෙන්න ඇති කියලා හිතන් දහ අතේ කල්පනා කරපු අපි වගේ අයට English කියන්නෙ එක ආර්ථික සහ සමාජ තලයකින් එහා තිබුණු යමක්. ඒ බෙදීමට විරුද්ධයි කියලා මේකේ ලියන ගමන්, ඒ බෙදීම කඩාගෙන එන්න හදන අයව විහිළුවට ගන්නෙපා.

වැරදෙනවනම් වැරදුණදෙන්. උදව්වෙන්න තරම් හැකියාවක් තියෙන අය ඔබව නිවැරදි කරයි. දන්නෙ නැත්තම් දන්නෙ නෑ තමයි. වරදිනවා තමයි. So what??  මීට කළින් වුණා වගේම ආයේ ආයේම, මිනිස්සු හරි දේ හොයාගනී. තවත් කරුණාවන්ත මිනිස්සුන්ගෙ උදව්වෙන් එයාලා භාෂාව සහ එයාලවම හොයාගනී.

 

Social Sharing
අවකාශය නවතම