මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රධාන හුවමාරු මාර්ගයක් බවට පත්ව ඇති බවත්, පිවිසුම් ස්ථානවලදී රාජකාරී සඳහා රථවාහන පොලිස් නිලධාරීන් පමණක් දැක ගත හැකි වීම පුදුමයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අදාළ ප්‍රදේශවල පොලිස් බුද්ධි ජාලයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී ආයුධ සංසරණය, ඉඩම් අත්පත් කර ගැනීම් සහ අදාළ ප්‍රදේශවල අපරාධ සම්බන්ධව වඩාත් දැඩි ලෙස ක්‍රියා කළ යුතු බවද පවසයි.

සිරගෙවල්වල සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය තුරන් කිරීම සඳහා මෑතකදී ගත් ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ එහි ප්‍රතිඵලයක්  ලෙස වැලිකඩ බන්ධනාගාරය නීති විරෝධී මත්ද්‍රව්‍ය වලින් තොර කිරීමට හැකි වූ බවය.

“සමාජයේ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යා යුතුය. ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි අභිලාෂයෙන් යුක්තව කටයුතු කරනවා” ඔහු පවසා සිටියි.

ආරක්ෂක ‌ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

-ශානිකා-

Social Sharing
නවතම