ආගම අරගලය සහ ජීවන්ත පියනම

-කේ. සංජීව-

මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා.

අරගලයේ අපේ සහෝදරවරු මාධ්‍ය අමතන ගොඩක් තැන්වලින් අපිට ජීවන්ත පියතුමාගේ ජීවිය පෙනෙනවා. ඒ හඬ උස්ව ඇහෙනවා. දැන් දැන් ජීවන්‍ත පියතුමා ඉලක්ක කරලා යම් යම් දේවල් වෙනවා කියලා පේනවා. ගොඩක් අය ආගම්වාදී නැඹුරුවක් අස්සේ මේ මැදිහත්වීම ගැන කතාකරනවා. බෞද්ධයෝ විතරක් නෙවෙයි කතෝලිකයෝත් ඒ කතාකාරයෝ අස්සේ ඉන්නවා. රනිලාගමනය එක්ක අරගලයට කතෝලික පාටක් තවරන්න යම් කිසි පිරිසක් උත්සාහ කරන බවක් පේනවා. මේක පල්ලියේ වැඩක් කියලා පෙන්වීම සිංහල බෞද්ධයන් අරගලයෙන් දුරස්ථකරන්න හොඳ කෙමනක්.

Fr. Jeewantha Peiris

ඇත්තටම අපේ මිනිස්සු රාජපක්ෂලා පන්නන්න ඉස්සරහට ආවේ මේ පෝලිම් සංස්කෘතිය නිසා. කන්න හිඟ වුණ නිසා. මෙහෙම ගියොත් කන්න ටිකත් නැති වෙයි කියලා බය වුණ නිසා. එහෙම නැතුව විශාල චින්තන වෙනසක් තවමත් අපේ සමාජය අස්සේ දකින්න නෑ. ඒනිසා ජීවන්ත පියතුමා ගේ අරගල ක්‍රියාකාරීත්වය සිංහල බෞද්ධ ජනයා අස්සේ සැකය වවන්න ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන්. ඒක දැනටත් සිද්ධ වෙලා තිබෙනවා. අපේ යාළුවෝ පවා සමහර විට මේ පූජක මැදහත්වීම ආගම්වාදී ඇහැකින් දකින්න පෙලබිලා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ හීන් නූලේ ගේම්කාරයෙක්. එල්ටීටීඊ සංවිධානය දෙකඩ කරන්න ඔහු ගහපු ගැට අපිට අමතක වෙන්න විදිහක් නෑ. ඒනිසා ජීවන්ත පියතුමා පාවිච්චි කරලා අරගලය සිංහල බෞද්ධ විරෝධී කියන  මතය හදන්න පුලුවන්. මේ සමාජයේ තවම ඒකට සරු පසක් තිබෙනවා. ඒනිසා අපි හැවෝම ඒගැන වඩා හිතන්න අවශ්‍යයි.

අනෙක් පැත්තෙන් මේකත් කියන්න ඕනෑ. මගේ පුද්ගලික මතයනම් දේශපාලනය සහ ආගම වෙන් වෙන්න ඕනෑ. ඒ දෙක අතර අගාධමය පරතරයක් හදන්න අවශ්‍යයි. ආදරය ගැන මනුස්‍යත්වය ගැන පූජකයෝ භික්ෂූන් මව්ලවිලා බන දේශනා කළාට කමක්නෑ ඒත් රාජ්‍ය පාලනයට ඔවුන් මැදිහත් වෙන එක ගැන මගේ කැමැත්තක් නෑ. ඒ අර්ථයෙන් ජීවන්ත පියතුමා දැන් තමන්ගේ සීමාව අතික්‍රමනය කරලා කියලත් මට වෙලාවකට හිතෙනවා. ගල්කන්දේ හාමුදුරුවෝ සමග මුල් කාලේ මේ පියතුමා කරපු මැදිහත්වීම ඒක ආදරය සහ ප්‍රේමය වෙනුවෙන් කළ මැදිහත් වීමක්.

ඒනිසා දැන් යටිගිරියෙන් කෑගහන ජීවන්ත පියතුමාට මගේ හිතේ එතරම් ඉඩක් නෑ. මට හිතෙන්නේ ජීවන්ත පියතුමා මේ වෙනකොට ආගමික නායකයෙක් විදිහට මැදිහත් වෙන්න ඕනී සීමා ඉර පැනලා මේ වෙනකොට සක්‍රීය දේශපාලකයෙක් කියන තැනට ඇවිත්. මම හිතන්නේ පියතුමා වුණත් ඒක හිතනවානම් හොඳයි.

එක එක සංඝ සංවිධාන අටවගෙන අරගලය පෙන්වමින් දේශපාලකයන් එක්ක සාකච්ඡාවට යමින් දේශපාලනය කරන බෞද්ධ භික්ෂූන්ට වගේම මම මේ කතෝලික පූජක දේශපාලනයටත් විරුද්ධයි.

පල්ලිය සහ පන්සල රාජ්‍ය පාලනයට කොච්චර අතපොවනවද කියලා අපි දන්නවා. ඒ තත්ත්වය අස්සේ ආගම රාජ්‍යයෙන් වෙන් කරන්න කතාකරන මම වගේ කෙනෙක් පිස්සෙක් වෙන්න පුලුවන්. කොහොමවුණත් මම නම් කැමතී ආගම රාජ්‍යයෙන් වෙන් වෙනවා නම්. එහෙම රාජ්‍යයන් ලෝකේ තියෙනවද කියලා කියන්න මම දන්නේ නෑ. ඒත් මම  කැමතී ආගම සහ රාජ්‍ය වෙන් වෙනවානම්. ඒ අර්ථයෙන් මම මගේ මිත්‍රයෙක් වෙන ජීවන්ත පියතුමාගේ වර්තමාන මැදිහත්වීම දිහා බලන්නේ ප්‍රසන්න හැඟීමකින් නෙවෙයි.

ඒ අර්ථයෙන් මම ජීවන්ත පියතුමාගේ මැදිහත්වීමට වඩා ගල්කන්දේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමට කැමතියි. හැබැයි ඒ මම බෞද්ධ නිසානම් නෙවෙයි.

කොහොම වුණත් ජීවන්ත පියතුමාට තමන් කැමති විදිහට අරගලයට දායක වෙන්න එහි වැඩවසන්න තිබෙන අයිතිය මම පිළිගන්නවා. ඒකත් එක්ක මට කිසිම අරෝවක් නැතිබවත් කියන්නම ඕනී…!

Fr. Jeewantha Peiris

Social Sharing
නවතම විශේෂාංග