මට යන්න ඕනෑ ජයග්‍රාහකයෙක් විදියට – ක්වින්ටින් ටැරැන්ටිනෝ

ක්වින්ටින් ටැරැන්ටිනෝ කියන්නෙ හොලිවුඩ් සිනමාවේ සිටින සුවිශේෂි සිනමාකරුවෙක්. සිනමාව පිළිබඳ ආන්දෝලනාත්මක මත දරන්නෙක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට පසු හොලිවුඩයට පැයූ තරු අධ්‍යක්ෂවරයෙක් ඔහු. Pulp fiction, Reservoir Dogs, Jackie Brown, Inglorious Basterds, Django Unchanged ඔහුගේ සිනමාවෙන් බිඳක්. ඔහුගේ Pulp fiction චිත්‍රපටයට ප්‍රංශයේ කාන් සිනමා උළෙලෙදී Palme D’or සම්මානය ලැබෙනවා. ඊළඟට Death proof, Inglorious Basterds කියන චිත්‍රපට දෙකම Palme D’or සම්මානයට නිර්දේශ වෙනවා. දැන් ඔහු කියනවා තව චිත්‍රපට දෙකකින් පස්සෙ සිනමා ජීවිතයට සමු දෙනවා කියලා.

මේ ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය.  

-සුභාෂිණි චතුරිකා-

ටැරැන්ටිනෝ මහත්මයා ඔ‍බ‍ගේ චිත්‍රපට විමසා බැලීමෙන් අනතුරුව මට ‍මෙහෙම හිතෙනවා. ස්ත්‍රී පාදවලට ඔබේ දැඩි ඇල්මක් තියෙනවා නේද?

මම එය මඟහැර යන්නේ නැහැ. පාදවලට ඇලුම් කළ අධ්‍යක්ෂකවරුන්ට ඇඟිල්ල දිගුවෙනවා නම් එහෙම වෙන්න ඕනෑ ඇල්ෆ්‍රඩ් හිච්කොක්, බුනුවෙල්, සැමුවෙල් ෆුලර් වගේ අය වෙත. කෙසේ වෙතත් එය හොඳ සමාගමයක්. ඉන් ඇඟවෙනවා ඔවුන් හොඳ චිත්‍රපට නිර්මාණකරුවන් වගේම තමන්ගෙ කැමරාව මානන්න ඕනෑ කොතැනටද කියන කාරණය ඔවුන් හොඳින් දන්නවා කියන එක. එහෙත් මම හිතනවා ම‍ගේ නිර්මාණවල පාදවලට මෙන්ම පශ්චාද් භාගයට ද සමාන ඉඩක් දෙනවා.

death proof දර්ශන තලය

ඒ වගේම තමයි ප්‍රචණ්ඩත්වයටත්….

හුදෙක් මම මගේ කතාව කියමින් මගේ වැඩේ කරගෙන යනවා. මම කැමතියි ශානරය ඇතුළත හා ගනුදෙනු කරමින් උපශානරය තුළට ගමන් කරන්න. මම නිර්මාණයට යොදා ගන්නා බොහොමයක් ශානර තුළ හැඟිම් කුප්පන සුළු, ප්‍රචණ්ඩකාරී දේ තිබෙනවා. ඒවා ත්‍රාසජනක කුන්ෆු සමුරායි හෝ මොටර්රථ හඹා යෑමේ චිත්‍රපට වෙන්න පුළුවන්. ඒ නිර්මාණ විසින්ම ඒ ඒ ශානර ඒවාට ලබා දෙනවා. ත්‍රාසය දනවන සිනමාව ගත් විට, එම ශානර විසින් එය ලොමු දැහැ ගන්වන ප්‍රචණ්ඩත්වය දැක්වෙන සිනමාවක් බවට පත් කරනවා. මම එයට කැමතියි. ඒත් ජැකී බ්‍රවුන් චිත්‍රපටය ගත් විට එය ප්‍රචණ්ඩකාරී එකක් නොවෙයි. එය මුළුමනින්ම ගොඩ නැ‍‍ඟෙන්නේ චරිත වටා.

ඔබ එවැනි ප්‍රබල සජීවි චරිත නිර්මාණය කිරීමේදී අනුගමනය කරන්නේ කුමන ආකාරයේ ක්‍රියා පිළිවෙලක්ද?

මේ මම ඔබේ ප්‍රශ්නය සැහැල්ලුවට ගන්නවා නොවෙයි. ඒත් මම ලේඛකයෙක්. ඒකයි මම කරන්නෙ. ලේඛකයෙකුගේ කාර්යය වෙන්නේ තමන් ගැනම ලියන එක නෙමෙයි. ‍සෙ‍සු මනුෂ්‍යයන් නිරීක්ෂණය කරමින් නැවුම් දේ සොයා යෑමයි. ඔවුන් කතා කරන විදිය, ඔවුන් කතා කරන වාග් මාලාව. අනික මගේ මනස ඉස්පන්ජියක් වගේ. මම සවන් දෙනවා අනිත් අය කියන දේවලට. යන්තම් හෝ අභව්‍ය හැසිරීම් දෙස මම බලා ඉන්නවා. ඔවුන් මාත් එක්ක විහිලු කරද්දි මම ඒවා මතක තියා ගන්නවා. සමහරවිට ඒ අය ඔවුන්ගේ ජිවිතය හා සම්බන්ධ සිත් ඇදගන්නා කතාන්දර මට කියනවා. මම ඒවා පරිස්සමින් මතක තියා ගන්නවා.

pulp fiction

ඒත් ඔබට එය මතක නැතිනම්?

ඒ කියන්නේ බාගවිට එතැන මතක තියා ගන්නා තරම් වටින දෙයක් නැතිව ඇති. එතැන වටිනා යමක් තියේ නම් මාස හයක් හරි අවුරුදු පහළොවක් හරි ඒක මගේ මතකයේ තිබෙනවා. මම ලියද්දි මගේ පෑන තොරතුරු ලබා ගන්නෙ හරියට ඇන්ටෙනා එකක් වගේ. හදිසියේම අඩු වැඩි වශයෙන් ගොඩනැඟුණු චරිත එළියට එනවා. මම ඔවුන්ගේ දෙබස් ලියන්නෙ නැහැ, මම ඒවා ඔවුන් හා කතා කිරිමෙන් සොයා ගන්නවා.

ප්‍රචණ්ඩත්වයට නැවතත් ගියොත්, ඔබ පුද්ගලිකව මොනවටද බය?

මගේ අංක එකේ හීතිකාව තමයි – ඒක තමයි මට තියෙන එකම දැවැන්තම බිය, ඒක අහේතුක බියක් – මම බයයි මීයන්ට.

ඇත්තටම?

මේක තමයි මගේ එකම මානසික දුර්වලතාව. බැරිවෙලාවත් මියෙක් මේ මේසෙ උඩ හිටියොත් මම ඉඳීවි ගෑණුු ළමයෙකුගේ ඔඩ‍ොක්කුව උඩ. මම සමහරවිට ඇයගේ උරහිස උඩ නැගගෙන කෑ ගහයි බැල්ලියක් වගේ.

ඔබ කවදහරි රාත්‍රියට භයානක හීන දැකලා තියෙනවද?

මම ගොඩක් කාලෙකින් බය හිතෙන හීන දැකලා නැහැ. පුංචි කාලෙදි මම හීනෙන් බය උනාම මම ගිහින් නගිනවා තාත්තා අම්මා නිදාගන්න ඇඳ උඩට. ඒත් මගේ අම්මා මට තදින් හිටියා. එක්තරා වයසකින් පස්සේ ඔවුන් මාව ආපසු මගේ ඇඳටම ඇරලුවා. ඉතින් මට තේරුම් ගියා අම්මගේ ඇඳට පනින්න ඉඩක් නොලැබුණු නිසා මට තවදුරටත් භයානක හීන දැකීමට තරම් සැපවත්කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා මට ඉන් පස්සේ බය හිතෙන හීන පෙනුනේ නැහැ.

