සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)

“අපගේ ශාස්ත්‍රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි”

ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතාවයන් කැන්වසයක් මත සටහන් කිරීමේ නිර්මාණාත්මක හැකියාව චිත්‍ර ශිල්පියෙකුට ඇත. චිත්‍රයක විෂය වස්තුව Subject Matter කැන්වසයක් මත චිත්‍රරණය කරන්න කලින් එම ශිල්පියාගේ මානසික  චර්යා ස්වභාවය Race Psychology තම මනසෙහි ප්‍රථමයෙන් සටහන් වේ. තම මනස තුළ එය සටහන් වෙන්න නම්, පින්සලට ඔබ්බෙන් ඇති සංකල්ප ලෝකයක්, එහෙමත් නැතිනම් කතිකා ලෝකයක් සමාජය තුළ තිබිය යුතුයි කියන කාරණය නූතන ලෝකය විසින් පිළිගන්නා වූ කාරණයක්. සංකල්ප ලෝකයට කලින් ආදී මානවයා සොබාදහම අනෙකා කරගෙන ගුහා තුළ චිත්‍ර සටහන් කල යුගයට සොබා සිද්ධාන්ත Ecofact යනුවෙන්ද, සංකල්ප ලෝකය අනෙකා කරගෙන ගොඩ නැගුණු චිත්‍ර කලාව, කලාත්මක සිද්ධාන්ත Artefact යනුවෙන්ද, කොටස් දෙකකට බෙදුණු අතර, චිත්‍ර කලාව අන්තර් විනිවිඳීමේ නව අවධියක් නිර්මාණය විය. මෙම නව භාෂාත්මක විවරණය ලෝකය පුරා ව්‍යාප්ත වෙනවාත් සමග චිත්‍ර කලාවේ විවිධ ශානරයන් ලෝකය පුරා බිහි වුන අතර, ඒ අතරින් William Adolpe Bougureau,  Natale Schiavouni,  William Etty, Sebastiano Ricci,  Guido Reni,  Tiziano Vecelli, Theodore Chasseriau, සහ Alexander Cabanel වගේ සංකීර්ණ නිර්මාණාත්මක චිත්‍ර ශිල්පීන් බොහොමයක් බිහිවිය,

William Adolpe ගේ “Nymphomania” කියන මෙම සිතුවම ස්ත්‍රී විෂයෙහි මනරම් ශෘංගාරාත්මක Erotic අවිඥානික ආශාව ගැන කියවෙන ඉතාමත්ම නිර්මාණාත්මක සිතුවමකි. දෙවඟනක් බඳු ලිංගික උපයාශීලී ස්ත්‍රීන් Nymphet තමන්ගේ ලිංගිකාශාවන් සංතර්පණය කර ගැනීම සඳහා පිරිමින්ව බලහත්කාරයෙන් රැගෙන යාම මනෝවිශ්ලේෂණය තුළ හැඳින්වෙන්නේ “සුරතෝත්මාදය” කියයි. එවැනි ස්ත්‍රීන් බොහෝ විට කරන්නේ තමන්ගේ ශරීරය Figure ප්‍රේම නිමිත්තක් ලෙස Valencia මේ සඳහා යොදා ගැනීමයි.

මෙවැනි නිර්මාණශීලී සංකීර්ණ සිතුවමක් කැන්වසයක් මත ජීවමාන කරන්න නම්, ශිල්පියාගේ අවිඥානික භාෂා ව්‍යුහය හරහා තමන්ගේ මානසික ලෝකය තුළ ගොඩ නැගී තිබිය යුතුය. ඒ නිසා චිත්‍ර ශිල්පියාගේ අත පමණක් නොව, සංකල්පීය චින්තන ලෝකයත් අත සමග බැඳී තිබිය යුතුය. එවිට පමණයි චිත්‍රයක් අභියස සිට ගන්නාට චිත්‍රය දාර්ශනිකව කියවා ගත හැකි වෙන්නේ. ඉතිං, අපගේ ශාස්ත්‍රාලීය ආයතන තුලින් නම් William Adolpe වගේ සංකීර්ණ නිර්මාණාත්මක දෘශ්‍ය කලා ශිල්පීන් බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විශ්වාසයි.

සාලිය ඉඳුරුවිතාන

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග