‘මගේ පුස්තකාල’ පොත් ගැන ම නොවේ

-ඩිල්ශානි චතුරිකා දාබරේ-

ස්වයං චරිතාපදානයක ස්වරූපයෙන්, නිවැරදිව කියන්නේ නම් එක් තේමාවකට – තෝරාගත් සීමිත අනු කුලකයකට අනුගතව ලියූ කෙටි චරිතාපදානයක ස්වරූපයෙන් එරික් ඉලයප්පෙආරච්චි විසින් රචනා කරන ලද ‘මගේ පුස්තකාල’, මූල්‍ය වත්කමකින් මූර්ත වත්කමක් බවට පොත් එකතුව පත්කරගන්නා ආකාරය මතු නොව, දෙස් විදෙස් පුස්තකාල වෙත ඔබ රැගෙන යන සංචාරක සටහනක් ලෙසින් ද, තෝරාගත් පොත් නොව අතට අහුවන ඕනෑ ම පොතක්, සඟරාවක්, පුවත්පතක් කියවන්නට උපදෙස් දෙන පවුලේ දැනුමැති සාමාජිකයෙකු ලෙසින් ද, පොත් කිව්වාට පොත් ම නොව නාට්‍ය, චිත්‍රපට, චිත්‍ර, මූර්ති ඈ සෙසු කලාංගවල ද පොත් තරමට ම ගිලීමේ වැදගත්කම නොහොත් මිනිසෙකුගේ ජීවිතයට වුවමනා කරන ආශා වස්තූන් සහ විෂයන් එකකට වඩා තිබීමෙන් ඔහු අත්පත්කරගන්නා ජීවිතාවබෝධය, පරිණත බව, ඇසූ පිරූ තැනැත්තෙකු වීමේ ස්වභාවය ආදිය කියාදෙන මාර්ටින් වික්‍රමසිංහ කෙනෙකු නොඑසේ නම් තෝල්ස්තෝයි කෙනෙකු ලෙසින් ද ක්‍රියා කරයි.

පුස්තකාලයක් යනු, පොත් එකතුවක් පමණක් නොවේ. එය පවුලක, පරම්පරාවක කතාන්දරය ද වෙයි. එය සමාජ විපර්යාසයේ පිළිබිඹුවක් ද වෙයි. එය පිටපත් කිරීම්, හම්බැම්මෙන් බැඳීම්, මුද්‍රණය කිරීම්, පළකිරීම් යන විෂයෙහි විකාශනය ද වෙයි. එය කෙනෙක්ගේ ජීවිතය හැඩගැසුණු හැටි, දලු ලෑ හැටි, බැට කෑ තැන්, යළි ගොඩනැගුණු විදි පෙන්වන කැඩපතක් ද වෙයි. පුද්ගත චරිත ලක්ෂණ කියවාගත හැකි තෙවනි ඇසක් ද වෙයි.

‘මගේ පුස්තකාල’යෙන් සිදුවන වැදගත් දෑ අතරින් එකක් නම්, ඒවාට නිශ්චිත හැඩයක් ස්වරූපයක් තැනක් විදියක් නොමැති බව ඒත්තු ගැන්වීමයි. ‘පුස්තකාලයක් නම් මෙසේ විය යුතු’ ලෙසින් ඇති සිහින නිමැවුම් එරික් නොමැළිව බිඳ දැමීමයි. පුස්තකාලයක් නගරෙක විසල් ගොඩනැගිල්ලක මෙන් ම, කුඩා බාබර් සාප්පුවක ද, විහාරගෙයක මෙන් ම නිවසක කාමරක ද තිබිය හැකි යැයි මෙහි සඳහන්වීම්, පදික වේදිකාවේ මහපාරේදි වුව සමාජය කියාදෙන මිනිසුන් හමුවන ගෝර්කිගේ ‘මගේ විශ්ව විද්‍යාල’ සිහිකරන්නකි. දිගු ශාලා, විදුලි පංකා, දැවැන්ත පොත් රාක්ක සහිත සංවිධිත, ගොඩනැගිල්ලක, විසල් රාක්ක සහිතව පාඨකයා මවාගෙන ඇති තැන් පමණක් පුස්තකාල වන්නේ නැති. පොත් සාප්පු වන්නේ ද නැති.

ශාස්ත්‍රීය ලිපි රචනා කිරීමෙහි මෙන් ම නිර්මාණාත්මක රචනා ලිවීමෙහි ද හසල රචකයා මෙහිදී තම අවියෙන් ප්‍රයෝජන ගනී. කියවීමට කම්මැලි නැති රචනා රීතියකි. වියත්, ලිඛිත වහරකි. පුස්තකාල ගැන කියන අතරේ දී, ජනප්‍රවාද, කතන්දර, කවි, චිත්‍රපට ආදිය ද මුහුකරමින් තමා බහු පඨිත ලේඛකයෙකු බව ඔහු අපට පෙන්වයි. වරෙක ඔහු ඉතිහාස හෝ දේශාටන වාර්තාවක් මෙන්, සිතියමෙන් පිරුණු යුග පදාස අප ඉදිරියේ එළයි. වරෙක අපත් සමඟ ම එකතු වී රාක්ක කරා ගොස් අරුම පුදුම පොත් එකතු දැක විස්මපත් වෙයි. ඒ රාක්කයට ම වාරු වී වරු ගණන් පොතේ ඉතිහාස කතාව කියයි. වරෙක තමාගේ ම ගුහාවක හුදෙකලා වෙයි. වරෙක, රේඩියෝවක් මෙන් කියවන මිනිසුන් අතරේ හිඳිමින් පොතකින් නොලැබෙන සෙසු සියලු දෑ සිය පනිට්ටුවට අඩුක් කරගනී. වුවමනා දේ වුවමනා තැනින් ගෙන ලුහු තැන් පුරවා ගනී. සීයා කෙනෙකු හාන්සි පුටුවේ ඇලවී මද සිනා ඇතිව අතීතය වමාරන්නා සේ ය එරික් ඉලයප්පෙආරච්චිව මට මැවෙන්නේ.

