– රෂ්මික මණ්ඬාවල –
අසහාරා කියවා ටික දවසක් වුවද ඒ ගැන සටහනක් තබන්නට කල් ගත විය. ඉමේෂ් මධුශංක ලේඛකයා පළමුව දැන හඳුනාගන්නේ ඔහුගේ 1925 කෘතිය හරහා ය. අසහාරා පොත Conspiracy (කුමන්ත්‍රණකාරී) Thriller කාණ්ඩයට ලා සැලකිය හැකි කෘතියක් වුවද, එහි ඉන් එහා ගිය යමක් ද තිබේ. බොහෝවිට මෙම ශානර වෙන්කිරීමට මගේ කැමැත්තක් නැතිවුවද, ලේඛකයන්, විචාරකයන් විසින් මෙන්ම ප්‍රකාශකයන් විසින් ශානර වෙන්කිරීමක් කරනු දැකිය හැකි ය. සැබවින්ම නම් සාහිත්‍යයට ශානර භේදයක් අවශ්‍ය නැත. නමුත් අලෙවිකරණ උපක්‍රමයක් ලෙසද මෙම ශානර වෙන්කිරීම ලෝකය පුරා සිදුවෙයි. ලෝකයේ වැඩිම පාඨක ප්‍රමාණයක් සිටින්නේ ත්‍රාසජනක, අභිරස්, රහස් පරීක්ෂක නවකතාවලට බව සත්‍යයකි.
ඔල්ගා ගේ මරණයේ රළ නැගුම පවා ශානර ගත කළහොත් වැටෙන්නේ Crime Thriller හෝ Psychological Thriller ශානරයට ය. ඔල්ගා වරක් පවසන්නේ, යම් කෘතියක් උසස් කෘතියක් වීමට එම කෘතිය අදාළ ශානරයේ හොඳම කෘතියක් වීමට අවශ්‍ය නැති බව ය. මෑතකදී කියවූ සුළඟේ සෙවණැල්ල කෘතිය ද ත්‍රාසජනක, රහස් පරීක්ෂක ශානරයේ කෘතියක් ලෙස ද ගත හැකි ය. කුමක් වුවද සාහිත්‍යය කෘතියක වැදගත්ම අංගයක් වනුයේ කුතුහලයයි. පාඨකයා ඇඳ බැද තබාගන්නට කුතුහලය නැතිනම් Curiosity යන කාරණය ඉතා වැදගත් වේ. සැබවින්ම නම් කතන්දරය යනු සීනි බෝලයකි. අප අත්විඳින සමාජය දැඩි තිත්ත බවකින් යුතු එකකි. ඒ තිත්ත කෙළින්ම නොකියා කතන්දරය නැමැති සීනි බෝලයේ දවටා දීම සාහිත්‍යයේදී කෙරෙණ ප්‍රධාන මෙහෙයකි. සමාජ ප්‍රශ්නයක් කෙළින්ම කියනවාට වඩා හොඳ කතාවකින් කියවන්නට අපට පුළුවන. අතීතයේ කටින් කතන්දර කියූ යුගයේ සිට මෙය අද දක්වාම වලංගු ය.
අසහාරා කෘතියට පාදක වන්නේ 1995 මාර්තු මාසයේදී ජපානයේ උමං දුම්රිය මාර්ගයක සිදුකළ සරින් ගෑස් ප්‍රහාරයේ නව උපකල්පිතයකි. මෙම සිදුවීමට මුහුණදුන් පිරිසගේ අත්දැකීම් ඇසුරින් හරුකි මුරකමි Underground නම් කෘතියක් ලියුවේ ය. ජපානයේ එම ප්‍රහාරය මෙහෙයවූයේ Aum Shinrikyo නම් ආගමික නිකායේ ෂෝකෝ අසහාරා නම් නායකයා ය. 2018 වසරේ ජූලි 06 වෙනිදා ඔහුව එල්ලා මරා දමන ලදී. ඉමේෂ් තම අසහාරා කෘතිය හරහා ගෙන එන්නට උත්සාහ කරන්නේ එහි දිගුවකි. 1995 දී පසුබැස ගිය ආගමික කල්ලියක් විසින් මෑතක ලංකාව තුළ ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකි. අතීත සිදුවීමක් ඇසුරින් නව උපකල්පනයකට යන ඉමේෂ් එහිදී සාර්ථක ය. ඔහු තම කෘතිය ලියන්නට මනා අධ්‍යනයක නිරත වී ඇති බව පැහැදිලි ය. කතාව ගලායන්නේ ජපන් ජාතික රසායන විද්‍යාඥයෙකුගේ මළ සිරුරක් අභිරස් ලෙස කැළෑවක තිබී සොයාගැනීමෙනි. එම මරණය පිටුපස හඹා යන විශේෂ ඒකක කණ්ඩායමේ රංග නම් වූ නිලධාරියා ප්‍රධාන කරගෙන කතාව දිවෙයි. කෘතිය පුරා කුතුහලය තබාගන්නට කතුවරයා සමත්කම් දක්වයි. කුතුහලය පවත්වා ගන්නට වැදගත් වන්නේ තමන් කිව යුතු දේ අවශ්‍ය ප්‍රමාණයට කීමේ හැකියාවයි. එය අඩු හෝ වැඩි වන්නට බැරි ය. එය බොහෝ තැන් හි සාර්ථකව කර ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි ය.
1925 හා සැසඳීමේදී කතුවරයා ඉදිරි පිම්මක් තබා ඇති බව පැහැදිලිය. එසේම කිව යුතු කාරණය නම්, හුදෙක්ම ත්‍රාසජනක ශානරයේ පොතක් ලියන්නට ඉලක්ක කිරීමට වඩා යම් වෙනසක් කිරීමේ හැකියාව මේ කතාව තුළ කතුවරයාට තිබූ බව ය. මෙම සිදුවීම් මාලාවට මුහුණ දෙන චරිතවල ඇතුළාන්තය හඹා යන්නට කතුවරයා තව ටිකක් උත්සාහ කළා නම් එය තවත් සුවිශේෂි වන බව නොකියා බැරි ය. පොතේ කියවෙන හැටියට මෙම කල්ලියට රටේ ඉහළ තැන්වල පවා සාමාජිකයෝ සිටිති. මෙවැනි ආගමික නිකායකට බැඳෙන්නට මිනිසුන් පොළඹවන්නේ කුමක්ද යන කාරණය කෘතිය හරහා සාකච්ඡා කළ හැකිව තිබුණැයි මට සිතේ. යම් පමණකට ඔහු මේ චරිතවල ස්වභාවයන් නිර්මාණය වන ආකාරය ගෙන එයි. එමෙන්ම මෙවැනි සිදුවීමකදී දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වීම ගැනත් සියුම් කතිකා තිබේ. කෙසේ වුවද එක පොතක සියල්ල බහාලන්නට බැහැ යැයි තර්ක කළ හැකි ය. එහෙත් එසේ කළ පොත් ලෝකයේ ඇතිතරම් ඇත. මේ සියල්ල කීවේ මේ පොත තවත් ඉහළින් තැබීමට මගේ ඇති කැමැත්ත නිසා ය. ඉතින් ඉමේෂ් නම් ලේඛකයාට තවත් අලුත් නිර්මාණයකින් අප හමුවන්නට, මේ පවතින තත්වය සමනය වී ඉඩ ලැබේවා යන්න මගේ පැතුමයි.
උපුටාගැනීම : ෆේස්බුක්