රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ “BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති” බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම් සම්බන්ධයෙන් මෝදි ආන්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ සිකුරාදා (10 ) කෝප් කමිටු ඉදිරියේ පවසා සිටියේ  මන්නාරම් සුලං බල ව්‍යාපෘතිය ගෞතම් අදානිගේ කණ්ඩායමට ලබා දෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරනය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට පැවසූ බවයි. නමුත් පසුව ඔහු එම කතාව ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළේ තමන් විඩාවෙන් සහ පීඩනයෙන් පෙළීම නිසා එවැනි කතාවක් සිදු කර ඇති බවට පවසමිනි.

එසේම ඔහුගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු විභාගයේදී  ලං.වි.ම සභාපතිවරයා කළ ප්‍රකාශය මම තරයේ ප්‍රතික්ෂේප කරමි.  මේ සම්බන්ධයෙන් වගකිවයුතු සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.” යන්නයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළා යයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශයක් කර එය ඉල්ලා අස්කර ගත්තේ කිසිවකුගේ හෝ බලපෑමකින් විය යුතු බව විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කර ඇත.

Social Sharing
නවතම විදෙස්