ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 65,000ක් ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පැවසීය.

ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කරන ලද මෙම පොහොර තොගය දැනට අපේ රටේ ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සලකා බලා මෙරටට ලබා දීමට තීරණය කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති විදේශ ආධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමතිවරයා මෙසේ පැවසීය.

මෙම පොහොර තොගය ලැබුණු වහා ම ඒවා ගොවි ජනතාවට බෙදාහැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමාත්‍යශයට අයත් ජාතික පොහොර ලේකම් ‍කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු ජාලය මගින් ‍ගොවිජන මධ්‍යස්ථාන හරහා ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මෙම යූරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ සම්බන්ධව ගොවිජන නියෝජිතයන් හා නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී එකඟත්වය පළ කළ බව ත් අමාත්‍ය මණ්ඩලය වෙත එම මිල ගණන් ඉදිරිපත් කළ විට ඊට කිසිවෙක් විරුද්ධත්වය පළ නොකළ බවත් හෙතෙම එහිදී පැවසීය.

මෙම පොහොර තොගය යල් කන්නයේ වී වගා කරන ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

එහෙත් අම්පාර වැනි ඇතැම් ප්‍රදේශවල ගොවීන් මේ වනවිට අස්වනු නෙළන බැවින් ඔවුන්ට මෙම යූරියා පොහොරවලින් ප්‍රයෝජනයක් නොවන බවත් දැනට වගා කටයුතු ආරම්භ කර ඇති හා පැළ ගොයම සහිත කුඹුරු සඳහා යූරියා පොහොර යෙදීම මගින් ඉළක්ක ගත අස්වැන්න ඉහළ නංවාගත හැකි බවත් කෘෂිකර්ම ඇමතිවරයා අවධාරණය කළේ ය.

( මව්බිම )

Social Sharing
නවතම