අද අහසත් අඬන්න වගේ…

පේලේ ගැන ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් ගොඩක් බර දේවල් කියල තිබ්බ. ඒ බරසාර දේවල් කියපු පුද්ගලයෝ අතර රොනල්ඩ් රේගන්, මොහොමඩ් අලි, ඇන්ඩි වොහෝල්, නෙල්සන් මැන්ඩෙලා වගේ නම් තිබ්බ. පෙලේ අවසානයට සෙල්ලම් කෙරුවේ නිව්යෝක් කණ්ඩායම සහ එයා හිටපු සැන්තොස් කණ්ඩායම අතර තිබ්බ තරඟයක්. ඒ තරඟය දා බ්‍රසීලයේ කොහේදෝ අහුමුල්ලක තිබ්බ පත්තරයක් එයාලගේ මුල්පිටුවේ මෙහෙම වාර්තාකරලා තිබ්බ.

”අද අහසත් අඬන්න වගේ”.

ගොඩක් අය පේලේ ගැන කියවෙච්ච හොඳම කියමන ලෙස උදාහරණෙට ගන්නේ අන්න ඒ වැකිය. ඒක පාපන්දු ගැන හෝ පේලේගේ දක්ෂතා ගැන හෝ කිසිවක් නොකීවත් ඒ සේරටම වඩා දෙයක් කියන්න උත්සාහ කරලා තියනවා. ඒ තමයි මුළු ස්වභාවධර්මය ම අද මේ ක්‍රීඩකයාගේ සමුදීම එක්ක ඉන්නවා කියන එක. ඔහු විශ්වීය දෙයක් කියන එක. ඔහු අසමසමයි කියන එක. මිනිසෙක් හැටියට ඉපදිලා කැපවීම සහ උත්සාහය එක්ක ඔහු යම් දිව්‍යමයබවක් අත්පත් කරගත්තා කියන එක (something divine).

පේලේ ලඟට පාපන්දුව ආපු වෙලාවෙන් පස්සේ ඒක කවියක් බවට පත්වුණා කියල යම් තැනක තියනවා. ඒ කියන්නේ එයාගෙන් පස්සේ ඒ ක්‍රීඩාව තවදුරටත් පරණ ක්‍රීඩාව නෙවෙයි කියන එක. එහෙම දේවල් වෙනස්කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින් කියල මම කලින් පෝස්ටුවක ලිව්වා. එහෙම කෙනෙක් පේලේ.

එහෙම මිනිස්සු තමයි මේ ලෝකේ බිහිවෙන්න ඕනි. සුවිශේෂ මිනිස්සු. සුවිසල් මිනිස්සු. අසමසම මිනිස්සු. හැබැයි කොච්චර ලෝකේ කෙලවරට ගියත් තමන් ආපු තැන ගැන මතකයක් තියන මිනිස්සු.

අයි. ටී. එන්. එක පේලේ විකාශනය කරන්න තීරණය කළා කියල දැක්කම සතුටු හිතුණා. ඒ තමයි අපි අපෙන් පස්සේ පරම්පරාවට සුවිසල් මිනිස්සු බිහිවීමේ කතාන්දරය අරන් යන්න ඕනි. අපෙනුත් ලෝකයට එහෙම මිනිස්සු බිහිකරන්න ඕනි. එහෙම වෙන්න සුවිසල් මිනිසුන්ගෙන් උත්තේජනය ලබන්න ඕනි. එයාල සිහින දැකපු හැටි ගැන ඉගෙනගන්න ඕනි.

බ්‍රසීලය කියන රටින් තමයි පේලේ එන්නේ. දැන් එයා ඒ රටේ ජාතික වස්තුවක්. මම හිතන්නේ පේලේ ලෝකයටම අයිති ගෝලීය වස්තුවක්. මිහිකතගේ උරුමයක්.

ඒකයි ඒ මිහිකතගේ අහස හඬන්නේ…

බ්‍රසීල අහසට විතරක් නෙවෙයි පේලේ ෆුට්බෝල් වලට ලව් කරන සියළු අහසවල් වලට සම්බන්දයි.

පුංචිම පුංචි තැනකින් ඇවිල්ල මේ ලෝකෙටම අද්විතීය උරුමයක් වෙච්ච ඒ මිනිසාගේ කතාව දැනගන්න සෙනසුරාදා (අද) රාත්‍රී 10ට අයි. ටී. එන්. බලන්න.

අද අහස එච්චර කළුවර නැහැ!

Director: Jeff Zimbalist, Michael Zimbalist

Music: A.R. Rahaman

– මහේෂ් හපුගොඩ –

Social Sharing
අවකාශය