20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි

ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරිකයන් ගණනාවක් විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද පෙනී යන බව සඳහන් කරන එම නිවේදනය ‘තම රටේ පුරවැසියන් මානව ඛේදවාචකයකින් ගලවා ගැනීම ජනාධිපතිවරයාගේද අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයේ සහ ආණ්ඩුවේද, විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ සියළු මන්ත්‍රීන්ගේද අත්හළ නොහැකි වගකීමක් බව ප්‍රකාශ කරයි.

“ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දුන් ව්‍යසනයට සම්පූර්ණයෙන් හේතු වූයේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලවත් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයයි. ගාලු මුවදොර අරගල භුමියේ මෙන්ම රට පුරාමත් තරුණයන් මුල් කරගෙන ඉදිරියට ආ මහජන විරෝධතාවයන්හි ප්‍රධානතම සටන් පාඨය වූයේ මෙම අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් විය යුතුයි යන්නයි. උද්ඝෝෂණ තීව්‍ර වී, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයටම ඉල්ලා අස්වීමට සිදු වූ පසුබිමක පසුගිය මැයි මස 11 ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරමින් 19වන සංශෝධනයේ ප්‍රතිපාදන නැවත බලාත්මක කිරීමට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ආන්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, නිශ්චිත කාල සීමාවක් තුළ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා සාකච්ඡා කරන බවත්ය.

“අර්බුදයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා විසින් නව අගමැති ලෙස පත් කළ රනිල් වික්‍රමසිංහද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරමින් 21 වන සංශෝධනය සම්මත කර ගන්නා බවයි. මෙම සිදුවීමෙන් මාසයකට ආසන්න කාලයක් ගතවුවද, 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමද දිනෙන් දින පමා වන බව පෙනෙයි. මෙය මේ මොහොතේ වර්ධනය වී ඇති ජනතා මතයට සම්පූර්ණයෙන්පිම පිටුපෑමක් මෙන්ම කඩිනමින් විසදා ගත යුතු ආර්ථික අර්බුදය විසදීමට අත්‍යවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය උදා කිරීම පැහැර හැරීමක් බව අපගේ නිරීක්ෂණයයි.

“පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරන, ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු වන ආකාරයෙන් යෝජිත 21 වන සංශෝධනය සම්මත කිරීම මගින් ඇති වන ප්‍රජාතන්ත්‍රවාදී සංඥාවන් උදා වන දේශපාලන ස්ථාවරභාවයත් ආර්ථික ව්‍යසනය විසඳාගැනීමට අවශ්‍ය ජාතික සහ ජාත්‍යන්තර සහය සදහා අත්‍යවශ්‍යය. එවැනි දේශපාලන ප්‍රතිසංස්කරණයකට යොමු නොවුණහොත් ජාත්‍යන්තර වශයෙන් ලබා ගත හැකි ආර්ථික සහයන් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකාව ඉතා සීග්‍රයෙන් මානව ඛේදවාචකයක් වෙත යොමු වීම වැළැක්විය නොහැකි බව අපේ නිරීක්ෂණයයි. ” යනුවෙන් මෙම නිවේදනය වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් වශයෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්.ඩබ්. සිරිල්, අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය ඉන්දි අකුරුගොඩ, වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ, ඉංජිනේරු කීර්ති ගොඩිගමුව, ඉංජිනේරු ගාමිණී රාමවික්‍රම. නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, නීතිඥ ජානක එදිරිසිංහ, නීතිඥ දුලාන් දසනායක, මාධ්‍යවේදීන් වන සී.ජේ අමරතුංග, අජිත් පැරකුම් ජයසිංහ, සම්පත් සමරකෝන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන පිලිප් දිසානායක, හර්ෂ ගුණසේන, අමිතා ප්‍රියන්ති, සරත් අබේසිංහ, සුරේෂ් නඩේසන්, ඥාණවීර දිසානායක, නිමල් දිසානායක ඇතුළු පිරිසක් ද, සිවිල් සමාජ සංවිධාන ලෙස ‘අලුත් කතාබහ’ සංවිධානය, අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ, ශ්‍රී ලංකා රජයේ ආර්යුවේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය, රයිට්ස් නව් සාමුහිකය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික විශ්‍රාමික ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, බදුල්ල ඌව ශක්ති පදනම , අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව, රත්නපුර ප්‍රජා සංවර්ධන පදනම ඇතුළු සංවිධාන ගණනාවක්ද මෙම නිවේදනයට අත්සන් තබා ඇත.

Social Sharing
නවතම විශේෂාංග