-මහේෂ් හපුගොඩ-
මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා. මම ඒ ගැන සටහනකුත් දැම්මා. මම හිතන්නේ එයා මරණයට සුදානම් වෙලා හිටිය කියල. එහෙම යම් සුදානමක් නැතුව ඒ වගේ පරිත්‍යාගමය දෙයක් කරන්න හැකියාවක් නැහැ.
කොහේදෝ කැලේක ගිහිල්ල එනකොට අලියෙක්ගේ හැප්පිලා ඔත්පළ වෙච්ච ජැක්සන් ඇන්තනී ජීවත් වීමේ උපකාරක සහිතව (life support) දැන් මාස ගාණක් ජාතික රෝහලේ කියල කියනවා. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් මරණයට සූදානම් නැහැ. හැබැයි දැන් ජීවිතය කියල මහා ලොකු දේකුත් නැහැ.
ඒ නිසා මම කැමතියි එයා මරණයත් නොවන ජීවිතයත් නොවන පාරභෞතික තැනක මේ වෙලාවේ ස්ථානගත කරන්න (in between position).
ජැක්සන් කියන්නෙම මිත්‍යා කතාවක්. දැනුත් ඒකෙ වෙනසක් නැහැ. ඇක්සිඩන්ට් එකෙන් ඒක තවත් වැඩිවුණා.
ඉතිහාස කතා, යුද්ධ කතා, මහාවංස කතා, වීර කාව්‍ය, බුදුන්, බුදුන්ගේ ඥාතීන් වගේ ප්‍රබන්ධ හෝ ආඛ්‍යාන (fictional narrative) ඔස්සේ මේ අපි ජීවත් වන සාහසික එහෙත් මියයමින් පවතින ක්‍රමයට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල ජීවය දුන්නේ ජැක්සන් ල. දැන් මේ ක්‍රමය විසින් ම ආපහු එයාට ජීවය පිඹිමින් ඉන්නවා.
ඔහු මමියක් ලෙස හෝ පවත්වාගෙන යන්න ඕනි වෙලා ඇත්තේ ඇත්තටම ඔහු ආපසු ජීවිතය (ඒ තිබ්බ හැටියටම) ලබා ගනී කියල හිතන නිසා නම් නෙවෙයි. මෙතැන තියෙන්නේ භෞතික ජැක්සන් ට වඩා පාර භෞතික ජැක්සන් කෙනෙක් (metaphysics) අපි තුළ ඉන්න නිසා ඒ දෙවැනි ජැක්සන් මරාගන්න අපි තුළ තියන නොකැමැත්ත.
ඒ කියන්නේ අපේ පැවැත්මේ ආරම්භය (the myth of origin) කියල දෙයක් ආඛ්‍යාන ගත කරලා විචිත්‍රවත් කරලා ඒක එක යුගයක රාජ්‍ය බලය එක්ක පටලලා කතන්දර කියපු මිහිහට ආපහු අපි කරන මරණයේ සැලියුට් එක.
හුඟක් අය කියනවා මේ අවුරුදු දවස් වල තමයි ජැක්සන්ගේ අඩුව හොඳටම දැනෙන්නේ කියල. ඒ කියන්නේ යම් අවතාරයක් අපි තුළ හොල්මන් කරනවා එයා හිටියනම් හොඳයි වගේ.
අපි මේ ජීවත් කරවන්නේ අපි තුළ තියන මිත්‍යාව මිසක් ඇත්තට පවතින ජැක්සන් කෙනෙක් නෙවෙයි.
ඒ කියන්නේ ජැක්සන් කියන්නේ නැහැ (එහෙම සිහියක් එයාට නැහැ) මාව ජීවත් කරපල්ලා කියල. හැබැයි අපි උත්සාහ කරනවා දැනටත් ඇත්ත ජීවිතයක් නැති, එහෙම ජීවිතයක් ලබාගන්න පුළුවන් කියල හිතන්නත් බැරි කවුදෝ ජැක්සන් කෙනෙක් ජිවත් කරවන්න. ඒක මිනිස් ශිෂ්ටාචාරයේ යම් වටිනාකමක් තමයි. ඒකට අපි ගරු කරන්න ඕනි.
ජැක්සන්ට මරණයේ ළිපිය ආවට මොකද ඒක ඔහු අතට දෙන්න පරක්කු වෙනවා. ඒ පරක්කුව තියෙන්නේ අපේ ජැක්සන් සම්බන්ද මරණ ආශයේ (killer instinct).
හැබැයි කොයි මොහොතක හරි යම් වෛද්‍යවරයකුට මේ ”මරණය පරක්කු කිරීමේ” සුවපහසු ස්ථානයෙන් ඔබ්බට ගිහිල්ලා ලියුම (the purloined letter) ඔහු අතට දෙන්න වෙනවා.