අම්බුලුගල හරහා ඉතිහාසයට ගමනක්..!

සුජිත් අක්කරවත්ත

තනි ගල් පව්වක ඉහළ මුදුනට වෙලා අම්බුලුගල කුමාරයා හිටියේ ඇයි. ඒ වර්ෂය ලංකා දේශපාලනයේ තීරණාත්මක අවුරුද්දක්. කෝට්ටේ රාජධානිය දෙදුරුම් කමින් තිබුණා. පෘතුගීසින් පෙරදිගට සයුරු දොර ඇර ගනිමින් සිටියේ එම වසරේය. දැන් වැල්ලේ තැන්නේ, ලන්දේ හිටපු කාටත් වඩා හොඳට සාගරේ පෙනුණේ ඔහුටයි. කන්ද මුදුනක හිටපු තනිකඩ තරුණයෙකුට ඉන්දු – පැසිෆික් සාගරය මැද ලංකාවේ බලතුලනය වෙන හැටි පෙණුනේය. පුදුමය එක ක්ෂණිකයකින් ඔහු, 8 වෙනි වීර පරාක්‍රමබාහු ලෙස කිරුළු දරන්නනේය.

අම්බුලුගල කුමාරයාගේ සයුරු කතාව කියවමින් මම ඉතිහාසයේ ඇතුළු දොර ඇර ගනිමින්ය. ඒ ප්‍රීතිය අම්බුලුගල කඳු මුදුනින් වළාපෙල අහස පුරා අතුරු වන හැටි පෙනේ. ක්‍රිස්තු වර්ෂ 1992 දී තීරණාත්මක ගමනක් මම යමින් සිටියේ මාවනැල්ල හරහා ය. එදා අමුතු හමුවීමක් හමුවීමෙන් අම්බුලුගල කන්ද නගිමින් ඉතිහාසයේ රහස් දුරක් සොයා ගෙන ගියේය . මේ අමුතු ගලේ කුමාරයා හෙවත් “අම්බුලුගල කුමාරයා’ගේ දිවි පවත ද ඒ හා සබැඳි සගයන්ද සොයමින් හද කුහුල දිව ගියා. ඉන්පසු විටින් විට ඒ කඳු මුදුන අස්සේ හැඟීම් සෙවීම මගේ ජීව අභ්‍යාසයකි. එය දිවි ගමනත් සමග බැඳුණු භාව -ඥාන බැඳීමක් ම විය. ඉන් නොවෙති එම රසාලිප්ත පර්යේෂණ තතු විත්ති විටින් විට මම ලියන්නට විය. ඒත් අම්බුලුගල ගේ සගයන් ගැන ලියන්නට බැරි වුනේ ඇයි දැයි සිතමින් යළිත් මම එහි ගියෙමි. අම්බුලුගල කුමාරයා සමග ඔහු සැබැඳි සගයන් ගැන ද දැන් ලියන්නට පටන් ගතිමි.

ගල් ඉද්දා

ගල් ලන්දේ ගල් ගේ හිටපු “ගල් ඉද්දා ” ගල මුදුනේම තනිකඩව හිදීය. ගල් ඉද්දන් ලංකාවේ පුරාතන ජනවංශය කි. හෙම්මාතගම හරහා සිරිපාදයට වැටෙන රහස් වන තීරයේ ගල්ලන්ද ගල් ගේ, සොබාදහම මැවූ අමුතු තැනකි. එය ඔවුන්ගේ අවසාන නිජබිම ය. ගල් ඉද්දන්ද කාලයේ අනුරූපව ගම්වැසියන් නගරවැසියන් වෙමින් වේගෙන් දිය වන්නට පටන් ගත්තේය. ඒ ගම්පොළ රාජ්‍යය බිඳ වැටීමත් සමඟය. ගම්පොල බිඳ වැටුණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය ට එන්නට ශ්‍රී ලංකා බල කිරුළට සිදු වූයේ එබැවිනි . පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග ඒ කෝට්ටේ බල බිඳුම සිදුවෙමින් තිබුණි. ඒ සමයේ සියල්ල යද්දී ගල්ලන්දේ ගල් ඉද්දා ගල් ගේ අත නොහැරම සිටී අපූරුවෙකි. ඔහු ගැන සමකාලීන ජන විත්ති පපු පුවත් හොයමින් ඇවිද ගියේය. ඒ කාලයක් ඔහු සොයන පිපාසාවෙන් ය.

