ගෙත්තම්පාණ – රත්න ශ්‍රී විජේසිංහ

– සුජීව සිරිමෙවන් –

“ගෙත්තම්පාණ” ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස “ගෙත්තමපාණ” ගෙත්තම් ව තිබෙයි. රත්න ශ්‍රී කවියාගේ භාවිකාර්ථවත් මිහිරි කව් බසේ සාරයත් ඔහුගේ කාව්‍ය ප්‍රයාණයේ හැම සළාවැටුමකින් ම මතු වූ ඉදිරී වැටෙන ගිලිහෙන වාරයක් පාසා ජීවිතය අත්පසුරෙන් බදා අල්ලා ගැනිමට පොළඹවන මානවවාදයත් යලිදු මෙහි ගෙතෙයි.

තනිකම යනු කැඩපත් වියෙහි අප අම්මාගෙන් වෙන කරනු ලැබූ නිමේශයේ පටන් අප තුළ තෙපුල් දෙන අනවරත මනෝභාවයයි. එනයින් අම්මා වූ කලී අද්වෛත තනිකමෙහිත් සකල විධ අහිමි වීම්වලත් සංකේතයයි. එබැවින් කවියා තුළ හැම විට ම අම්මා පිළිබඳ සංස්තිථික වන්නේ කැටි ගැසුණු වේදනාවකි. අප පතන සියල්ල ඈ අත තිබියදීත් අපට ඇය මග හැරී යාමේ වේදනාත්මක සාංකාවකි. පහසුකම් ඉතා අඩු වැඩිහිටි නිවාසයක ඇතිරිල්ලකුදු නැති බූරු ඇඳක් මත මිය ගොස් සිටින මවක පිළිබඳ අත්දැකීම කවියා තුළ නිසඟයෙන් නිදන් ව ඇති මේ කාංසා සහගත හැඟුම් ඇහැරවයි. එය ලියා ඇත්තේ ” කුරා කුහුඹු අම්මා” යන හිසිනි.

” මිටි කර ගෙන දෑත
වකුටු වී හොඳට ම

මහලු අම්මා කෙනෙකි ඇය

කළු කුහුඹුවන් පමණකි
සිටියේ ඇගේ තනියට
ඒ පාළු කාමරේ
කිළිටි වැරහැලි අතරේ”

හුදෙකලාව මියගිය ඇගේ නිසල සිරුරෙහි කළු කුහුඹුවන් සැරි සරන අයුරු කවියා දෘශ්‍ය රූප මවයි. ඇගේ සිරුරෙහි සැරිසරන කළු කුහුඹුවන් පමණක් දන්නා සත්‍යක් කෙරෙහි කවියා අපේ අවධානය යොමු කරයි. එහෙත් කවියා මේ අවධානය යොමු කරන්නේ ඇය වෙත නොව තමාගේ ම අහිමි වීමේ වේදනාව වෙතයි. අම්මා අත අප වෙනුවෙන් දෙයක් ඇතැයි සිතෙන්නේ ඒ වේදනාත්මක අහිමි වීම නිසා ම නොවේ ද?

“ ඒ කළු කුහුඹුවන්
දැන සිටියා හොඳට ම
ඈ ළඟ යමක් ඇති බව

කොහේ හෝ ඇති පුතෙකුට
හුරු බුහුටි දුවකට
ගෙනා කඩයප්පන්
පැණි රස කැවිල්ලක්
මැරී ගිය කිරි සුවඳක්
දෙන්න බැරි වුණු හාදුවක්
ඇගේ තුරුල්ලේ ඇති බව”

“කතා නැති දුරකථන” නම් කව ද එහි ම වෙනත් දිගුවකි. යාන්ත්‍රික නවීකරණයන් තුළ විඳවිල්ලක් වූ සමාජයේ දරුවන්ට අම්මා මග හැරීමේ ඛේදය කවියා මතු පිටින් අල්ලා ගන්නා අතර ම තමා තුළ සිටින අහිමි වූ අම්මා ගැන කාංසාමය හැඟුමත් වේදනාවත් මෙබඳු කව් මත තැවරී තිබෙයි.

