කිසිම කාලෙක මෙහෙම සහල් ආනයනය කරලා නෑ

කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙලෙස මෙරටට සහල් ආනයනය කර නැති බව ක්ෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදි බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම සහල් පිටරටින් ආනයනය කර තිබෙන බවත් ප්‍රකාශ කරන අමාත්‍යවරයා 2022 ජනවාරි මාසයේ සිට මැයි මාසයේ 15 දින දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 338,737ක් බව ප්‍රකාශ කරයි.

මෙම සහල් ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 92ක් නැතහොත් රුපියල් මිලියන 34,392ක් වැය කර තිබෙන බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම සහල් ප්‍රමාණයෙන් 97%ක්ම ආනයනය කර තිබෙන්නේ ඉන්දියාවෙන් බවය.

රටේ ගොවි ජනතාවට පොහොර ලබාදිම සඳහා වැය වෙන්නේ ඩොලර් මිලියන 105ක් බවද එහෙත් සහල් ආනයනය සඳහා මාස 06කට ඩොලර් මිලියන 95ක් වැයකර ඇති බවත් ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඊළඟ මාස 06ටත් මෙවැනිම මුදලක් වැය කිරීමට සිදුවෙන බවත් ඒ අනුව අඩුම තරමේ ඩොලර් මිලියන 200ක්වත් අපට සහල් ආනයනය සඳහා අවශ්‍ය වෙන බවත් ප්‍රකාශ කරයි.

එම මුදල යූරියා, MOP, TSP, SSP වැනි සියලුම පොහොර වර්ග ආනයනය සඳහා ප්‍රමාණවත් බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඉදිරි කාලය සඳහා මහජනතාවගේ පරිභෝජනයට තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කවත් අවශ්‍යතාවයක් තිබෙන බව අවධාරණය කරයි.

ඉන්දියාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලැබුණු පසු යල කන්නයේ ඇතැම් කුඹුරු සඳහා ලබාදීමේ හැකියාව තිබෙන බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා ආහාර අර්බුදයට මුහුන දීම සඳහා බෝග වර්ග 13ක් වගා කිරීම හඳුන්වා දී ඇති බවත් ආහාර අර්බුදයට මුහුණ දිමට ඇති එකම විසඳුම සෑම ගෙවත්තකම කුමන හෝ ආහාර බෝගයක් වගා කිරීම බවත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්