සුසන්ත මූණමල්පේ කළ මේ පොතේ කවරය මා කියවගත්තේ මෙලෙසයි. ආලෝකය සපයන වස්තූන් තුනක් මේසය මත ඇත. චිමිනිය, මේස ලාම්පුව සහ ඉටිපන්දම. ඒවා හැසිරෙන, වැඩකරන විදි විවිධය. නමුත් කෙරෙන්නේ එක ම දෙයයි. එනම්, එළිය ලබාදීමයි. පුස්තකාලත් එසේයි. ඒවාට ද පැවතිය යුතු නිශ්චිත හැඩයක් ස්වභාවක් නැත. නමුත් ඒවායින් වෙන සේවාව එකකි. පොත කියවන අතරතුරේදී කවරයේ ගැළපීම සහ පෑහීම වැටහෙනු ඇති.

එරික්, එරික් වූ සැටි ‘මගේ පුස්තකාල’යෙන් පෙන්වයි. ඊට සහය වූ සියලු පුස්තකාල වෙත ඔහු මෙයින් කළගුණ සලකයි. හිස නමයි. ‘පුස්තකාලයක්’ විසින් තවත් බොහෝ පුස්තකාල ගැන ලියූ පොතක් ඉතින් ඔබට මට කියවන්නට ලැබෙයි.

පොත් එකතුකිරීම ගැන සුනිල් විජේසිරිවර්ධන ලියූ වැදගත් සටහනක් ‘විදර්ශන පාඨක ජාලයෙන්’ උපුටා ගෙන මෙහි අමුණමි. එරික් ඉලෙයප්පෙආරච්චිගේ පොත කියවන්නන්ට මෙය ඌණ පූර්ණයක් විය හැකි බැවිනි. මේ, පෞද්ගලික පුස්තකාල ගැනයි.

“අපි පොත් එකතු කරන්නේ ඇයි?
අපි අද ජීවත් වන්නේ සාමූහික සමාජයක නෙමෙයි. නමුත් අපි දන්න අතීත සමාජයන් තුළ එවැනි සාමූහික ස්වභාවයක් පැවතුණා. අද පවතින සමාජ ස්වභාවය ඊට හාත්පසින්ම වෙනස්. මනුෂ්‍යයා මනුෂ්‍යත්වය වෙත බැඳෙන සමාජයක් වෙනුවට මනුෂ්‍යයා මනුෂ්‍යාගෙන් වෙන් කරපු සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. එහි අනිවාර්‍ය තත්ත්වය සාමූහික සිතීම අප කෙරෙන් බැහැර වීම. එවැනි තත්ත්වයන් තුළ මනුෂ්‍යාට තමන් වෙනුවෙන් පැවතෙන්නට පුද්ගලික ධනය අත්පත් කරගන්න සිද්ධ වෙනවා. ‘දැනුම’ ඒ අතරින් ප්‍රධානයි. දැනීම පුද්ගලික ධනයක් බවට පත්වන සීමාව තුළදී දැනුම තනි තනිව එක් රැස් කර ගන්න සිද්ධ වෙනවා. එවිට දැනුම ගබඩා වී ඇති ප්‍රධාන මෙවලම වන පොත පත අපි අපේ කර ගන්නවා. පෞද්ගලික පුස්තකාල බිහි වන්නේ මේ තත්ත්වය තුළයි”

‘මගේ පුස්තකාල’ පොතේ එන අවසන් ජේදය, ඔබව පොත කියවනු රිසින් තවදුරටත් කුලප්පු කිරීම පිණිස මෙහි අවසනට යොදමින් සටහන නිමාකරමි.

ඉතින්, කුලප්පු වන්න !

“පැදුරු කඩමාලු කියාදෙයක් මෙන් ම පොතක් කියා දෙයක් ද, පල්හෑලි කියාදෙයක් මෙන් ම නවකතා කියා දෙයක් ද, පංචාංග ලිත කියා දෙයක් මෙන් ම කාව්‍යය කියාදෙයක් ද, බාල්දියක් කියාදෙයක් මෙන් ම තොප්පියක් කියා දෙයක් ද, මී කුණු කියාදෙයක් මෙන් ම රෝස මල් කියාදෙයක් ද ලොව පැවතුණු බව සුන්බුන් නොවී බේරුණු පුස්තකාලය විසින් අපට කියාදෙන අතරේ අපි සියල්ලෝ එය ද සමඟ අනාගතය වෙත ඇදී යන සුරදූතයෝ වෙමු…”

Social Sharing
අවකාශය නවතම