“අම්මාගේ කටහඬ” නම් කව එහි ම තවත් පර්‍යාලෝකයකි. එක් හැවිරිදි වියේදී අම්මා මිය යාමෙන් තනිවුණු පුතෙකුට අම්මාගේ කටහඬ කෙබඳු වී දැයි සිතා ගැනීමට නොහැකි වීම මෙහි නිමිත්තයි. කැඩපත් වියේදී අම්මා සංකේතියව අහිමි වන්නට පෙර සැබවින් ම අම්මා මිය යාම කවියා තුළ පසු කලෙක පියවිය නොහැකි කුහරයක් නිර්මාණය කර තිබේ. දිරා ගිය කොස් කොළ ගොඩ මැද මේ දැන් පුපුරා ගිය බිජුවටයකින් පිටතට පැමිණි මල් රදනක පැටවුන් ද උන්ගේ අම්මා වූ මල් රදනක සැපිනියගේ කට හඬ ගැන සාවධාන වෙයි.

” දිරා යන කොස් කොළ ගොඩ මැද
මේ දාන් පුපුරා ගිය බිජුවට
අතරින් හිස ඔසවන
මල් රදනක පැටව්
ඉව කරති වට අවට
පොරි අහුරක් සේ ම
ඔසවා හිස අහසට
අසා හිඳිති කම්පන

මේ ළඟ පාත ඇති
මල් රදනක සැපිනිය”

ගෙල බැඳි මිණි වැල නොසලා සීරුවෙන් ළමා වසු පැටවුන් ද සවන් දී සිටින්නේ මවු දෙනගේ කට හඬ කොයි ඉසව්වෙන් මතු වේ දැ යි යන විමසිල්ලෙනි. එහෙත් කථකයාට තම මවගේ කටහඬ මතක නැත.ඈ ගයන්නට ඇතැයි සිතෙන නැළවිලි ගීයක් ඔහු සිතින් මුමුණා බලයි. එහෙත් ඒ. එකකවත් ඔහු සොයන අම්මාගේ සිහින කටහඬ නැත. අම්මා අහිමි කරනු ලැබීමෙන් අප තුළ තැවරෙන සදාතනික කාංසාමය ස්වභාවය කවියා ධ්වනිත කරයි.

” කුඹුරු වතුපිටි දෙණිවල
පාළු කඳු වැටි අතර
සුළඟේ පාව ගිය
කොහි ද ඇගෙ කට හඬ”.

“පුංචි” යන හිසින් යුත් පුංචි අම්මා ගැන ලියූ කව ද අම්මා අහිමි වීමෙන් තනිකම පිරිමැසීමට අනුපූරකයක් ලෙස ආදේශ වූ පුංචි අම්මා ගැන දයනීය හැඟුම් උපදවන නිර්මාණයකි.

“පය රිදී වෙහෙසුණු වෙලාවට
පයින් යන්නට බෑ කියූ විට
අනේ මා උකුලට වඩාගෙන
පාසලට පන්සල්ට ගෙන ගිය
පුංචි අම්මෙක් සිටියාය මට”

තමා කුඩා අවදියේ අම්මා අහිමි වීමෙන් හටගත් හිස්තැන පිරවීමට ආදේශකයක් වූ ඇය පසුකලෙක අත් විඳි දුක් දොම්නස් පිරි විකල් සිහියෙන් ඇවිද ගිය යුගය කවියා සිහිපත් කරයි.කායික මානසික දුක් දුබික් වැළඳූ ඇයට දිවි මග තවදුරටත් සැරිය නොහැකි සේ බෙලහීන තත්ත්වයකට පත් වෙයි.

