1982 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලද මාකේස් ඒ වසරේදීම තවත් විශිෂ්ට කෘතියක් ලීවේ ය. එහි නම වූයේ Chronicle of a death foretold යන්න හෙවත් කල්තියා දැනුම් දුන් මරණයක කතාන්දරය යන්නයි. මෙය ‘කරුමක්කාර කතාවක්‘ ලෙස ගාමිණි වියන්ගොඩයන් අතින් පරිවර්තනය වන්නේ 1990 වසර තරම් ඈතකදී ය. කතාවට පාදක වන්නේ සන්තියාගේ නසාර් නම් තරුණයෙකු මරා දමන විකාරියා නම් නිවුන් සොහොයුරන් දෙදෙනකෙු ගේ කතාවයි. කතාවට අනුව විකාරියෝ සහදෙරයන් විසින් සන්තියාගේ නසාර්ව මරණ බව මුළු ගමම දනී. එහෙත් කිසිවෙකු එය සන්තියාගෝට කියන්නේ නැත. කිසිවෙකු එය නවත්තන්නට උත්සාහ කරන්නේද නැත. තම පුත්‍රයා නිවස තුළ සිටිතැයි සිතන සන්තියාගෝගේ මව ඈතින් එන ඝාතකයන් දැක නිවසේ දොර වසයි. අවසානයේදී නසාර් සිය නිවස ඉදිරිපිටදීම මැරුම් කයි. මාකේස් මේ හරහා ලතින් ඇමරිකානු සමාජය තියුණු විවේචනයකට ලක් කරයි. විශේෂයෙන් ඝාතනයක් නවත්වා ගන්නට උපරිම හැකියාව තිබියදී එය සිදුවන්නට දීම කවර නම් හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ට කළ හැකිද? දැන් ලතින් ඇමරිකාව ගැන මෙසේ කියද්දී අපි හොඳ මිනිසුන් වේද? නැත.
ඊයේද තෙල් පෝලිමක මරණයක් සිදුව තිබේ. දැන් එවැනි මරණ 15 ද ඉක්මවා ඇත. මේවාද කල් තියා දැනුම් දුන් මරණ ය. නැතිනම් ඝාතනයන් ය. එහෙත් ඒවා සිදුවන බව දැන දැනම අපි ඒවා අමතක කර වැඩ කරන්නේ අර නසාර් ගේ ගමේ මිනිසුන් වගේම ය. ඒවා ගැන වද වෙනවා වෙනුවට අපට ඇත්තේ මැච් එකට කහ ඇඳන් යනවා වැනි බොළඳ විහිළු ය. නැතිනම් ගෙදරදීම සියල්ල හදාගන්නවා කියන මනෝ විකර ය. ඉතින් මේ මරණ වළක්වා ගන්නට බැරිවුන පුරවැසියන් ලෙස අප ඒ ජීවිතවලට වගකියන්නේ කෙසේද? තමන් සුරක්ෂිත නිසා ඇස් කන් පියා හිඳ තමන්ට ඒ දවස එළඹෙන විට කෑ ගසා ඵලක් නැත. කරුමක්කාර දේශයක මෙය තවත් කරුමක්කාර කතාවක් වන්නට ඉඩ දෙන්නේ නම් ඔබ මිනිස්කමට සුදුසුද යන්න සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.
රෂ්මික මණ්ඩාවල
උපුටාගැනීම : ෆේස්බුක්