ආදර ප්‍රගීත්ට (4)

2023-04-09,

අද ඔයාගෙ 64 වෙනි උපන්දිනය, ඔයාව අපෙන් උදුරාගෙන ගෙවෙන 13 වෙනි අවුරුද්ද. අනේ ප්‍රගීත් මේ කාලය තුළ කොපමණ දේවල් සිදු වුනාද? ඒ සියලු දේවල් මහමෙර සේ දරාගෙන ඔබ හා දොඩමළු වීමට සිතුවෙමි.

පසුගිය අගහරුවාදා සිට මම සිටියේ අසනීපයෙන්, තවම හොඳටම සුවවී නැතත් ඔබට මෙය ලිවිය යුතුය යන සිතුවිල්ල විසිනුයි මා අවදි කරවනු ලැබූවේ.

මම මීට පෙර මාර්තු මාසෙ හෝමාගම නඩුව දවසෙ ලියන ලද කොටසක් තියෙනව. ඒක ඔයා එක්ක බෙදාගන්න තාම බැරිවුනා. ඒ එහි තිබෙන කරුණු බෙදාගත යුතුද නැද්ද කියන දෙගිඩියාවෙන් මම පසුගිය කාලය පුරාම පසුවූවත්, නැවතත් එය බෙදාගත යුතුය යන හැඟීම මාර්තු 28 දින තරිඳු ෆේස්බුක් එකේ පළකර තිබූ පෝස්ටුව දැකීමෙන් පසු ඇතිවිය. අදත් එම කොටස ඉදිරියට කල් තබමි.

අද මම ඔයා සමග පින්තූර කිහිපයක් බෙදා ගනිමි. ඉන් පලමු එක 2009/12 මාසෙ නිමල්සිරි අයියා ගත්ත පොටෝ එකක්. මතකද ඒ තමයි අවසාන වරට ඔයා දුටු අපේ පුතුන් දෙදෙනා.

දැන් එයාල වයසින් සහ ශරීරයෙන් වැඩිල. ඒත් එයාලගෙ හැසිරීම, දක්ෂතා, පරිකල්පනය ඔයා වගෙමයි. ප්‍රගීත්, මේ පින්තූරයේ සිටින අපේ පුතුන්ගේ සිනහව ගෙවුන අවු 13 පුරා කිසිදු දිනෙක මම නොදුටුවෙමි. උන් උදුරාගත්තෙ භද්‍ර යෞවනය මුවවිට සිටි අපේ දරුවන්ගෙ සතුටනේද? ඔයා අහිමි වූදා සිට එයාලත් ඔයාව තුරුළු කරගෙන මහපාරේ…

ඔයා දන්නවද ප්‍රගීත්, ඇතැමෙකුට මාව ප්‍රශ්ණයක්, කවුද කියලා. ඇත්තනෙ මේ හැමෝම මාව දන්නෙ ඔයා වෙනුවෙන් සියලුම බලය ඇති, රාජපක්ෂලා සමග සටන් කළ, උන් පන්නා දමන්නට පෙරමුණ ගත්, අනෙකා වෙනුවෙනුත් හඬ නඟන, කාගෙ හෝ පිකට් එකක හිටගෙන ඉන්න ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා ලෙසින්නේ.

ඉතිං.. සන්ධ්‍යා ප්‍රියංගනීව නම් මාව දන්නා අයත් අඩු මේ පොළවේ අලුත් ළමෝ මා කවුදැයි සෙවීම අරුමයක්….

ඔයාට මතකද මේ දෙවන පොටෝ එක ? ඒක සේයා රූ ගත වෙන්නෙ 1990 මැයි දිනයේදී. ඔයාට මතකද අපි දෙන්න එදා කොම්පඤ්ඤවීදිය තිබෙන කඩවල් ගානෙ අපේ සහෝදරියන්ට කෑම සොයමින් ඇවිද්දා. මම ජීවිතේ පලවෙනි වතාවට එදා තමයි කොම්පඤ්ඤවීදිය හරස් වීදි වල ඇවිද්දෙ…..

ප්‍රගීත් ගෙවුන දවස් 4850 පුරා ආ මාවත කටුක, රළු පරොළු වුවත් ඒක බොහොම අත්දැකීම් සම්භාරයක් ලැබුණ යාත්‍රාවක්. සමහර අත්දැකීම් ළඟදි ලතෝනි දීල හඬන්නට සිතුන වාර අනන්තයි. ඒත් සමහර සංවේදී මිනිසුන් හමුවීම, අපේ භඬ ඇසුන බව දැනගන්නට ලැබීම, විවිධ අගය කිරීම් සහ ආදරය ලැබීම තුලින් ලබන ශක්තිය, ධෛර්යය මහමෙරක් කියලයි හිතෙන්නෙ.

මේ තුන්වන සහ හතර වන පින්තූර දෙක ඔබත් මාත් දන්නැති තරුණ දරුවන් දෙදෙනෙක් ඇදපු චිත්‍රයක් සහ ලිපියක්. මේ වගෙ ලිපි, කාඩ් 10,000 විතර මට ලැබිල තියෙනවා. ගොඩක් ලැබුණෙ තැපෑලෙන්. ඇමිනෙස්ටි එකත් එක්ක එකතුවෙලා පුංචි ළමයි පවා අප දිරි ගන්වමින් යුක්තිය වෙනුවෙන් ඔවුන් හෘදයාංගම බව ප්‍රදානය කරද්දී අපේ සමහර අය තවමත් කියන්නෙ මානව හිමිකම් බටහිර දෙයක්, අපි රට පාවා දෙනව කියලා.

 

ප්‍රගීත් ඔයා දන්නවද 2010 ජනාධිපතිවරණයේදී ඔයා වැඩ කල පෙනී සිටි කණ්ඩායම, ඔවුන් වෙනුවෙන් බිලිගත් දරුවන් වෙනුවෙන් නම් කිසිම දෙයක් කලේ නැහැ ප්‍රගීත්, මම ගොඩක් දේශපාලඥයින් ගාවට ගියා. ඒත් දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් සද්චේතනාවෙන් සහයවූ එකම දේශපාලඥයා ගරු මොහන් ලාල් ග්‍රේරෝ මැතිතුමා.

අවසාන කාලයේ ඔයා හිටපු කණ්ඩායමේ නායක තුමා තමයි, වර්තමානයේ රටේ ජනාධිපති. මම හිතනවා, නීතියෙන් පැනයක් හදන අපරාධ කාරයින්ට දඩුවම් ලබාදීලා, ඔබට මට, අපට යුක්තිය ලබාදීමේ වගකීම එතුමා පැහැර නොහරීවි කියලා.
සමහරවිට අපරාධකරුවන්ට නීතියෙන් පැන යන්න පුලුවන් වේවි. ඒත් ගැහැණුන්ගේ ශාපයන්ගෙන් ගැලවීමට නම් පහසු නොවන බව ඉතිහාසය නැවත නැවතත් අපට උගන්වන පාඩම නොවේද?

ඔයාට මතකද? ගිය අවුරුද්දෙ ඔයාට ලිව්වෙ කවියක්. ඒකෙ මා හැමදාම හිතන එක ආශාවක් තියෙනවා. ඒ ඔයාගෙ අවසන් සුසුම රැදුන ඒ බිමට නුදුරේදීම යනවා ප්‍රගීත්….හමුවෙමු ඔබේ ආත්මය රැඳි හිත බැඳුණු ඒ බිමේදී…

-සන්ධ්‍යා එක්නැළිගොඩ-

Social Sharing
අවකාශය නවතම