අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!

පිලිප් දිසානායක – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක

ඔබේ සංවිධානය වැඩකරන ක්ෂේත්‍ර පැහැදිලි කළොත්…

ලංකාවේ සිදුවන වධහිංසා, නීති විරෝධී අතුරුදහන් කිරීම් හා නීති විරෝධී ඝාතන වලට එරෙහිව අපි මානව හිමිකම් සංවිධානයක් ලෙස වැඩ කරමින් සිටිනවා. මේ අවස්ථා තුනම ලංකාවේ මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන අවස්ථා තුනක්. ඒ මූලික මිනිස් අයිතිවාසිකම් රටක් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ ඒ රට ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳව ලෝකයේ ඇති කරගෙන තිබෙන මූලධර්මයන්ට එරෙහි වීමක් විදිහටයි අපි දකින්නේ. ඒ නිසා පුද්ගලයෙකු සතු ජීවත්වීමට ඇති අයිතිය කිරීම සඳහා ඒවා කඩවෙන හැම තැනකදීම අපි මැදිහත් වෙනවා.

ඉතිහාසය පුරා හැම කාල වකවානුවකම මේ ක්‍රියාවලි තුනම බරපතල ලෙස ලංකාවේ සිද්ධ වුණා. පහුගිය අවුරුදු දෙකක කාලය තුල ලංකාවේ අතුරුදහන්වීම් සිදු වුණේ නෑ කියලා මානව හිමිකම් කොමිෂන් සභාව කියනවා. ඒ කාරණාව අපි පිළිගන්නවා. නමුත් වධහිංසාව හා නීති විරෝධී ඝාතන තවමත් ලංකාවේ සුලභව සිදු කෙරෙනවා. එය ප්‍රජාත්‍රන්තවාදී රාජ්‍යයක පැවතිය යුතු ලක්ෂණයක් නොවෙයි. ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කරලා අසාධාරණයන්ට ලක්වෙච්ච වින්දිතයන් දිරිගැන්වීම, නීතිමය රැකවරණය සැලසීම හා මඟ පෙන්වීම කරමින් ඉන්නවා. ඒ සමඟම මේ විෂය පිලිබඳ තිබෙන අවබෝධය සමාජය තුල වැඩි කිරීමේ අරමුණින් අපි කටයුතු කරනවා. මේ පිළිබඳ තිබෙන නීති ශක්තිමත් කරගන්න අදාල ආයතන සමඟ සාකච්ඡාවක, සංවාදයක යෙදී සිටිනවා.

ඔබ කියු කරුණු තුන මූලිකව අපේ සමාජය පිළිබඳව තව දුරටත් කථා කළොත්….

අපි නිදහස ලබලා ගත වු වසර හැට තුල මේ කාරණා තුනට අදාල සිදුවීම් උතුරේත් දකුණෙත් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා 1971 කැරැල්ල වෙලාවේ අතුරුදහන්වීම්, වධහිංසා පැමිණිවීම් හා නීති විරෝධි ඝාතන බරපතල ලෙස සිද්ධවුණා. ඊට පස්සේ 1988 හා 1989 කාලේත් දකුණේ සිද්ධවුණා. ඊට පස්සේ තිස් අවුරුදු යුද්ධය ඇතුලෙත් බරපතල විදිහට ඒ දේම උතුරේ සිද්ධවුණා. ඇත්තටම අපි ඒ පැත්තෙන් ලෝක වාර්තාවක් තැබු රටක්. අපි දැක්කා පහුගිය අවුරුදු කිහිපයක වැඩිවශයෙන් අතුරුදහන්වීම් සිදුවුණ රටක් බවට ලංකාව පත් වෙලා තිබුණා. ඒ බව පාර්ලිමේන්තුවේ හැන්සාඞ් ගතවෙලත් තියෙනවා. ඒ වගේම නීති විරෝධි ඝාතන බරපතල ලෙස සිද්ධ වෙච්ච රටක් විදිහට ලංකාව නම් වෙලා තියෙනවා. රටේ එක ජන වර්ගයක් පමණක් නෙමෙයි සියලුම ජන වර්ගවලට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ අත්දැකීමට අනුව අතුරුදහන්වීම් වාර්තා වීම නතර වෙලා තිබුණත් අනෙක් කාරණා දෙක තවමත් සිද්ධ වෙනවා.

වධහිංසා සිද්ධවෙන්නේ කොහොමද?

