කේ එල් ධර්මසිරි 80 දශකයේ තරුණ දේශපාලනය

කේ එල් ධර්මසිරි තමයි දයා පතිරණ මරා දැමීමෙන් පසුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට පත් වුනේ. 1989 අගෝස්තු 19වන දින ඒ කියන්නෙ මීට අවුරුදු 33කට පෙර ඔහු ද මරා දැමුණ. ඔහු දැන් ප්‍රසිද්ධව සිටින්නෙ ජවිපෙ කැරැල්ලට එරෙහිව අවිගත් මූලිකයෙක් ලෙස.

එසේ වුවත් ඔහුගේ දේශපාලන උරුමය ඒ මගින් පමණක් තේරුම් ගත නොහැකි බව තමයි මගේ අදහස. අපකීර්තිමත් ලෙස ඉතිහාසයට එක් වී ඇති ධර්මසිරි ගේ දේශපාලන උරුමය යලි විභාග කිරීම මා සිතන ආකාරයට 1980 දශකයේ තරුණ දේශපාලනයේ එක් පාර්ශවයක් වෙත අලෝකය විහිදුවන සාකච්ඡාවක් විය හැකි බව මගේ අදහසයි.

ධර්මසිරි ඉපදී හැදී වැඩුනේ බොරැල්ල කොටා පාරේ දුම්රිය පොළ අසල ඇති නාගරික පැල්පත් නිවාසයක අන්ත දුගී පවුලක. නමුත් අවුරුදු 25 දී පමණ, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවෙක් වූ ඔහු ඝාතනයට ලක්වූයේ අතිශය බලපෑම් සහිත තරුණ දේශපාලන ක්‍රියාධරයෙක් ලෙසයි.

1988 සහ 1989 දී පැවැති මැතිවරණ වල දී ඔහු එක්සත් සමාජවාදී පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතාම වැදගත් නායකයෙක් වී සිටියා. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂ වල ජේෂ්ඨ නායකයින්ට පවා ඔහු පිළිබඳ විශාල ගෞරවයක් තිබුණා. ඉතාම තියුණු දේශපාලන ඥානයකින් සමන්විත වූ ඔහු ඔහුගේ ජීවවිද්‍යාත්මක වයසට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටි අයෙක් බව වසර පහක් පමණ ඹහු කිට්ටුවෙන් ඇසුරු කළ අයෙක් ලෙස මට කිව හැකියි.

මගේ මිතුරන් කීප දෙනෙකුගේ ඉල්ලීම පරිදි මා කේ එල් ධර්මසිරි සහ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලන කාර්යභාරය පිළිබදව සටහන් කීපයක් ලිවීමට බලා පොරොත්තුවෙනවා. මේ සටහන් ධර්මසිරි සහෝදරයා පිළිබද මතකය වෙනුවෙන් කැප කිරීමට මම කැමතියි.

-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි-

Social Sharing
නවතම විශේෂාංග