” වැදී කැට බැට මුගුරු අපමණ
විසන්ධිව ගොස් සන්ධි අතපය
තවත් යන්නට බෑ කියූ ඇය
මට වඩා ගෙන යන්න බැරි විය”

එතැන් සිට දිගින් දිගට ම මහලු ඈ තව තවත් පුංචිවට පෙනුණු බව කථකයා පවසයි. පුංචි අම්මා තව තවත් පුංචිවට පෙනුණු බව අවධාරණය කොට කීම මගින් සිදුවන්නේ පුංචි අම්මා ඔහුගේ සිත තුළ වඩාත් විශාල වීමයි. මෙ ලෙස ගෙත්තම්පාණෙහි කාව්‍ය නිර්මාණ රැසක අම්මාගේ භූමිකාව විශාලනය කොට දැක්වීමෙන් කවියා තම කැඩපත් වියෙහි වූ අහිමි වීම යළි සොයා යාමට වෙර දරන ආකාරය පිළිබිඹු කෙරෙයි.

” සෙල්ලම් වලසා” නම් කව දරුවන් ලිංගිකව අපයෝජනයට ලක්වීමේ නරුම කලාපයක් අනාවරණය කෙරෙන කවකි. “සෙල්ලම් වලසා” යනුවෙන් රූපකයකට නැගී ඇත්තේ මෙහි කථක දැරියව හින්සනයට ලක් කෙරෙන නිමිත්තයි.

” සෙල්ලම් වලසා තමයි
මා සපා කෑවේ
ඇඟිලිවලටත් දනෙනවා
දත් පාරවල් පපුවේ
රිදෙනවා අම්මේ”

ජන මතක මූලාශ්‍ර මත රැලි ගසන අමල් බිසෝ කතාව ද කවියා මෙහිදී ඉවහල් කර ගනී. දූ රකින්නට අමල් බිසෝගේ මව තියා ගිය පූසා ද ගිරවා ද මෙන් ඇයට ද ආදරේ කරන්නට මැටි පූසෙක් සහ ඉරිදා පොළෙන් ගෙන ආ ගිරවෙක් සිටියි. එහෙත් අමල් බිසෝගේ පූසාටත් ගිරවාටත් මෙන් ඇය ව රැක ගන්නට ඇගේ සුරතලුන්ට නොහැකි වී තිබෙයි. තමාට හිංසා කරන නපුරු සෙල්ලම් වලසා කවුරුන් විසින් ගෙනෙන ලද්දේදැයි පවසන අවස්ථාවේ අත්දැකීමේ යටිමඩිය ලෙහෙයි.

” බාප්පා තමයි දවසක
නපුරු සෙල්ලම් වලසා
එක්කගෙන ආවේ
විස්මලන්තය බලන්නට
කැටුව ගිය දවසේ”

අම්මාගේ රැකවරණය දරුවන් වෙතින් ගිලිහී යන පළමු නිමේශයේදී ම ඔවුන් කවර තරමේ අනතුරකට ලක්වන්නට ඉඩ තිබේ ද යන්න ” සෙල්ලම් වලසා” නිර්මාණයෙන් කවියා වැඩිහිටියන්ට අනතුරු අඟවයි. “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසනු ඒ අමාරුව” කීවා සේ වැඩිහිටියන් විසින් ම දරුවන්ගේ ලෝකය බරපතල ලෙස වනසා දැමීම මේ නිර්මාණයෙන් අනාවරණය කෙරෙයි.

” ඒත් මේ වලසා
හරි ම අමුතුයි අම්මේ

තනියෙන් ඉන්නකොට
බය හිතෙනවා හරියට”

මේ කවෙහි අවසන් පේළි දෙක නොතිබිණි නම් එහි කාව්‍යාත්මයට මදකුදු හානියක් වීම වළක්වා ගත හැකිව තිබුණු බව අපගේ හැඟීමයි.