අපි දන්න තරමින් පොලිස් වධහිංසාව දරුණුවට සිදුවෙමින් තියෙනවා. ග්‍රාමීය ප්‍රදේශ වල අපරාධ පරික්ෂණ කටයුතු වලදි තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන එකම ක්‍රමවේදය තමයි වධහිංසාව. සාමාන්‍ය පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වුණහම වධහිංසා කරලා තමයි තොරතුරු ලබා ගන්නේ. ඒක උතුරටත් දකුණටත් අදාලයි. ලංකාවේ නීතිය අනුව එවැනි වධහිංසාවල් සිදුකිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක්. අපරාධ නීතිය අනුව අපරාධ වරදක්. ඒ නීතිය පැත්තකින් තියලා තමයි අතීතයේ සිටම මේ ක්‍රියාදාමයන් සිද්ධවෙන්නේ. අපට තිබෙන එක ගැටලුවක් තමයි උතුරු නැගෙනහිර සිදුවීම් හරියාකාරව වාර්තා නොවීම. දකුණේ එවැනි සිදුවීම් සෑහේන්න වාර්තා වෙමින් පවතිනවා. අපි ඒවා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. අවශ්‍ය වාර්තාකරණයන් සිදුකරලා තියෙනවා.

පොලිසිය විතරද?

හිංසනය ක්‍රියාත්මක වෙන්නේ පොලිස් ස්ථාන තුල විතරක් නෙවෙයි. අනෙකුත් ව්‍යුහයන් තුලත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස බන්ධනාගාරගත වූවන් පිළිබඳ පාවිච්චි කරන්නෙත් වධහිංසාව. පාසල් පද්ධතිය තුලත් පාසලේ විනය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන්නේ හිංසනය. අපි හිතන්නේ නීතිය තිබුණට මදි. හිංසනය සමාජයෙන් තුරන් කිරීම සඳහා ඒ නීති පිළිබඳව සමාජය දැනුවත් වීම හා ක්‍රියාත්මක වීම අවශ්‍යයි.

විවිධ සංවිධාන වසර ගණනාවක් තිස්සේ මේ දියුණු අදහස් සාකච්ඡා කරමින් සිටියත් සමාජය ගමන් කරමින් තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ දිහාවකට කියා මම කීවොත්?

අපේ රටේ හිංසාකාරී වටපිටාව නිර්මාණය වන්නේ සාමාන්‍ය නීතියට එපිටින් වන නීති ක්‍රියාත්මකවෙන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වු නිසයි. කැරලි කෝලහාල හා යුද්ධය ඊට ප්‍රබලව බලපාලා තියෙනවා. සමාජයේ මතයක් හැදුනා, මේ කැරලි කෝලහාල වලට සම්බන්ධ වු අය නීතියට පිටින් හරි මර්දනය කරන්න ඕනේ කියලා. 1971, 1988, 1989 හා උතුරේ යුද්ධය වගේ අවස්ථා වල ඒ දෙය සිද්ධ වුණා. නීත්‍යානුකූලව වැඩ කිරීම කාලය ගතවෙන වැඩක් නිසා නීතියට පිටින් මේ අයව මර්දනය කළ යුතුයි කියලා අදහසක් සමාජයේ නිර්මාණය වුණා. ඒ විතරක් නොවෙයි. ඒ අවස්ථා වල තිබුණු ආණ්ඩු ඒ නිලධාරීන්ව ආරක්ෂා කළා. නමුත් නීතියේ තියෙන්නේ වෙන කාරණාවක්. නීතියට පිටින් කටයුතු කිරිම පුද්ගලයෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් හා අපරාධ වරදක්. රැකියාව අහිමි වෙනවා විතරක් නෙමේ හිර දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා.

අවුරුදු 17 ක් තිස්සේ අපි මේ කාරණාව සම්බන්ධව වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා මේ විෂය ගැන තියෙන අවබෝධය වැඩි කිරීම හා විෂය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස වැඩි කිරීමටත් අපි කටයුතු කරමින් සිටිනවා. එහි එක් පියවරක් ලෙස වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව කියලා සංවිධාන 28 ක් එක් වෙලා ඒකාබද්ධ ක්‍රියාමාර්ග වෙත යොමු වෙලා ඉන්නවා. ඒ නිසා සමහර සිද්ධි සම්බන්ධයෙන් අපට ශක්තිමත්ව එකට පෙනී හිටින්න හැකි වෙනවා. ඒකාබද්ධ නිවේදන නිකුත් කරන්න හැකි වෙලා තියෙනවා.

සංවාදය හා සටහන

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

මෙය අනිද්දා පුවත්පතේ 2020.08.09 දින පළ වූ සංවාදයකි.

Social Sharing
නවතම සාකච්ඡා