ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?

– කේ. සංජීව –

මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස නම් මේ වෙලාවේ අපිට ජනාධිපතිවරණයක් අවශ්‍යයි. ඇයි එහෙම කියන්නේ.

ලංකාව කියන්නේ ජනමතයෙන් කෙළින්ම ජනාධිපතිවරයෙක් තෝරගන්න රටක්. බැලට් පේපර් එකක් ජනතාව අතට දීලා හා දැන් උබලා උබලට කැමති එකෙක් ජනාධිපති විදිහට තෝරාගනියව් කීවාම එහෙම තේරෙන ජනාධිපතිවරයාට විශාල බලයක් නිසගයෙන්ම උරුම වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ තත්ත්වය අස්සේ පාර්ලිමේන්තුවක් තිබුණට කැබිනට් එකක් තිබුණට ඇති වැඩක් නෑ. කැබිනට් එක කියන්නේ ජනාධිපතිගේ බලයෙන් සීමිත අංශුමාත්‍රයක් බෙදාහරිනු ලැබූ තැනක් විතරයි. පාර්ලිමේන්තුව වුණත් මුදල් පාලන බලය තමන් සතුයි කියලා කීවත් අර මුලින් කියපු විශාල බලය විසින් ඒ පාර්ලිමේන්තුවත් රබර් සීල් එකක් කරලා තියෙන්නේ. ඒකට හොඳම නීදර්ශනයක් තමයි පසුගිය දවසක මයන්ත දිසානායක රාජ්‍ය මුදල් කාරකසභාවේ (COPF) සභාපති විදිහට පත්වීම. කථානායක කියන්නේ ජනාධිපතිගේ රූකඩයක් විතරයි මෙවැනි ආණ්ඩුක්‍රමයක් අස්සේ. ඒකට ඕනෑ තරම් නීදර්ශනයන් දෙන්න පුලුවන්. ඒ අස්සේ අනුර බණ්ඩාරනායක කරු ජයසූරිය වගේ කථානායකවරුන් හිටපු සීමිත අවස්ථාත් නැත්තේ නෑ. ඒත් එවැනි තත්ත්වයන් මේ වර්ගයේ ක්‍රමයක් අස්සේ දුලබයි. මටනම් හිතෙන්නේ මෙවැනි ක්‍රමයක් යටතේ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුව අස්සෙන් තෝරාගැනීමත් නිකං විහිළුවක් විතරයි. ඇත්තටම ඔය ඇමති රාජකාරිය කෙළින්ම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ලේකම්වරුන්ටත් කරන්න පුලුවන්.

ඉතිං මෙවැනි ආණ්ඩු ක්‍රමයක් තිබෙන රටක ජන අරගලයකට පස්සේ විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා ධුරය හැරගිය තත්ත්වයක් යටතේ නැවත ජනවරම (Mandate) පරීක්ෂා කළ යුතුයි කියලයි මට හිතෙන්නේ. මොකද පස්චාත් අරගල තත්ත්වය අස්සේ පාලක පොහොට්ටු පක්ෂයට රට පාලනය කිරීම සඳහා ජනවරමක් නැත්තං මැන්ඩේට් එකක් නැහැ. එහෙම පාර්ලිමේන්තුවක් හරහා පත්වෙන ජනාධිපතිවරයෙකුටත් ජනවරමක් තිබෙන්න විදිහක් නෑ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැතිබව තමයි රටපුරා ඇතිවී තිබෙන විරෝධතාවලින් පෙනෙන්නේ. මෙහෙම තත්ත්වයක් යටතේ සුවිශේෂ කාර්‍යයන් සහ කර්තව්‍යයන් කරන්න වර්තමාන ජනාධිපතිවරයාට බලයක් නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තුවටත් එවැනි බලයක් නෑ.

ඒනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩ කරන්නේ කොහොමද කියන දේ තීරණය කරන්න හෝ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරන්න හෝ බදු ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරන්න හෝ මේ අවස්ථාවේ රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය පියවරයන් කිසිවක් ගන්න වර්තමාන ජනාධිපතිවරයාට ජනතාව විසින් දුන්න බලයක් නෑ. එනිසාම ඔහු කරන රාජකාරි සුජාතකරණය වීමක් නෑ ජනතාව ඉස්සරහා. අපි දැනගන්න අවශ්‍යයි ලංකාව තවමත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක්. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් කියලා ඒත් ඒ හැවෝම මතක තියාගන්න අවශ්‍යයි අපි තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ පාදම උඩ ඉන්නේ. ජනවරමක් නැති නායකයෙක්ට තමන්ට රිසි විදිහට රටක් පාලනය කරන්න නම්, විශේෂයෙන් දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය සාම්ප්‍රධාය වුණ රටක් පාලනය කරන්න නම්, ලේවැකි මර්දනය මහපාරට ගේන්න වෙනවා. සුදු වෑන් මහපාරට දාන්න වෙනවා. එනිසා ජනවරමක් නැති නායකයෙක් රට පාලනය කරනවාට වඩා මම නම් කැමතියි ජනතාවට තමන් කැමති පාලකයෙක් රට පාලනය සඳහා තෝරාගන්න අවස්ථාව දෙනවානම්.

