පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක්

– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk –

අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම් හරි දෙන්නෙ නැහැනෙ. ඒ දවස්වල මැච්වලට පාසලේ ළමයින් පිටතට අරගෙන යද්දි ඩ්‍රයිවර් කෙනෙකුටයි, ඉන්ධනවලටයි, නඩත්තුවටයි ගෙවලා ඉස්කෝලෙ බස් එක ගන්නවාට වඩා ලාභයි පිටින් වාහනයක් කුලියට අරගන්න එක. ඒ නිසා මං ළමයින්ව වැඩිපුර එක්කගෙන ගියේ ටවුමෙ පාක් එකෙන් කුලියට ගත්ත වෑන්වල. ක්‍රිකට් ටීම් එකක ළමයින් 15ට අඩු ගණනක් යන්න හතළිහක් විතර යන්න පුළුවන් බස් එකක් අවශ්‍ය නැහැ.

 

sajith

(ඡායාරූපය සජිත් ප්‍රේමදාස ෆේස්බුක් පිටුවෙනි)

පාසල්වලට නොමිලේ බෙදන බස් වැඩි කාලයක් තියෙන්නෙ නිකම්. දුවන්නත් බැහැ. සර්විස් කරන්න, ටයර් ගෙවුණොත් ඒ ටික දාගන්න පවා ළමයින්ගෙන් සල්ලි එකතු කරන්නට වෙනවා. එහෙම නැතිනම්, ළමයෙකුව ඉස්කොලෙට ඇතුළත් කරගන්න මුවාවෙන් සල්ලි ගන්න වෙනවා. තමන්ගෙම බස් එකකින් යන්න තරම් ගමන් ගොඩක් බොහෝ පාසල්වලට නැහැ. ඒ වගේම, මේ දෙන තනි දොරේ බස්වලින් අධ්‍යාපන චාරිකා වගේ ගමන් යන්නත් බැහැ. ඉඩ මදි. බස් එකක් තියෙන පළියට ගමන් යන්න බැහැනෙ. අවශ්‍යතා හඳුනගෙන තමයි පාසල්වලට සම්පත් දෙන්නට ඕනැ.

ඒ වගේම තමයි, රජයේ මූල්‍ය ප්‍රතිපත්ති අනුව මේ බස් බැහැර කිරීමත් කරන්නට බැහැ. පුංචි පාසලකට බස් එකක් දීම කියන්නෙ උරචක්‍රමාලයක් පැළැන්දීම වගේ වැඩක්. රජයේ මූල්‍ය රෙගුලාසි අනුව, මේ බස්වලට පිට හයර් දුවන්නවත් බැහැ. පාසලට ලීසිං කරලා බස් එකක් මිලදී ගත් හොරණ පැත්තේ විදුහල්පතිවරියකට රජයේ මූල්‍ය රෙගුලාසි කඩකරපු නිසා දඬුවම් විඳින්නත් වුණා.

මේ බස් ‘කර්මාන්තය’ ඉතාම වැරදි ප්‍රතිපත්තියක්. ලංකාවේ පාසල් කියන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයිති පොදු සම්පත්. ඒවා අතරෙ සම්පත් බෙදාගන්න අවශ්‍යයි. ඒත්, මේ පාසල්වල විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් එහෙම බොහෝ විට හිතාගෙන ඉන්නෙ පාසල් කියන්නෙ ප්‍රයිවෙට් ලිමිටඩ් ජාතියක් කියලායි. මට මතක් වෙනවා, එකට බිග් මැච් ගහන ඉස්කෝලෙන් වතාවක් ක්‍රිකට් මැටිං එකක් ණයට ඉල්ලන්න ගිහින් වෙච්ච අපහසුතාව. පාසල් ක්‍රිකට් සම්මේලනය නොමිලේ බෙදා දෙන ක්‍රිකට් මැටිං එකක්වත් වෙනත් පාසලක් එක්ක හවුලේ පාවිච්චි කරන්න කැමති නැහැ.

