රෝයල් පාක් වරදකරුට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට..!

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුවෙකු වූ ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර එම පෙත්සම විභාගයට ගන්නට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විත්තියට කරුණු දැක්වීම සඳහා දින නියම කර ඇත.

පසුගිය 30 දා එම නඩුව කැඳවූ අවස්ථාවේ, එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සඳහා කරුණු දැක්වීමට ජුනි මස 9 වැනිදා දින නියම කර ඇත.

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාන්තාව සහ මාධ්‍ය සාමූහික විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

මෙහිදී අදාළ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදී ඇති බව කියන ලියවිල්ල ඉදිරිපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය නායකයා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීම පාලනය කරන මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා ඇතැයි කරුණු වාර්තා වෙයි.

මෙහිදී පෙත්සම්කරු කියා ඇත්තේ සමාව ලබාදීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත බලය පැවරී තිබුණද, නීතියේ ආධිපත්‍යය මෙන්ම යුක්තිය, සාධාරණත්වය සහ තාර්කිකත්වය පිළිබඳ සියලු සංකල්ප උල්ලංඝනය කරමින් සමාව දීමට ජනාධිපතිවරයාට නිදහසක් නොමැති බවයි.

2005.07.01 දින හෝ ඊට ආසන්න දිනකදී ඉවෝන් ජොන්සන් නැමති එවකට වයස අවුරුදු 19ක් වූ තරුණිය කොළඹ රෝයල් පාක් නිවාස සංක්‍රීරණයේදී ඝාතනයට ලක්වූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබිනි. මෙම සිදුවීම එවක විශාල ආන්දෝළනයට තුඩු දුන් අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයේ තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරමින් චූදිතයාට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට අභියාචනාධිකරණය සැකකරුවෙක් සඳහා මරණ දඬුවම ලබාදුන්නේද මෙම සිදුවීම අලලා විභාගයට ගත් අභියාචනාව තුළදී ය. මෙවැනි විශේෂ නඩු තීන්දුවකින් මරණ දඬුවමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දරුවෙක් වූ ජූඩ් ඇන්තනී ජයමහට ජනාධිපති සමාව ලබාදීම සඳහා මැදිහත්ව කටයුතු කළ අතුරලියේ රතන හිමියන් අතයට මුදල් ගනුදෙනුවක් සිදුකර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුව චෝදනා කළේය.

Social Sharing
නවතම පුවත්