ලක් කිරුළ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර යෙහි දිම අම්බුලුගල කුමාරයා අත්පත් කර ගන්නා විට ගල් ඉද්දා, ඔහු ළඟම විය. ගල් ඉද්දන් ලංකා ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධි වල රහසිගතව හමුවන අමුතු ජන වංශිකයන් ය. මෙම ජන වංශ යුග කාරකයන්ද රහසේ දායාද කොට ඇත. ඔවුන්ගේ පවත බල දේශපාලනය හෝ ආගමික ඉතිහාසය විසින් ලේඛන වලට රැගෙනවිත් නැත. ඔවුන ද ලේඛන තබා යෑමේ යෙදී ඇත්තේ ද නැත. නමුත් ඔහුන් තබා ඇත්තේ ජන නාම හා භූ නාමයන්ය. ලංකාවේ බොහෝ කඳු ශිඛර ශෛල ගුවන් සහ කඳු පන්ති වලට නම් දුන්නෙ ගල් ඉද්දන්ය. ඒ අනුව ඔහුන් පවත්වා ගෙන ඇත්තේ අමුතු භාෂා දහරාවකි. දෙයක් නො ලියා ජනසම්මත හා ලේඛන සම්මත කළ හැක්කේ කෙසේද. ඒ මහා විශ්මය ගල් ඉද්දන් ඉටු කොට ඇත්තේ පුදුම සහගත ලෙසය.

ඔවුහු නම් තැබූ කඳු පන්ති, ගල් ගෙවල්, ශිඛර මුදුන් මුල් කරගෙන අපි ශිෂ්ටාචාරය රැගෙනවිත් ඇත. ඒ සෑම ස්ථානයකටම අදත් අප නම ලියන්නේ සහ වහරන්නේ ඔවුන්ගේ අමුතු භාෂා වදනින් ය. ඒ කියන්නේ ගල් ඉද්දන් දැමූ වදන් බිඳින්නට ලේඛනය බිහි කොට ගත් අප අපොහොසත් වී ඇති බවය. කෝට්ටේ යුගයේ දේශපාලනය ලියන්නට ගල් ඉද්දෙක් මුල් වන්නේ කොහොමද. ඉතිහාසය කියන්නේ පපුවෙන් ගොස් ද සෙවිය යුතු විෂයකි. මෙම ජන වංශය ලංකා ජන ධුරාවලියේ පාදක වන්නේ සුවිශේෂ කෞශල්‍ය දෙකක් මුල්කරගෙන ය. ගල් ඉද්දන් විසින් සෛල පාෂාණය මුල්කරගෙන ලාංකික ශිෂ්ටාචාරයට අමුතු ප්‍රභවයන් දෙකක් දායාද කොට තිබුණි. ශෛල කරණයන්ට බැඳුණු මේ අමුතු විෂය පද්ධති වෙනම කතා කළ යුතු ය.

අම්බුලුගල කුමාරයාගේ ඉතිහාස චාරිකාවත් රැගෙන ගල් ඉද්දන් ළඟට එන්නට සිදු වුණේ දැරණියගල වලව්ව නිසාය. ශිරාන් දැරණියගල සූරීන් අහම්බෙන් මට මාවනැල්ලේදී හමුවුණේය. අපි බැඳුණේ ඊට පෙර වුවද එදා බැඳීම අමුතුම බැඳීමක් විය. පුරා විද්‍යාඥයෙක් වූ ඒ මහතා ඉතිහාසය සොයන රසවතෙක් ලෙස සොයා යන දැරණියගල පවතේ ඒ ඡේදය එළියට ඇවිත් නැත. ඔහු මෙන්ම ඔහුගේ පියා ද ප්‍රාග් ඓතිහාසික භූමින් සොයාගත් ඉව වෙනම කතාවකි. ඒ වෙනම කතාවේ මුදුනේ ගල් ඉද්දන් බැඳී තිබුණි.

ඉතින් අම්බුලුගල කඳුයායේ ඇවිදිමින් අපි ඒ පවත ගැන බොහෝ දේ කතා කරමින් ගිය ගමනේ වෙන දොරක්‌ මගේ මානයට ඇරුණේ ය. විරුවන් බිහිවන විට ඒ මොහොතේ තවත් අමුතු අමුතු සේයා පුරුෂයන් රහසේ බිහිවන හැටියය. අම්බුලුගල කුමරා ලක් කිරුළ දරන මොහොත නිර්මාණය වන්නේ ද එවන් සේයා තාරකා පායමින් ය. එවැනි අමුතු තරු බොහෝවිට ශිෂ්ටාචාරය ලියා ඉන් සමුගෙන නිෂ්ශ්‍රමණය වන්නේය. අම්බුලුගල කුමාරයාගේ ගල් ඉද්දා ද එලෙසම නිෂ්ශ්‍රමණය වූයේය. අම්බුලුගල රජතුමා රජ වීමෙන් පසු ලංකාවේ සමාජයේ එක හරස්කඩක් ලියැවී ඇත්තේ මේ පතුලේ කතාව යට ය. මේ අමුතු පුවත් දිගේ ලංකාවේ කතාව දිග ඇදගෙන සොයාගෙන යන්න හිත දුන්නේය. එම ගල් ඉද්දන්ගේ ලංකා පොළොවේ කතාව අමුතු කළේ ඔය විදියටය.

