දහම් පාසල් අනිවාර්ය කිරීමේ සෙප්පඩ විජ්ජාව

දහම් පාසල අනිවාර්ය කිරීම ඇත්ත වශයෙන්ම මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් සහ ජනරජ ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමකි. සෑම දරුවෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් හිමි ය. ඕනෑම ආගමක් ඇදහීමට ව්‍යවස්ථාවෙන්ම සැම පුරවැසියෙකුටම අයිතියක් ලබා දී ඇත.

ඒ අනුව දරුවෙක් බලහත්කාරයෙන් එක්තරා ආගමකට ඇතුලු කර ඒ අනුව පදම් කිරීම, එකී දරුවාට, තමන් කැමති ආගමක් ඇදහීමට හෝ නොඇදහීමට ඇති අයිතිවාසිකම රජය විසින් පැහැර ගැනීමකි. දහම් පාසල් සෑම දරුවෙකුටම අනිවාර්ය කිරීමේ දී මා දකින ප්‍රධානම විහිළුව මෙයයි.

අද රටේ තිබේන ප්‍රධානම අභියෝගය ශ්‍රී ලාංකීය ‘ඕල්කොටි දහම් පාසල්’ වෙනස් කර, බුදු දහම ඉගැන්වෙන මධ්‍යස්ථාන බවට පත් කර, ඒවා දරුවන්ට ආකර්ශනීය කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමයි. ඇත්ත වශයෙන්ම මේ දහම් පාසල් ඕල්කොට් වික්ටෝරියානු දහම් පාසල්ය. ලංකාවේ එතෙක් ජන හදවත් සහ ජන ජීවිතය තුළට කා වැදී තිබුණූ සාරධාර්මික බොදු චරියාව වෙනුවට සංස්ථාපිත ජනප්‍රිය බුද්ධාගමක් බවට පත් කරමින් ඕල්කොට් විසින් ක්‍රිස්තියානි පල්ලි ආකෘතිය සහිතව නිර්මාණය කළේ මේ දහම් පාසල් ය. ඒවා තුළින් ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ හද ගැස්ම පිලිඹිබු නොවීය. එය අපේ ජන ජීවිතයට බාහිරින් ආරෝපණය කරන ලද්දක් විය. එය වික්ටෝරියානු සුචරිතය සිංහලයන් තුළට කැවීමට උපයෝගී කරගත් මෙවලමක් පමණක් විය.

මම ද දහම් පාසල් ගුරුවරියක් ලෙස ස්වේච්ඡාවෙන් සේවය කරමි. හැබැයි මම කිසිදිනෙක දහම් පාසල් ගොස් නැත. ගමේ පංසල් වල දහම ප්‍රතික්ෂේප කළ මගේ කිරි අත්තා මා දහම් පාසල් යැවීමට ඉඩ නොදුන් අතර, දහම් පාසැලට වඩා දහම් තිරිඅත්තා, කිරී අම්මා, සහ අම්මා පුරුදු පුහුණු කළෝ ය. මා සිල් ගත්තේ ඔවුන් සමගය, දහම විචාරශීලීව අවබෝධ කරගැනීමට ද මට හැකි වූයේ එකී නිදහස් වටපිටාව සමගයි. ඒ වටපිටාව තුළ මට සරල දහමේ සිට ගැඹුරු දහම් අවබෝධය දක්වා පන්නරයක් ලැබුණි. ආණ්ඩුවට පක්කලි නම් නොකරන, පගා සාගරයක් වූ ආයතනයක සේවය කරමින්, කිසිවෙකුගෙන් ශත පහක වත් පගාවක් නොගන්නා රාජ්‍යය සේවකයෙක් බිහිවූයේ එකී කිරි අම්මා සහ කිරි අත්තා දායාද කළ සුචරිතය සහ ‘පවට ඇති ලජ්ජාබය’ මත බව මම මෙහි සඳහන් කරන්නේ ආඩම්බරයෙනි.

මම අභියෝග කරනවා ඔය දහම් පාසල් සහතික තියෙන මේක කියවන මහතුන්ට නොබියව ප්‍රකාශ කරන්න කියලා, මේ ප්‍රකාශය අවංකව කරන්න කියලා. එහෙම අය ඇති, හැබැයි අතලොස්සක් විකරයි.

රජය විසින් අනිවාර්ය කිරීම නොවෙයි, දෙමව්පියන් ගේ බලකිරීම මත පවා දහම් පාසල් එන දරුවන් ට ඔය කියන බුද්ධාගම එපා වෙන්නේ දහම් පාසලේ තරග සහ සෙප්පඩ විජ්ජා හේතුකොටගෙන මයි. අපේ දරුවන් දහම් පාසලෙන් සමුගත් පසු නැවත පංසල පැත්තට වත් නොඑන්න හේතුව විමසා බලන්න. බටහිර, චීන දරුවන් දහම් පාසැල් නොගියාට ඔවුන්ට අවැසි අවස්ථාවකදී ඔවුන් දහම් සොයාගෙන එනවා, විතරක් නොවෙයි ඔවුන් සැබෑ බෞද්ධයන් බවට පත් වෙනවා.

