කෝප් කෝපා විපක්ෂෙට

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනෙකුත් විපක්ෂයේ පක්ෂ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවන් පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුගිය 7 දා මෙම එකඟතාවන් ඇති කරගෙන ඇත.

පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සාමාජිකයයෙක් අනුගාමී රැස්වීම් තුනකට සහභාගි නොවුණහොත් ඔහු හෝ ඇය එම කාරක සභාව හැරගියා සේ සැලකීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරන්නද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා) සහ මහජන පෙත්සම් කාරක සභාවේ බලතල වැඩි කිරීම සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන රජය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ස්ථාවර නියෝග සංශෝධන කිරීමේ කෙටුම්පතට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී (පක්ෂ නායක රැස්වීම) එකඟතාව ලැබී ඇති බවද වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්