අම්බුලුගල රජතුමා අනුවේදනීය ජීවිත පුවත් ගණනාවකට මුහුණ දුන් රජතුමෙකි. ඔහුගේ අනුවේදනීය පපුවට කන් දෙන්න අපේ ඉතිහාස රචකයන් අපට හුරු කර නැත. විරුවන්ගේ කඳුළු වේදනා ගණන් නොගන්නා ඉතිහාසයකට වර්තමානයට යුක්තිය ඉෂ්ට කළ නොහැක. ලංකාවේ ඉතිහාස කතාවට ලාංකිකත්වය ට තවමත් යුක්තිය ඉෂ්ට කොට ගත නොහැකි වූයේ ඒක ය. මේවා වෙනම කතා කළ යුතු ය. අම්බුලුගල කුමාරයාගේ භාව ප්‍රේමී ගල් ඉද්දා ට සිදු වූයේ කුමක්ද. ඒ කුමක්දැයි කියන එක සෙවීමේදී අම්බුලුගල කුමාරයාගේ ජීවිතේ බොහෝ වේදනා හමුවේ. ඒ වේදනා දරා ගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යය අසීරු අවධියක ආර්ථික සුරක්ෂිතතාවක තහවුරු කරයි. එම නිසාම පෘතුගීසින්ට ශ්‍රී ජයවර්ධනපුර රාජධානිය කරා ඒ මේ සිහිනය අසීරුවේ. කෝට්ටේ රජතුමා වන්නට පෙර අම්බුලුගල කුමාරයා සොයන්නට අපේ වෙහෙසක් නැත. මෙවැනි අමුතු ශූරයෙක් බටහිර ධනවාදය රට සොයා එන විටදී බිහි වුණේ කෙසේ දැයි අප සිතා වත් නැත. අම්බුළුගල කුමාරයා බිහි කරන්නට සැබැඳි වූ එක මානවයෙකු සේ ගල් ඉද්දා මතක පොතකි. ඔහු සොයාගෙන යන අන්දරේ ලංකා ඉතිහාසයේ සොබා චරකයන්ගේ කතාවයි.

තඹ දේවිය

අම්බුලුගලට මල් වැසි වැටෙමින් තිබුන දවසකි. දිය කඩිත්ත දිය ඇල්ලක් සේ ගලන අම්බුලුගල ඇල්ලට දොළ දිය යා වන තැනය. තම්මිට පරපුර ගම්පොල ආවේ ක්‍රිස්තු වර්ෂ දොළොස් වැනි සියවසේ මැද භාගයේදීය. ඒ කාලිංග මාඝ සිංහල ප්‍රභූ වංශවතුන් වනසමින් සිටින සමයේය. තම්මිට පරපුර පොළොන්නරුවෙන් පලා ඇවිත් වහන් වූයේ අම්බුලුගල කන්දේ ඊසාන දනව්වේය. මෙම පෙළපත මව්මූල වංශයෙන් විහිදුණු ස්ත්‍රී මූලික ප්‍රජාවකි. ඒ කීවේ වංශ වාසගම මව් පාර්ශවයෙන් පවත්වා ගැනීමය. ශුංගාරී ලාල ලාවණ්‍ය අලංකාර තම්මිට පරපුරේ ස්ත්‍රීන් ගැන ඓතිහාසික සඳහන් බොහෝය. කෝට්ටේට රාජධානිය බැඳුණු විට තම්මිට ලදුන් පෙරට පැමිණේ. ඒ අගබිසෝ මණ්ඩලය සිරි යහන් රාග සම්පත්තියෙන් ඔප කරමින්ය. එදා අම්බුළුවාව දිය යහනේ දිය නෑ තඹ දේවි, ලක් රාජ බිසොවු මණ්ඩලයේ ද්වාර දරන්නේ පුදුම ලෙසය. දොල දියේ පහලට අම්බුලුගල කුමාරයා එමින් සිටියේ තම්මිට දිසාවේ හමුවන්නටය. ඒත් කුමාරයාට හමුවුණේ තඹ දේවි ය ය. ඇගේ නම “දේවී ” වුවද, ප්‍රකට වුනේ සමේ පාට නිසාය. තඹ පාට ඈ ගැන හතර කෝරළේ ජනකවි වලද හද පුවත් හැමතැන මතකයන් වේ .