අද රටේ දරුවන් නොමග ගිහින් නැහැ, අද නොමග ගිහින් ඉන්නේ වැඩිහිටි තකතීරු පරපුරක්. අයාලේ ගිහින් තියෙන්නෙ රටේ, සමාජයේ, දේශපාලන සහ පරිපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක විය යුතුව ඇති නීතිය සහ සදාචාරයයි. මත්කුඩු ජාවාරම කියන්නේ ජාවාරම් කාරයො තනියම කරන දෙයක් නොවෙයි, ආරක්ෂක අංශ, බැංකු සහ වාණිජ ආයතන, නීති ක්ෂේත්‍රය සහ රාජ්ය අංශය සහ පාලකයින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අංශයක්. ඒක මුලු ලෝකෙම එකයි, ලංකාව වැනි දූෂණය වංචාව රජවී ඇති රටවල එක අන්තගාමී විදිහට යි ක්‍රියාත්මක වෙන්නේ.

අද කරනවා නම් කරන්න ඕනෑ දහම් පාසල අනිවාර්ය කිරීම නොවෙයි, ඕල්කොට් වික්ටෝරියානු දහම් පාසල් බෞද්ධ කරලා දහම් පාසල ආකර්ෂණීය තැනක් බවට පත් කිරීම. ඒක ඔය සිංහල බුද්ධාගම කරගහගෙන ඉන්න අබෞද්ධයින්ට කරන්න බෑ. මුලින්ම දහම් පාසල් curriculum එක හදලා ස්වේච්ඡා ගුරුවරුන්ට දහම් අවබෝධයක් දෙන්න වෙනවා. මම හිතන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් වගේ ප්‍රායෝගිකව දහම සමාජගත කරන්න පුළුවන් පුද්ගලයින්ට මේ කාර්ය බාරදෙන්න වෙනවා.

තරග වලින් සම්පූර්ණයෙන්ම දහම් පාසල විතැන් කරන්න ඕනෑ. දහම් පාසල් වල විභාග අවශ්‍යය නෑ. නාට්‍ය, රචනා, කවි සංදර්ශන උත්සව තියන්න ඕනෑ. හැබැයි එකක් වත් තරග සඳහා නොවිය යුතුයි. තරගකාරිත්වය වෙනුවට වීර්ය්‍යය දරුවන්ට කියා දිය යුතුයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ප්‍රගුණ කරන ජර්නල් හැර කිසිදු ගෙදර වැඩක් දරුවන්ට නොදිය යුතුයි.

කුඩාම ශ්‍රේණි වල වලසුන්ට බුද්ධ චරිතයේ සුරංගනා කතා පෙවීමට වඩා හරාත්මක ජාතක කතා, ජනකතා ආදිය ඉගැන්වීම කළ යුතුයි. ජාතක කතා වල හරයයි උගන්වන්න ඕනෑ. පැටිකිරිය නොවෙයි. ඒවායින් දෙන පණිවුඩය යි වැදගත්.

ජනකතා වලට අලුත් අරුත් දීලා ලියන්න ළමයින්ට පුහුණු කරන්න ඕනෑ. ඇයි බැරි හාවයි ඉබ්බයි තරගෙට දුවලා එකෙක් ජය ගත්තා වෙනුවට, ඉබ්බා හාවාට ඇහැරවලා කීවා නම් “මචං නැගිටපන්, උඹ නිදාගෙන ඉන්නැද්දි මට තරගෙයක් නෑනෙ” කියලා. නින්ද ගිය තරග කරුවෙක් එක්ක දුවලා මොන ජයග්‍රහණ ද ගන්නේ? ඒ වගේ අමුතු විදියට හිතන්න පුරුදු කරන කතා පොඩි කාලේදි උගන්වන්න ඕනෑ. පොත් කියවලා ඒවා ගැන කතා කරන්න. විචාරශීලී බව පුරුදු කරන්න ඕනෑ මුල සිටම.

පහ හය වසරේ ඉදලම කාලාම සූත්‍රය උගන්වන්න ඕනෑ. පාලි භාෂාව ටික ටික පුරුදු කරලා, තුන් සූත්‍රය විචාරාත්මකව අධ්‍යයනය කරන්න හුරු කරන්න ඕනෑ. සජ්ජායනය කරන්න නොවෙයි. ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික තොරතුරු, බෞද්ධ කාලයේ තිබුණු නොයෙක් ආගම්, මහායාන දර්ශනය, ථේරවාද ආදී විවිධාකාර දර්ශන ඒවා පිළිබඳ විමසීම් ඇතුළත් කරන නව curriculum එකක් හදන්න ඕනෑ. මේ ගැන ගැඹුරින් කතිකාවක් ඇතිකරලා වැඩි දෙනාගේ එකඟතාවය අරගෙන මේක කරන්න ඕනෑ.

එතකොට කැමති අය ඒවි. එහෙම නැතුව පසඟ පිහිටුවා වඳින හැටි කියලා දීම හරි දිව්‍යලෝක පිළිබඳ සිහින වලට නවීන ලෝකයේ දරුවන් ආකර්ෂණය කරන්න බැහැ කියන එක අපි අවබෝධ කර ගන්න ඕනෑ.

-සුමනා විජේරත්න-
උපුටාගැනීම – ෆේස්බුක්

 

Social Sharing
නවතම විශේෂාංග