” අනේ සෙල්ලම් වලසා
බැඳ තබනව ද අම්මේ”

ජී. බී. සේනානායක, විසින් එක්දහස් නවසිය හතලිස් හයේදී රචනා කරන ලද ” දෙවියන් මැරීම” කාව්‍ය නිර්මාණය මගින් නිරූපණය වූයේ ශිෂ්ටාරය කරා ගමන් කරන මිනිසාගේ ප්‍රකෘති භාවමය ලෝකය සහ බුද්ධි ගෝචර තර්ක ඥානය අතර අනවරත් ගැටුමයි. රත්න් ශ්‍රී විජේසිංහයන් ඉන් දශක අටකට පමණ පසුව “දෙවියන් මැවීම” යනුවෙන් කවක් ලියයි. මිනිසාගේ සාමූහික උපවිඥානය තුළ ලැගුම් ගෙන සිටින දෙවියන් පිළිබඳ අර්චනකාමීත්වය නූතන පාරිභෝජනවාදය තුළ පිළිම වන්දනය වෙත වර නැගී ඇති ලාමක ස්වරූපය සියුම් උත්ප්‍රාසයකින් නිරූපණය වන නිර්මාණයක් ලෙස ” දෙවියන් මැවීම” හඳුන්වා දිය හැකිය. සිමෙන්ති බදාමෙන් සාදන තවමත් වැඩ නිම නොකළ දෙව් මැදුරක් කවියාට නිමිත්ත වෙයි.

” දේවාලයේ වැඩ ද නිමවුණේ බාගෙට
දේව ප්‍රතිමා තිබේ සැකිලිවල යා කොට
තවත් දෑතක් අඩු ය කතරගම රූපෙට
නිල්පාට ගෑ යුතු ය විෂ්ණු දෙව් මූණට”

පෙදරේරු අනුහසින් විගස නිමවෙන කොන්ක්‍රීට් දෙව් රූ බැති මතුන්ගේ අර්චනකාමය අවුළුවයි. තවමත් වැඩබිමක් ලෙස පවතින දෙවොලෙහි ඒ මේ අත විසිර පවතින කම්බි වැලි ගල් අතර දෙව් රූ මතු වී නැතත් මෙහි දෙව් අණසක ඇති බව කවියා පවසයි. එබැවින් බැතිමතුන් ගෙනා පුදපෙත් සිමෙන්ති බදාම අභියසප් තබා යන ලෙආ කවියා ඉල්ලා සිටින්නේ ඒවා ද අද හෙට ම දෙවි කෙනෙකු බවට පත් වන බව පවසමිනි. එය කදිම උපහාසයකි. පිළි රූ වන්දනාවට යොමු වී සිටින සිංහල – මිථ්‍යාවට එරෙහි ව ගෙනෙන නිර්දය විවේචනයකි.

” බැතිමතුනි ඔබ ගෙනා පුද පෙත් ද පඬුරු ද
නොපුදා ම පසු හැරී ගෙන යාම හරි නැත
තබනු මැන සිමෙන්ති ද බදාම ද අබියස
ඒවා ද අද හෙට ම දෙවි කෙනෙකු වනු ඇත”

” වියපත් නිළිය” යන හිසින් යුත් නිර්මාණය වියපත් වූ නිළියක් තම ඇඳුම් අල්මාරි ඉපැරණි ගමන් මලු අතර තම කුසුමෝපශෝභිත යෞවනය මතු කර ගන්නා නිමේශයක් අනාවරණය කරයි. ඒ අතර ඇති මැරුණු විලවුන් සුවඳ ද යල් පිනූ මෝස්තර සහිත ආයිත්තම් ද සරදම් කරයි. ඇ සොයන්නේ වෙනත් යමකි. ඒ පිරිමි සිතකින් රිදවුම් ලද ඇගේ ආත්මයයි.

” මේ කොහේ හෝ ඇති
චාටු පෙම්බස් සියයක්
ඉටු නොකළ පොරොන්දුවක්
ගුණමකු පිරිමි සුවඳක්”

වියපත් නිළියගේ මේ අතීතකාමී සැමරුම් අතර සැරුම මැදට කවියාගේ අවිඥානය සැණින් පතිත වෙයි. එය පත්න්නේ සියලු මිහිරි අමිහිරි සංවේදනා ලොවින් වසන් කොට සිනාවතක් ම පාන ගැහැනියකි.