Once Upon a Time in Hollywood දර්ශන තලය

 

ඔබට කවදහරි දරුවන් හදන්න ඕනෑකමක් ඇති වෙයිද? සිනමා නිර්මාණ කිරීමට හැකි ඔබේ හැකියාව ඔවුන් ඔබෙන් උදුරා ගනීවිද?

බලමු මොකද වෙන්නේ කියලා. ඒත් මට හැමදාම චිත්‍රපට හද හදා ඉන්න අදහසක් නැහැ. මම අවුරුදු හැටෙදී විතර එය නවත්වාවි.

ඔබට ඒ ගැන විශ්වාසද?

නැහැ. එය එක්තරා ආකාරයක සැලැස්මක් විතරයි. ක්ෂේත්‍රය අතහැර යන්න ඕනෑ වෙලාව නොදන්න, පරණ තාලේ චිත්‍රපට හදන, පරණ තාලේ සිනමාකාරයෙක් වෙන්න මට ඕනෑ නැහැ. මට ඕනෑ නැහැ මගේ නිර්මාණ ලැයිස්තුව පරණ තාලේ දේවල්වලින් කැත කරගන්න. මට චිත්‍රපටයක් හදන්න ඕනෑකම තියෙද්දි, ඒක කරන්න පුළුවන් නම් වයස අවුරුදු 62 දී, මම ඒක කරයි. ඒත් මට පිට්ටනියෙන් යන්න ඕනෑ ජයග්‍රාහකයෙක් විදියට. මම හිතන්නේ ඒ කාලෙ වෙද්දි මම ලිවීම විතරක් කරයි. මම සාහිත්‍යකාරයෙක්. මම සිනමාව ගැන පොත් නවකතා ලියාවි, දරුවන් හදාවි.

kill bill 2

ඔබට ගණනය කිරිමට හැකිනම් ඔබ මේ තාක් කොයිතරම් චිත්‍රපට ප්‍රමාණයක් නරඹා ඇද්ද?

මට හරි අදහසක් නැහැ. අනුමාන කිරීමේ අභියෝගයත් ටිකක් අමාරුයි. මම වයස අවුරුදු දාහතේ සිට විසි දෙක වගේ වෙන කල් ඒ ඒ වසරවල මම නැරඹූ සෑම චිත්‍රපටයක්ම, නැවත නිෂ්පාදිත නිර්මාණත් ඇතුළත්ව ලැයිස්තුවක් හැදුවා. එය නව නිර්මාණයක් නම් මම එම අංකය රවුම් කරනවා. ඉන් පසු මම කැමතිම සිනමා නිර්මාණ තෝරාගෙන මගේ කුඩා සම්මාන ඒවාට ප්‍රදානය කරනවා. ඒ කාලේ 197 හෝ 202 වගේ සංඛ්‍යාවක් තමයි ආ‍වේ. ඒ චිත්‍රපට මම ම වියදම් කළ, ඒත් මගේ අතේ සල්ලි නොතිබුණ කාලේ බලපු ඒවා. මහත් කෑදරකමකින් චිත්‍රපට බැලුව කාලේ සාමාන්‍ය අගය වුණා 200 ක් විතර.

මම හිතන්නේ ඒ ගණන ගොඩාක් විශාල ගණනක් කියන එක ඇඟට ගුණයි. ඔබ‍ගේ ප්‍රියතම චිත්‍රපට තුන මොනවාද?

අද ඔබ එය අහනවා නම්, මේ විශේෂ මොහොතේ මම තුනක් නම් කරාවි. ඒත් ඔබ හෙට හෝ තව පැහ හයකින් ඇහුවොත් මම ඊට වඩා ගොඩක් වෙනස් උත්තරයක් දේවි.

එහෙනම් මේ මොහොතෙවත් කැමතිම චිත්‍රපට තුන මොනවද?