තව පිස්සුවක් තමයි ස්විමිං පූල් හැදීම. පිහිනුම් තටාක හැදීම වගේම නඩත්තු කිරීමටත් පාසල්වල අරමුදල් නැහැ. ඒ වගේම, කෝච්ලාට, පූල් ඇටෙන්ඩන්ට්ලාට පඩි ගෙවන්නත් සල්ලි නැහැ. ඒ නිසා ළමයින්ගෙන් මුදල් එකතු කරන්නට වෙනවා. එහෙම තියෙද්දිත්, වෙනත් පාසලක් එක්කවත් පූල් එක ෂෙයා කරගන්නෙ නැති තරම්. තරගෙට එක ළඟ පාසල්වල පවා වෙන වෙනම ස්විමිං පූල් හදාගන්නවා. ප්‍රමාණවත් තරම් පාවිච්චි වෙන්නෙ නැහැ.

මේවට වැය වුණේ අපි විදේශ රටවලින් පවා ණයට ගත් මුදල් බව මතක තියාගන්න. මොකද, ඒ මුදල් අපි ඩොලරය පාලනය කරන්නට භාවිතා කළා. ආනයනික භාණ්ඩ රට ඇතුළෙ මිල අඩු වුණේ එහෙමයි.

මට මතකයි, මං 1990 දශකයෙදි මුල් පත්වීම අරගෙන ගිය පාසල. ඒක යුද කලාපයේ තිබුණු මධ්‍ය මහා විද්‍යාලයක්. ළමයි 500-600 විතර තමයි ඉගෙන ගත්තෙ. මේ පාසලේ විද්‍යාගාරය පිටුපස කාමරේක විශාල රූපවාහිනී යන්ත්‍ර ගණනාවක් ගොඩගහලා තිබුණා. කවදාවත් පාවිච්චි කර තිබුණෙ නැහැ. යුද කලාපයේ දුෂ්කර පාසල්වලට ප්‍රමුඛතාව දීලා බෙදාදීපු සම්පත්. එතනදි තමයි මං මුලින්ම පරිගණකයක් අතපත ගෑවෙ. ඒ වෙනකොට ඒක පරණ පරිගණකයක්. මං පරිගණක ගැන මෙලෝ බෝලයක් දැනගෙන හිටියෙ නැහැ. ඉස්කෝලෙ කවුරුවත් පරිගණක ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒකට මොනිටර් එකක් තිබුණෙ නැහැ. මැනුවල් තිබුණෙත් නැති නිසා මං කල්පනා කරලා ටීවී මොනිටර් එකකට ඒක හයිකරලා ස්ටාට් කළා. කැසට් පීස් එකක් වගේ එකකින් තමයි වැඩකළේ. අනුරාධපුරේටත් කිලෝමීටර් 100ක් එහා ඒ පැත්තෙ එතනින් එහාට ඒ ගැන අහලා දැනගන්න කවුරුවත් හිටියෙ නැහැ. අනෙක, මං ඇවිත් තිබුණෙ ඉංග්‍රීසි උගන්නන්න මිසක් ඕවට නෙමෙයිනෙ. මේ රූපවාහිනී, පරිගණක ආදී සියල්ල පස්සෙ කාලෙක අබලි ද්‍රව්‍ය විදියට බැහැර කළා. එතකොට ඒවා යල්පැන ගිහින්. හැබැයි, කවදාවත් පාවිච්චි කර තිබුණෙ නැහැ.

උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය යටතේ මේ කාරණා උගන්වනවා. ඒ පාඩමේ මාතෘකාව ‘සම්පත් ඌන උපයෝජනය.’ මෙතනදී එයට හේතුව වෙන්නෙ වැරදි ප්‍රතිපත්ති තීරණ හා වැරදි කළමනාකරණය. අනාගත ජනාධිපති වෙන්නට සිහින දකින සජිත් ප්‍රේමදාස කරන්නෙ නාස්තියක්.

 

Social Sharing
නවතම විශේෂාංග