එදා සජිත් ප්‍රේමදාස අගමැති ධුරය භාර නොගැනීම ගැන අපි හැවෝටම ප්‍රශ්න තිබුණා. තවමත් බොහෝ දෙනෙක් ඔහුට චෝදනා කරනවා බයේ පැනලා ගියා කියලා. මමත් ඒ දවස්වල මේක දැක්කේ බයේ පැනයාමක් විදිහට. ඇත්තටම දැන් මට තේරෙනවා ඔහුට වුණත් අගමැති වෙන්න හෝ ජනපති වෙන්න ජනවරමක් නෑ. මැන්ඩේට් එකක් නැතිව ජනාධිපති කෙනෙක් වීම අස්සේ අද රනිල් වික්‍රමසිංහට උදාවෙලා තිබෙන තත්ත්වයට වෙනස් උරුමයක් ඔහුට අත් වෙන්නට ඉඩක් නෑ. එදා මම සජිත් ළඟින්ම හිටපු මගේ මිත්‍රයෙක් ගෙන් ඇහුවා ඇයි අගමැති ධුර භාර නොගන්නේ කියලා.. ඔහු කියපු දෙයක් තමයි ගෝල්ෆේස් එක භාරගන්න කියනවානම් භාරගන්නවා නැත්තං නෑ කියලා. ඒ අනුමැතිය තමයි මැන්ඩේට් එක. මට එදා ඒක තේරුණේ නැතිවුණාට මට අද හිතෙනවා එදා සජිත් ප්‍රේමදාස ගත්ත තීන්දුව හරි කියලා. ජනවරමක් නැති පාර්ලිමේන්තුවකින් ජනවරමක් නැති රාජ්‍ය පාලකයෙක් වීම බෙල්ල ගහාලා යන වැඩක්.! එහෙම නැත්තං ඒක ජනතාවගේ බෙල්ල ගහලා යන පරිසරයක් හදන අවස්ථාවක්. දැන් අපිට තියෙන්නේ ජනතාවගේ බෙල්ල නොදී මේක බේරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය..! ඒකට තිබෙන එකම විසඳුම ජනාධිපතිවරණයක් කැඳවීම.

ජනතාව බහුතරය තීරණය කරනවා නම් IMF යන්නේ නැති ජනාධිපතිවරයෙක් අපිට අවශ්‍යයි කියලා, අපිට කරන්න දෙයක් නෑ. ජනතාව කියනවා නම් විදුලිය වගේ දේවල් පුද්ගලීකරණය නොකර රට ඉස්සරහට ගෙනියන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි කියලා, කොච්චර නරක වුණත් ඒක අපිට ඒක ඉවසන්න වෙනවා. අපි කවුරු හරි කියනවානම් IMF යන්නම ඕනෑ කියලා තව කෙනෙක්ට කියන්න පුලුවන් නෑ එහෙම නෑ IMF නොයාත් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන් කියලා, අපිට ඒකටත් කන් දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. බහුතරයේ කැමැත්ත.

එනිසා මේ වෙලාවේ ලංකාව වෙලාගත් මේ අසහනයට සහ අවිනිශ්චිත තත්ත්වයට එකම විසඳුම ජනාධිපතිවරණයක් කැඳවා ජනතාවට තමන් කැමති නායකයෙක් තෝරාගන්නට ඉඩහසර උදාකර දීම. එහිදී ජනතාව බහුතරයක් විශ්වාස කරනවානම් මේ රට මේ වෙලාවේ ගොඩගන්න පුලුවන් රනිල් වික්‍රමසිංහට විතරයි කියලා ඔවුන් නොපැකිලව රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපතිවරයා විදිහට තෝරාගනීවී. බහුතරය හිතනවානම් නෑ අනුර කුමාර තමයි එකම සුදුස්සා කියලා ජනතාව ඔහු තෝරාගනීවි. මටනම් දැන් නැතිවෙන්න කිසිදෙයක් නෑ. ආරක්ෂා කරගන්න කියලා විශේෂ දේකුත් නෑ. එනිසා ලේ ගංගාවක පිහිනනවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීම තමයි මේ වෙලාවේ හොඳම තෝරාගැනීම….!

 

Social Sharing
නවතම විශේෂාංග