” සිඹ බැලූ කොපුලක්
සපා කෑ කන් පෙත්තක්
තැන්පත් කළ වතක්
රැගත් පින්තූරයක්”

ගෙත්තම්පාණෙහි භාවමය ගුණ ඝනීභවනය වී ඇති කව් රැසක් දැක ගත හැකිය. ඒවා සහෘද සිත් සහකම්පනයේ සැතින් පාරා හද ගැබේ යම් නිමල තැනක තෙපුල් දෙන නිර්මාණයි. ” වයසක ඇත්තන්ගේ ඇරයුම” ” බෝනික්කී” ” “ගෙත්තම්පාණ”” සමු නොගත් සෙවණැල්ල” එබඳු නිර්මාණ අතර මුලින් ම මතකයට නැගෙයි. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දිගු කාව්‍ය ප්‍රයාණය තුළ සියුම් නිරීක්ෂණයට හසුවන ලක්ෂණයක් වන්නේ ඔහු තම නිර්මාණ ඇසුරෙහි නිතැතින් දල්වන්නට උත්සුක වන ජීවිත භක්තිය. අනවරත අප්‍රිය අමනාප තතු නැතක් මැද බෙලසුන් ව පය පැකිල ඇඳ වැටෙන නිමේශයේදී පවා යළිත් ජීවිතය ම තර කොට අල්ලා ගැනීමෙගි ජීවන ලාලසා පුබුදු කරයි. ඒ වූ කලී සුපසන් මානව බැඳුම් මගින් කොන්දේසි විරහිතව විකසිත කරන ජීවන ලාලසාවයි. “රාත්‍රියේ කාංසාව” වේදනාකාරි අඳුරින් වැසී ගිය සිහිවටන මැද යළිත් ජීවිතය පිළිබඳ ව ම කුසුමිත වන පැතුමක් රඳවා තබයි.

” තාරාකාවක් මැරී වැටෙයි දුර කඳු හිසට
රෑ කුරුල්ලෙක් හඬයි එක දිගට නිදි නැති ව
ගොරක ගස් අවතාර කළු ජනේලය අසල
අන්ධකාරය අතන මෙතැන සහ හැම තැන ම”

සියල්ල ම වැහැරී ඉදිරී වැටී තිත්ත මූසල අන්ධකාරයක බියකරු සෙවණැලි රංගනයක අතර මැදත් ජීවත භක්තිය දල්වනු රිසි අල්පමාත්‍ර කිසිවක් සොයා පාදා දෙන්නට කවියා උත්සුක වීම විස්මය දනවන්නකි.

 

” මිදුල කෙළවරක සෙවණැලි නොමැති බිම්කඩක
පිච්ච වැල පමණි ගිස සලන්නේ පණ ඇති ව
හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක
අමාරු ම මතු දවස විඳ දරා ගනු පිණිස”

සමාජ විලෝපනයේ විපරීත බව නිර්දය කාව්‍ය දෘෂ්ටියකින් විෂද කර තිබීම ද ගෙත්තම්පාණෙහි සුවිශේෂත්වයකි. “සොහොන් බිම පසු කළ යුතුය” ” සත්‍යාවබෝධය” ” කලියුගයේ සාධු චර්‍යාව” එවැනි නිර්මාණ කිහිපයකි. කවර අරුතින් ගත්ත ද මීට වඩා ආඪ්‍යතර සමාජයක් තම නිර්මාණාත්මක ප්‍රයාණය මගින් අපේක්ෂා කරන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ” ගෙත්තම්පාණ” තමාගේ අතීත කවිතා අභියෝගයට තමා ම නිබය ව අභිමුඛ වූ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය.

 

Social Sharing
අවකාශය නවතම