මම එහෙනම් කියන්නම්, මම කැමතියි Abbott and Costello Meet Frankenstein චිත්‍රපටයට. මම එය නැරඹුවේ මා කුඩා කොළුවෙකුව සිටියදි. මම ඒ කාලෙත් ඒ චිත්‍රපටයට ආසා කළා. එහි ශානරවල සංකලනයක් තිබීම එයට හේතුවෙන්න ඇති. ඇබට් සහ කොස්තෙලෝගෙ දේවල් තරමක් හාස්‍යජනකයි. ඒත් ෆ්‍රැන්ක්ස්ටයින් තිරයේ දිස්වෙන්නේ මඳක් තැතිගන්වන සුළු ආකාරයෙන්. මට තේරුනේ නැහැ මම වයස අවුරුදු පහේදී ශානරවල වෙනස්කම් හඳුනාගත්තා කියලා. ඒත් මම ඒක තමයි කරලා තියෙන්නෙ. ඒ වගේම මගේ මුළු වෘත්තිය ජීිවිතය පුරාම කරලා තියෙන්නෙත් ඒක. ශානර සංකලනය. මේ ගොන්නට මම Taxi driver චිත්‍රපටයත් එක් කරන්න කැමැතියි. ඇයි කියන එක නම් ටිකක් කියන්න ආමරුයි.

Taxi Driver

ඒ චිත්‍රපටය තුළ ඇති ශක්තිය එක වාක්‍යකට දෙකකට ගොනු කරන්න බැහැ. එය මගේ සිනමා ඉතිහාසයේ වියදම් කළ මුදලට මා ලැබූ වඩාත්ම නවකතාරූපී සහ සංකීර්ණ චරිත අධ්‍යයනයක්. නවකතාවල විතරයි චරිතයක් ඒ අයුරින් ගොඩ නඟන්නේ. එය එසේ තිබියදිත් එම චිත්‍රපටය ඉතාමත් විනෝදජනකයි. චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකායව සිනා ගන්වනවා. අවසාන චිත්‍රපටය තමයි මම කැමති, මම නිතරම කියන The Good, the Bad and ugly චිත්‍රපටය.

කිසියම් ශෛලියක් තියෙනවාද ඔබ අකමැති?

මම හැම එකකටම නම් කැමති නැහැ. ඓතිහාසික චිත්‍රපටවලට මම කැමතියි. ඒත් මම විශේෂිත ඓතිහාසික යුගයක් පිළිඹිබු කරමින් නිර්මාණය කළ චිත්‍රපටවල ලෝලියෙක් නෙමෙයි. අනික් මම ජිවිත කතා අළලා කරන සිනමා නිර්මාණ අගය කරන්නේ නැහැ. ඒවා නළුවන්ට ඔස්කාර් සම්මාන දිනා ගැනීමට තියෙන වැදගත් නිදහසට කාරණා විතරයි. එය දූෂිත සිනමාවක්.

ඇයි?

ඉතාමත් ආකර්ෂණීය පුද්ගලයෙක් වුවත් මුල සිට අගට ඔබ ඔහු‍ගේ කතාව කියනවා නම්, එම චිත්‍රපටය එපා කරවන තරම් නීරස වෙනවා. උදාහරණයකට ඔබ එල්විස් ප්‍රෙස්ලි ගැන චිත්‍රපටයක් නිර්මාණය කරනවා නම් ඔබට ඔහුගේ මුළු ජීවිතය ගැනම කියන්න බැහැනේ. හදන්න ඕනෑ එල්විස් ප්‍රෙස්ලි Sun Records සමාගමට යන ආකාරය. නැත්නම් ඔහු Sun Records සමාගමට යන්න කලින් දවස ඔහු ගත කළ ආකාරය ගැන. අපි අර දොරින් පිටවෙද්දි චිත්‍රපටය නිමා වෙනවා. ඒකටයි චිත්‍රපටය කියන්නෙ.

කවුරුන් හෝ ඔබ ගැන චිත්‍රපටයක් හැදුවොත් එය නීරස වෙයිද?

එය මට කරන බොරු ප්‍රශංසාවක් වේවි. මම එය නරඹන එකක් නැහැ.

 

උපුටාගැනීම – https://www.lucernanotes.net/2022/12/quentintarantino.html?fbclid=IwAR3W4nxfim57XK3IepXWpFa0anLuPAxxmYe9v9BgUPaPhybuotWbJZkE5K4

 

Social Sharing
අවකාශය නවතම