නිර්භයව කවි ලියූ මායා

-ඩිල්ශානි චතුරිකා දාබරේ-

නිර්භයව කවි ලියූ ඇමරිකානු කිවිඳියක වූ මායා ඇන්ජලෝගේ කවි මා කියවා තිබුණේ, තනි තනි කවි හැටියට සහ කල්පනා ඇම්බ්‍රෝස් විසින් ‘බූන්දිය’ට කළ පරිවර්තන විදියට යි. ඒත් සීමිත පමණකින්. මට ක්ෂණික මතකෙට එන්නෙ, Still I Rise කවිය සහ Phenomenal Woman කවිපෙළ යි (කල්පනා මෙය ‘අසිරිමත් ගැහැණිය’ නමින් මනරම් කවි බසකින් පරිවර්තනය කළා). නමුත් සංගෘහිත කාව්‍ය සංග්‍රහයක් විදියට ඇන්ජලෝගේ කවි පොතකින් කියවන්න ලැබුණේ මෑතක දි. මේ ඇගේ එක් කවි පොතක් පමණයි. Just Give Me a Cool Drink of Water Before I Diiie | මේ පොතේ නම මට දැනෙන්නෙ, මායා ඇන්ජලෝ අපි දිහාට අත්දිගුකරලා කියන ආත්මයේ හඬක් විදියට. “මම මේ ලෝකෙ වෙනුවෙන් විසූ කාලයට හැකි උපරිමෙන් යමක් කළා. ඒත් කෝ ඔබ? ඔබ යමක් කළා ද? අඩු ගානෙ මැරෙන්න කලින් මට සීතල වතුර ටිකක් හරි දෙන්න” කියන හඬ.

‘මාව (ඉතිහාසෙන්) මරන්න හදන අයගෙන් මාව බේරගන්න’ කියන ඉල්ලීම. අපිව ගිල්ටි කරන පද. මේ ඉන්නෙ හුදෙක් වතුර බිඳක් ඉල්ල ඉල්ල මරණ මංචකයේ හඬාවැටෙන ඇන්ජලෝ කෙනෙක් නෙමෙයි. ඈ නැවැත්තුව තැනින් බැටන් එක අරන් යන්න ය, එහෙම යද්දි හති වුණොත් ‘සීතල වතුර වීදුරුවක් බොන්න – ආයෙ පටන්ගන්න’ කියල අපිට ඇරයුම් කරන ඇන්ජලෝ කෙනෙක්.

ඉතිහාසය විසින් සුළු, කළු, වරප්‍රසාද නොදිය යුතු, පීඩනයට ලක්විය යුතු මිනිස් ප්‍රජාවක් යැයි කියා අමතක වෙන්නට හැරිය පිරිසක් වෙනුවෙන් වාග්මය නියෝජනයක් වෙන්නත්, ඔවුන්ව යුරෝපා භූමියේ නිතර රැව්දෙන වචන බවට පත්කරන්නත්, අප්‍රිකානු කිවිඳියන්ගෙ අනන්‍යතාව සාහිත්‍යයක් විදියට අරන් එන්නත් ඇන්ජලෝ කළ දායකත්වය ගැන අපි කියවල හදාරලා ඉගෙනගෙන මදි කියල මේ කවි කියවද්දි තේරෙනවා.

 

කමලාදාස්, වර්ජිනියා වුල්ෆ් වගේ ම ඇයත් හිතේ තියාගෙන විඳන්නේ නැතිව, නිර්භය ව අදහස් ප්‍රකාශ කරන්න වෑයමක් දරන බව මේ කවිවලින් පැහැදිලියි. අඬඅඬ හූල්ල හූල්ල ඉන්නවට එහා යමක් වෙනුවෙන් ලිවීමට දරන කැපවීම පැහැදිලියි. ඇන්ජලෝගේ මේ කවි බොහොමයක තියෙනවා, කළු පාට. වැටෙන කඳුලු කළුයි, එන කේන්තිය කළුයි, දූවිලි කළුයි. මෙහෙම කියාගෙන ගිහින් එකතැනක දි ඇය කියනවා, Black like Buddha’s Belly කියලා. බ්‍රේක් වැදිලා මං කල්පනා කරන්න ගත්ත තැනක් ඒ.

All my tears will powder
Black in dust like Ashes
Black like Buddha’s Belly
Black and hot and dry

මට සැණින් මතක් වුණේ, කුස පිටපොත්තට ඇලෙන්න දුෂ්කර ක්‍රියා කළ බුදුන් නිරූපණය කරන තිස්ස රණසිංහගේ මූර්තිය. මේ කියන්නෙ අපි හිතන බුදුන්ගේ ස්වභාවය නොවන බවත්, ලාෆිං බුද්ධ පිළිම ගැන වෙන්න පුලුවන් බවත් ගුරුගොඩ හිමියන් එක්ක කතාකරල අපි උපකල්පනයකට ආවා. (වාසනාව ගේන ලාෆිං බුද්ධ පිළිමයේ කුස පිරිමැදීමේ ලක්ෂණය අනුව). මායා ඇන්ජලෝ සෙන් බුදුදහම ඇතුළු සෙසු ආගම් ගැන තරමක් අධ්‍යයනය කළ අයෙක්. එහෙම නැත්නම් මේ පැදිය ගැන වෙන කියවීමක් තියෙනවද කියල කියන්න අමාරුයි.

