අද​, මැයි 9 වනදා, සෝවියට් ජනතාවගේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණයේ දිනයයි.

BERLIN, GERMANY. Victory banner flutters over Berlin, May 1945. Photo by Yevgeny Khaldei

-චාමර සුමනපාල-

අප්‍රේල් 30 වනදා රාත්‍රියේ රතු හමුදාව මුලින්ම රයික්ස්ටාගය මත නැඟී විජයග්‍රහණයේ බැනරය සවි කරන අවස්ථාව වනවිට ද හිට්ලර් සිටියේ පරලොව ය.

අප්‍රේල් 29 වනදා උදෑසන හිට්ලර්, තවත් කෙතරම් කාලයක් සටනේ රැඳී සිටිය හැකිදැයි මධ්‍යම බර්ලින් හි ආරක්ෂාව භාරව සිටි මේජර් ජෙනරාල් මොන්කගෙන් අසා සිටියේ ය. ඔහුගේ පිළිතුර වූයේ උපරිම වශයෙන් පැය 20 සිට 24 ක් දක්වා කාලයක් සෝවියට් ප්‍රහාරයට මුහුණ දිය හැකි බව ය. එදින සන්ධ්‍යාවේ හිට්ලර් සිය අවසන් බලාපොරොත්තුව වූ වෙන්ක්ගේ 12 වන හමුදාව පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටියේය. බර්ලින් නගරය මුදාගැනීමට වෙන්ක් විසින් කරන ලද උත්සාහය අත හැරීමට සිදුවූ බව හිට්ලර්ට දන්වන ලදී.

සම්පූර්ණ බලාපොරොත්තු කඩවූ හිට්ලර් සිටියේ සිය කටයුතු අවසන් කරමින් ය. ඔහුගේ පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් සමග විවාහ වීම එතෙක් කල් දමමින් සිටි හිට්ලර් අප්‍රේල් 29 වනදා ඇය හා විවාහ විය. අප්‍රේල් 30 වනදා තමන් සමග බංකරයේ සිටි අයගෙන් අවසන් වරට සමුගත් හෙතෙම, ඊවා ද සමග දිවි නසාගත්තේ ය. ඔවුන්ගේ සිරුරු, බංකරයෙන් පිටත බිමෙහි වෙඩි උණ්ඩයකින් සැදුණ වලකට දමා, පෙට්‍රල් වත්කර ගිනි තබන ලදී.

හිට්ලර්ගේ මරණයෙන් පසු නට්සි ජර්මනිය බාර ගැනීමට නව රජයක් නම් කරන ලද්දේය. ග්‍රෑන්ඩ් අද්මිරාල් කාර්ල් ඩෝනිට්ස් එහි රාජ්‍ය නායකයා හෙවත් ෆියුරර් විය. ප්‍රචාරක ඇමති ලෙස නට්සි රජයට විශාල දායකත්වයක් දැක්වූ ජෝසෆ් ගොබෙල්ස් එහි චාන්සලර් බවට පත් විය. මේ අතර එතෙක් කල් නට්සි පක්ෂ ලේකම් ලෙස පක්ෂ යාන්ත්‍රණය තුළ විශාල බලයක් හිමිව තිබුණු මාර්ටින් බෝර්මන් පක්ෂයේ නායකයා ලෙස නිල වශයෙන් පත් වූයේ ය.

කෙසේ වෙතත් මේ සියළු තනතුරු බර්ලින් සටනේදී අර්ථ විරහිත වෙමින් තිබුණි. නගරයෙන් පිටත ඈත ප්‍රදේශයන් හි තවමත් නට්සි පාලනය යටතේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් වූ බව සත්‍යයකි. එහෙත් එය ද ආරක්ෂා කිරීමේ හැකියාවක් නොවී ය.

ජර්මන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් හාන්ස් ක්‍රෙබ්ස් සුදු කොඩියක් රැගෙන සෝවියට් 8 වන මුරභට හමුදාව වෙත පැමිණියේ ය. ඔහු පැමිණියේ නව චාන්සලර් ජෝසෆ් ගොබෙල්ස්ගේ ලිපියක් ද රැගෙන ය. ඔහුව ජෙනරාල් චුයිකෝෆ් වෙත යොමු කරන ලදී. එහිදී ක්‍රෙබ්ස් හිට්ලර්ගේ මරණය පිළිබඳ සැලකර සිටියේ ය. එමෙන්ම ග්‍රෑන්ඩ් අද්මිරාල් කාර්ල් ඩෝනිට්ස් රාජ්‍ය නායකයා ලෙස පත් කරමින් නව රජයක් ස්ථාපිත කරන ලද බවද ඔහුට දන්වන ලදී. චුයිකෝෆ් නව නට්සි රජය සමග ද සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු ඉල්ලා සිටියේ කොන්දේසි විරහිත යටත් වීම ය.

අවසන් වරටත් මෙසේ සාකච්ඡා කිරීමට කරන ලද ප්‍රයත්නය අසාර්ථක වූ කල් හි බලාපොරොත්තු කඩ වූ ක්‍රෙබ්ස් යළි හැරී ෆියුරර් බන්කරය වෙත ගියේ ය.

මේ අතර බර්ලින් හි අණදෙන නිලධාරී ජෙනරල් වයිඩ්ලිංග් සෝවියට් හමුදා ප්‍රධානීන්ව රේඩියෝ මගින් සම්බන්ධ කරගත්තේය. දහවල් 12.50 ට පොට්ස්ඩෑම් පාලම මතට නියෝජිතයන් එවීමට ඔහු එකඟ වූයේ ය. එහිදී සිදුවූ කෙටි සාකච්ඡාවකදී බර්ලින් නගරය යටත් වීම පිළිබඳ එකඟතාවක් ඇති විය.

