විදර්ශන, මචං මාක්ස් කියවපන් හැබැයි නීට්ෂ විශ්වාස කරපන්…!

– මහේෂ් හපුගොඩ –

එක දවසක් මම ග්‍රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව. ඇත්තටම අපි සම්පූර්ණයෙන් (පූර්ණ වශයෙන්) කාටහරි ආදරය කලොත් සහ ඒ කෙනා අපිව කවදාහරි දාල ගියොත් එතකොට මොකද කරන්නේ? එහෙම මම සම්පූර්ණයෙන් අනික් කෙනාට සියයට සියයක් දීලා එයා කවදාහරි අනික් පැත්ත හැරුනොත් මට මාවම නැතිවෙයි. ඒ නිසා මම සම්පුර්ණයෙන් මාව දෙන්නේ නැහැ. ඒ ආපහු හැරීමේ වේදනාව දරාගන්න බැරි නිසා…

ගැට්ස්බිගේ කතාව වෙනස් එකක්. එයා ඩේසිට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. හැබැයි අවුරුදු ගණනකට පස්සේ ඩේසි වෙනස් වෙලා වෙනත් කෙනෙක් එක්ක ජීවිතයක් පටන් අරගෙන. එහෙම උනාට ගැට්ස්බිට ආපහු හැරෙන්න බැහැ. ඒකයි ප්‍රශ්නේ. එයා එහෙම හැරෙන්න දන්නේ නැහැ. නිකම් පිස්සුවක් වගේ. ඒ උමතු ගමනෙන්ම එයා මරණය තෙක් යනවා. ඒක විශාල ශෝකාන්තයක්.

ඉතින් රෝමියෝ සහ ජුලියට් වගේම ටයිටැනික් එකේ ජැක් උනත් ආපසු හැරුණ පෙම්වත්තු නෙවෙයි. ඒ කියන්නේ එයාල ආදරේදී ගැප් එකක් (gap), දුරස්ථ බවක් (distance), පරතරයක් (space), ආපසු හැරෙන්න තරම් ‘නිදහසක්’ (play – ඩෙරීඩා පාවිච්චි කරන වචනය) නඩත්තු කරපු අය නෙවෙයි. ආපසු හැරෙන්න බැරි නිසා එයාල ඉතිං මරණය දක්වාම ගියා. එහෙම යන එක ගැන එයාලගේ හිතේ දෙගිඩියාවක් තිබ්බෙත් නැහැ. පසුතැවිලි වුණෙත් නැහැ.

ඉතිං සියයට සියයක් දෙන්නේ නැති උනාම වෙන්වීමකදී පණ බේරගන්න පුළුවන් තමයි. හැබැයි ඉතාම පොඩි මොහොතකට හරි තියෙන්න පුළුවන් ඇත්තම ආදරේ නම් හැඟීම නම් කවදාවත් අත්විඳින්න වෙන්නේ නැහැ. ඒක අහිමියි. හැබැයි පණ බේරගන්න පුළුවන්.

ආදරේ දැනිල නැතුව ඉතිං මොකටද පණ බේරිලා?

අනික් අතට කෙනෙක් හිතන්න පුළුවන් නැහැ ඔන්න ඔහේ පණ බේරාගෙන ඉම්මු කියලත්. හැබැයි එතකොට ඉතින් ගැට්ස්බි වගේ නවකතා, රෝමියෝ ජුලියට් වගේ නාට්‍ය, ටයිටැනික් වගේ ෆිල්ම් හැදෙන්නෙත් නැති වෙයි. මොකද එහෙම අත්දැකීමක් නැති නිසා. ඒ අත්දැකීම වෙනුවෙන් අවදානමක් ගන්නේ නැති නිසා.

ඇයි දැන් මේක මම කිව්වේ? මේක කිව්වේ දමිතා අපි දාල, අපේ පරමාදර්ශ පාවලදීල වෙනත් පැත්තක් බලාගත්ත කියල අපේ උන් නහයෙන් අඬන නිසා.

මමත් ඔය අරගලයේ හිටපු චරිත කිහිපයක් ගැන ලියල තියනවා. ඔව්…දමිතත් ඒ ගොඩෙන් එක්කෙනෙක්.

හැබැයි මම ලියපු හැම සටහනකම එයාලගේ අරගලයේ දායකත්වය ගැන, ඒ සහභාගීබව ගැන, ඒ පෙනීසිටීම ගැන සියයට සියයක් මගේ ආදරය ප්‍රකාශ කරලා ලිව්ව සටහන්. ඒ නිසා මට ආපස්සට හැරෙන්න බැහැ. හැරෙන්නෙත් නැහැ.

ඒ කිසිම සටහනක් ගැන අරගලයේ අර්ථයෙන් මම කණගාටු වෙන්නත් නැහැ. නහයෙන් අඬන්නෙත් නැහැ. කොටින්ම සමාජය මගේ සටහන් නිසා නොමඟ ගියා වගේ අදහසක්වත්, වරදකාරී බවක්වත් නැහැ. නොමඟ යන්න තරම් සමාජයක් මෙහෙ නැහැ.

මම සියයට සියයක් එයාලට දීලා තියෙන්නේ මගේ ආදරය. එයාල ඒ සියයට සියයෙන් කොච්චර ලකුණු කපාගන්නවද කියන එක එයාලට බාරයි.

අපේ එක අපි දීල ඉවරයි. දමිතා යමක් කරන්න හදන ගැහැණියක් වෙනවද නැත්නම් නිකම්ම නිකම් අම්මන්ඩි කෙනෙක් වෙනවද කියන එක එයාට බාරයි.

විදර්ශන කන්නන්ගර එයාගේ දමිතා වෙනුවෙන් ලියපු සටහනක් වෙනුවෙන් නහයෙන් අඬල තිබ්බ. මම එහෙම නැහැ. ඒක පුද්ගල බවක් ද සාමුහික බවක් ද මම දන්නේ නැහැ.

විදර්ශන, මචං මාක්ස් කියවපන් හැබැයි නීට්ෂ විශ්වාස කරපන්. නීට්ෂ කියන්නේ පාවාදීම නිසාම ඇතිවෙච්ච විෂාදය නිසා ලියපු එකෙක්. අපි මැරිල යමු. දමිතල ඔහේ ජීවිත් වෙච්චාවේ.

මේක මීට වඩා දේශපාලන නිරවද්‍ය නොවන විදියට ලියන්න පුළුවන්. හැබැයි සකබර්ගය සමාජයක් තියනවා (community standards) කියල හිතන නිසා මෙහෙම ලිව්වා.

 

Social Sharing
නවතම විශේෂාංග