තම්මිට පරපුර රාජකීය ලේනා(රාජ්‍ය ලේකම්) තනතුරද දැරූ වාග් විශාධරයන්ය. තඹ දේවිය තම මව් ගෙන් වෙන්වී සුළු මව්, සෙවනේ දිවි ගෙවන්නේ ය. ඒ මල්වර වෙන්නට පෙර රාග යහන් ගත වූ නිසාය. සිංහල කතුන්ට රාග නිදහස තිබුණේය. ඒත් ඒ මල්වර වූ පසුවය. අම්බුලුගල කුමාරයා තඹ දේවිය, අගබිසෝ මණ්ඩලයට වඩමවාගෙන යහන් ගත විය. ඒ අමුතු දේවියන් සිංහල අගබිසෝ මණ්ඩලයට වඩමවාගෙන ආවේ දියවන්නා දියවිල නාග බුලත් පත් අතුරාය. ඈ තමෝ ” පුරුෂා දෝලී “ලෙස අම්බුලුගල රජ්ජුරුවන්ගෙන් විරුදාවලි ලැබුවේය. පුරුෂා දෝලිය, ලෙස, තම ආසක්ක දේවියට පෙම්බර අම්බුලුගල නම් තබා කියන්නේ කවර රාග භාවයක්ද. ඒ පුරුෂ ස්ත්‍රිකයගේ ශුංගාර රස කලාපයයි.

භාව දෙබෑයෝ

ඉතිහාසය දිගේ යන ගමන් චාරිකාවේ හමු වන අරුමැසිම දෙබෑයන් දෙන්නා අම්බුලුගල හා සපුමල් ය. මේ දෙන්නා රජුන් දෙදෙනෙකු වූ නිසා ඓතිහාසික ය. එත් මේ දෙබෑයන්ගේ ආල බැඳීමට එබී බලා නැත. සපුමල් කුමාරයා හා අම්බුළුගල කුමරැ ද තොටගමුවේ රාහුල කුමාරයාද එකට බැඳුනේය. ඒ හයවන පරාක්‍රමබාහු කුමරුන්ගේ ඇසුරේය. මේ සිව් සගයන්ගේ හද බැඳුමන් බැඳෙන්නේ අමුතු තැනකිනි. සපුමල් ගේ පුරුෂ රෑ වරුණ රාහුල හිමියන් ලියන්නේ භාවමය හැඟුම් සමග ය. එසේම අම්බුළුගල හා හයවන පැරකුම් ගැන ද මනබදින සිතුවිළි ලියන්නේය. ඒ නිසා මේ සිව් දෙනා එකට හදාරන්නේ නැතුව එම යුගය වට‍හා ගන්න බැරිය.

සපුමල් හා අම්බුළුගල කේරළ බීජ ධාතුවෙන් ලක්‌දිව උපන් පුතුන්ය. පැරකුම් ද මලයාලම් පුරුෂ ධාතුය. රාහුල කුමරු මයුර වංශ දේශීය ධාතුවේය. මේ හතර දෙනාගේම පියවරු පුරාණ දේශීය නාමධාරි වංශ කෙලිත්තියන් සමග අමුතු රාග සිරිත් පිරුවේය. සිංහල සාහිත්‍යයේ ලාල ලෝලිතය නැවත ලියන්න මේ අමුතු පිරිමින්ට පුළුවන් වූයේය. කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ශුංගාර කලාපයේ නැවත පිබිදීම වූයේ ඒකය. මේ පිරිමින් බිහි කරන මව්පියන් සිව් දෙනා ලංකා රාග සරාගය බහු සරාගී කලාවූ අසිරිමතුන්ය. ඉතින් ඒ බහු සරාගී රසවතුන් සොයාගෙන ලංකා ඓතිහාසික අන්දරයේ ජීව ලතාව සොයා යා යුතුය. ඒ සොයා යාමේ හමුවන භාව දෙබෑයෝ දෙදෙනා අම්බුලුගල හා සපුමල් ය. සපුමල් ලියා ඇත්තේ, තම සහෝදර අම්බුලුගලගේ ජීව ලාලයන්මය. සපුමල් සොයන්නට නම් අම්බුලුගල සෙවිය යුතුමය. පුදුමය අම්බුලුගල සොයන්නට සපුමල් සෙවිය යුතුය.

(සුජිත් මෙම ලිපි කොටස් වශයෙන් තම ෆේස්බුක් බිතේ ලියා තිබූ බවත් එම ලිපි අයිතිය අප විසින් මෙසේ එකට ගොනුකළ බවත් කිවයුතුය)

 

Social Sharing
අවකාශය නවතම