එදින සන්ධ්‍යා යාමයේ ගොබෙල්ස් සහ ඔහුගේ බිරිඳ දරුවන්ට ද වස දී දිවි නසාගත් හ. එදින රාත්‍රී 11 ට පමණ මාර්ටින් බෝර්මන් ඇතුළු පිරිසක් බංකරයෙන් පිටත්ව පළා යාමට උත්සාහ කළ හ. බෝර්මන් අතුරුදහන් වූ අතර එදින රාත්‍රියේ ඔහු මියගිය බව 1972 දී ඔහුගේ ශේෂයන් සොයාගැනීමෙන් පසු සනාථ විය. ඔහු ද සයනයිඩ් කා මියගිය බව පෙනෙන්නට තිබුණි.

යටත් වීම ප්‍රතික්ෂේප කළ ක්‍රෙබ්ස් ද මැයි 2 වෙනිදාට එළිය වැටෙන්නට පෙර බංකරයේදී ම දිවි නසාගත්තේ ය.

මැයි 2 වනදා උදෑසන 6 ට පමණ ජෙනරාල් වයිඩ්ලිංග් ප්‍රමුඛ බර්ලින් හමුදා ප්‍රධානීහු යටත් වූහ. නට්සි අගනුවර සඳහා වූ සටන එයින් නිම වූයේ ය.

සමස්ථ යුද්ධය ද කඩිනමින් අවසානය වෙත ගමන් කරමින් තිබුණි. මැයි 7 වනදා ජර්මන් සන්නද්ධ හමුදා රීම්ස් නගරයේදී යටත් වීමේ ලේඛණයකට අත්සන් තැබූ හ. එහෙත් එහි බලාත්මකභාවය පිළිබඳ මිත්‍ර පාක්ෂිකයන් අතර වූ මතභේදයක් මත මැයි 8 වනදා රාත්‍රියේ නැවත යටත් වීමේ ලේඛණයකට අත්සන් තබන ලද්දේ ය. එහිදී ජර්මනිය වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් කයිටල් එම ලේඛණයට අත්සන් තැබුවේ ය.

මේ අතර මැයි 8 වනදා සෝවියට් පෙරමුණේ කෝර්ලන්ත පොකට්ටුවේ කොටුවී සිටි හමුදාවන්ට යටත් වන ලෙස ඩෝනිට්ස් විසින් අණ දෙනු ලැබුණි. මැයි 9 වනදා සෝවියට් හමුදා චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවරට ඇතුල් වූහ. එහි ජර්මන් සේනාංක යටත් වීමත් සමග යුරෝපයේ යුද්ධය සම්පූර්ණයෙන් ම අවසන් වූයේ යයි සැලකේ.

යුද්ධයේ සම්පූර්ණ විනාශය ගණනය කිරීම කළ හැක්කක් නොවන්නේ ය. ජීවිත සංඛ්‍යාව සැලකීමේදී සෝවියට් වැසියෝ මිලියන 27 ක් පමණ ද ජර්මානුවෝ මිලියන 13 කට වැඩියෙන් ද යුද්ධයෙන් මියගියෝ ය. ජර්මානුන් මිලියන 10ක් පමණ මියගියේ සෝවියට් පෙරමුණේදී ය. සෝවියට් මරණ සංඛ්‍යාවෙන් අඩක් පමණ සිවිල් වැසියෝ වූහ. ජීවිත අහිමි වූ මිලියන ගණනකගේ ද ඔවුන්ගේ ආදරණීයයන්ගේ ද බලාපොරොත්තු යුද්ධය විසින් කම්මුතු කරන ලද්දේ ය.

සෝවියට් දේශයේ එදා යුද්ධයට සම්බන්ධ වූ ප්‍රදේශයන් හි අද රටවල් රැසකි. රුසියාව, බෙලරූස්, යුක්‍රේනය, මොල්ඩාවියාව, ලැත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව ආදිය ඒ අතර වෙයි. ඒ ඇතැම් රටවල යුද්ධයේ මතක අදට ද ජීවමාන ය.

මොස්කව් ක්‍රෙම්ලීන පවුර අද්දර, එක් ස්ථානයක, නාඳුනන සොල්දාදුවාගේ සොහොනක් තනා තිබේ. එය සෝවියට් දේශය වෙනුවෙන් දිවි පිදූ සියළු සොල්දාදුවන්ට උපහාරයක් ලෙස තනන ලද්දකි. මානව ඉතිහාසය තුළ විජයග්‍රහණය සංකේතවත් කරන, අහස උසට නැගුණ, පුරුෂ ලිංගයන් සිහි ගන්වන ස්මාරක එහි නැත. සොහොනේ තනියට එහි ඇත්තේ අව්, වැසි, හිම පතනයන් යනාදී සියල්ලට ඔරොත්තු දෙන, සදාතනික ගිනි සිළුවකි. ඒ අසළ, සෝවියට් දේශයේ වීර නගර වෙනුවෙන් තැනූ කුඩා ස්මාරක කිහිපයකි.

ඔබ මොස්කව් නුවර සංචාරය කරන්නට අවස්ථාවක් ලදොත් එහි යා යුතුම ය. එය යුද්ධයෙන් දිවිපිදූ මිලියන 27 ක් වන සෝවියට් ජනතාව වෙත පිදෙන නිහඬ උපහාරයකි.

 

Social Sharing
නවතම විදෙස්