මායා ඇන්ජලෝගේ කවි මට මතක් කළේ, මුලිනුත් කිව්වා වගේ කමලාදාස්ව. මේ දෙන්නගෙ ම කවිවල තියෙනවා, කැඩුණු – ඉවත් කළ බෝනික්කො, අඳුරු බිත්ති, අත්හැර ගිය පිරිමි. ඇගේ ඇතැම් කවි තියුණුයි. වචනවලට ඇය පූර්ණ බලය දෙනවා, අවශ්‍ය දේ කියන්න. ඇය විසූ කාලය එක්ක මේ කවි ස්ථානගත කරලා කියවන්න ඕනේ.

මේ පොතේ පළවෙනි කවිය, ‘They went home’. මෙතනදි But කියන වචනයෙන් කවියේ පීක් එක ගන්න විදිය, විරාම ගන්න විදිය බලන්න. කවිය පහතින් අමුණනවා.

They went home and told their wives,
that never once in all their lives,
had they known a girl like me,
But… They went home.
They said my house was licking clean,
no word I spoke was ever mean,
I had an air of mystery,
But… They went home.
My praises were on all men’s lips,
they liked my smile, my wit, my hips,
they’d spend one night, or two or three.
But…

තවත් කවියක නම, No No No No. හැම කවි පාදයක් ම පටන්ගන්නෙ No කියලා. මේ වචනය කෙටියි. හැබැයි මේ පූර්ණ වාක්‍යයක්. බැහැ, මම අකමැතියි, මට කරන්න, එපා / මෙතන නැහැ කියන අර්ථය දෙන වචනයක්. මේ විදියෙ සෘජු, නොබිය ප්‍රකාශන විදි ඇගේ කවිවලින් හමුවෙනවා. පොතේ පිටු දෙකක, වම් පිටුවෙ අප්‍රිකාවත්, දකුණු පිටුවේ ඇමරිකාවත් ලෙසින් මායා ඇන්ජලෝ ලියන කවි දෙකටත් මගේ හිත ගියා. අප්‍රිකාව විස්තර කරන විදියට මට මැවුණෙ සැලළිහිණියේ සමනොළ ගිරි වර්ණනා කළ හැටි යි.

අප්‍රිකාව කාන්තාවක් හැටියට දැකල හුදෙක් ලස්සන වර්ණනා කරනවට එහා (Mountains her breasts – Two Niles her tears), අවුරුදු ගානක ඒ මිනිස්සුගෙ ජීවිත පොළොව එක්ක, ලෝකෙ එක්ක පෑගි පෑගි පෑහි පෑහි ගෙවුණු විදිය, අප්‍රිකාව නම් කාන්තාව වින්ඳ සියලු දුක් චිත්‍රණය වෙනවා. කඳුවල දුඹුරු පාටයි මූදෙ නිල් පාටයි එක්ක අඬ අඬ කළුවට හිටි ඈ දැන් නැගිටිමින් ඉන්නවා. මට මතක්වෙන්නෙ ගාෂියා ලෝකාගේ භාෂාව.

‘Now she is rising
Remember her pain
Remember the losses
her screams loud and vain
remember her riches
Her history slain
now she is striding
although she had lain.

ඇමරිකාව ගැන කියද්දි ඇය දෙවරක් ම කියනවා මෙහෙම, ‘Discover this country’. ඔව් ඇමරිකාව, අප්‍රිකාවට වඩා වෙනස්. තමන් කවි ලියන්න වචන සහ පැටර්න් හොයාගත්තෙ බයිබලයෙන් බවත්, ඒනිසා නවාතැන් ගන්න තැන බයිබලය නිතර තිබුණු බවත් ඇන්ජලෝ කියනවා. පැරණි කෘති හුදෙක් යල් පැන ගිය පොත් විදියට නොසලකා හැදෑරීමත්, විශ්ව සාහිත්‍ය පරිශීලනයත් යන කරුණුවල වැදගත්කම නිර්මාණකරුවකුට අවැසි බව ඇය නොකියා අපිට මතක් කරනවා.
Harvard Business Review හි පළවුණු සම්මුඛ සාකච්ඡාවකදි, ඇය කවි ලිවීම් සම්බන්ධයෙන් දෙන පිළිතුර එලෙසින් ම මෙහි අමුණමින්, සටහන අවසන් කරනවා.

• Of all the professions you’ve taken on, which has been the most challenging?
‘Writing poetry. When I come close to saying what I want to, I’m over the moon. Even if it’s just six lines, I pull out the champagne. But until then, my goodness, those lines worry me like a mosquito in the ear…’
[ මායා ඇන්ජලෝ විශයෙහි දුහුනෙකු වන මට ඇගේ කවි හොයන් යන උනන්දුව ඇතිකළ මේ පොත හොයාගත්තෙ මහරගම සරසවියෙන් ]

Social Sharing
අවකාශය නවතම