දෙදෙනෙකුගේ වේදනාව සම වූ තැන..!

දැනට සිටින පරපුරත් මතු උපදින පරපුරත් භෞතිකව ඝාතනය කළ නොහැකි තැන දී බුද්ධි හීන මිනිසුන් බිහිකරමින්, තවත් මනුෂ්‍ය කාණ්ඩයක් සමඟ නපුර ඇතිකරවමින්, වාසි ලබාගනිමින් රට අරාජික කරනු සඳහා අතීතයේ පටන් පාලකයන් අනුදත් ක්‍රමය වූයේ සමූහ වසයෙන් පොත් ගිනිලෑමයි. පොත් කියවීමෙන් ම පමණක් සහබුද්ධිය සහකම්පනය ඇතිවන්නේ නැති බව සැබැවි. එහෙත් ‘පොත් සංස්කෘතියෙ’ න් ඊට යායුතු මූලිකය හෝ ඉටු වේ. නගරයක, සරසවියක පොදු පුස්තකාල පරිහරණය කළ පරම්පරාවල ඇතැම් මිනිස්සු තම තමන්ගේ නිවාසවල ද පෞද්ගලික කුඩා පුස්තකාල සාදාගත්තෝය. ඔවුන් සතු වත්කම එය විය. පොදු පුස්තකාලයක සිට පෞද්ගලික පුස්තකාලයක් දක්වා පැමිණීම ගැන කළ සාධනීය අදහසක් ජනක ඉනිමංකඩ තම මුහුණුපොතේ පළ කළ සටහනකින් උපුටාගෙන පහතින් දක්වමි.

“අපි පොත් එකතු කරන්නේ ඇයි?

අපි අද ජීවත් වන්නේ සාමූහික සමාජයක නෙමෙයි. නමුත් අපි දන්න අතීත සමාජයන් තුළ එවැනි සාමූහික ස්වභාවයක් පැවතුණා. අද පවතින සමාජ ස්වභාවය ඊට හාත්පසින්ම වෙනස්. මනුෂ්‍යයා මනුෂ්‍යත්වය වෙත බැඳෙන සමාජයක් වෙනුවට මනුෂ්‍යයා මනුෂ්‍යාගෙන් වෙන් කරපු සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. එහි අනිවාර්‍ය තත්ත්වය සාමූහික සිතීම අප කෙරෙන් බැහැර වීම. එවැනි තත්ත්වයන් තුළ මනුෂ්‍යාට තමන් වෙනුවෙන් පැවතෙන්නට පුද්ගලික ධනය අත්පත් කරගන්න සිද්ධ වෙනවා. ‘දැනුම’ ඒ අතරින් ප්‍රධානයි. දැනීම පුද්ගලික ධනයක් බවට පත්වන සීමාව තුළදී දැනුම තනි තනිව එක්‍ ‍රැස් කර ගන්න සිද්ධ වෙනවා. එවිට දැනුම ගබඩා වී ඇති ප්‍රධාන මෙවලම වන පොත පත අපි අපේ කර ගන්නවා. පෞද්ගලික පුස්තකාල බිහි වන්නේ මේ තත්ත්වය තුළයි”

සුනිල් විජේසිරිවර්ධන. උපුටාගැනීම අවසන්.

‍රටක් සතු පොදු පුස්තකාල රටේ සංස්කෘතිය, බුද්ධි ප්‍රවාහය නියෝජනය කරන්න වස්තූන්‍ ය. එබැවින් අතීතයේ දී දේශපාලනික බල ප්‍රයෝජන වෙනුවෙන්, ජාතීන් බිඳවනු සඳහා ඒ ගිනිතැබූයේ උතුරේ විසූ සියලු මිනිසුන් සතු සංස්කෘතික නියෝජනයකට ය. පුස්තකාලයක් ගිනිලෑම යනු සාතිශය ලෙස ම පාලකයන්ගේ අසමත්කමට නිදසුනකි. දේශපාලනික ඛේදවාචකයකි.

සඳරැසී සුදුසිංහ පළකරන ලද “ගිනිවැදුණු පියාපත්” යාපනේ සරසවිය ගිනිබත්කිරීම පිළිබඳව කළ ශාස්ත්‍රීය අධ්‍යයනයකි. මේ ඉතිහාසයට අදාළ සිංහල, දෙමළ කෘතිවල පරිවර්තන, ඉංග්‍රීසි බසැති කෘති සොයා යාමත්, ලෝකයේත් ලංකාවේත් පොත් ගිනි තැබූ ඉතිහාසය කියැවීමත්, ඒ අරබයා බිහි වූ සාහිත්‍යය අධ්‍යයනයත්, මේ සියල්ල නිර්මාණශීලී කවි ගොමුවක බහාලා සහෘදයා වෙත ඉදිරිපත් කිරීමත් නිසා, ඉතිහාස පුවතක් වුවත් හුදු වාර්තා ස්වරූපයෙන් මිදී කියැවීමට අපට ඉඩ ලැබේ.

‘ගිනි වැදුණු පියාපත්’ මැයට අනුගත තැඹිලි වර්ණයෙන් සැකැසුණු පොත් කංචුකය, එක් අතකින් ගින්නද අනෙක් අතින් දමිළ ජනයා ද නියෝජනය කරයි. වැලි රටා ඇදුණු පොළොවක් මැද ගිනි ගන්නා යාපනේ පුස්තකාලය මිරිඟුවක් මෙන් දිය පිරුණු දෑසකින් අපට පෙනෙන්නා සේ(සඳරැසීගේ කවියකින් කියූවොත්, හදිසියේ ඇසේ සුද මතු වී පොත්ගුල දඩබිමක් සේ පෙනීලා)ය. එය වටා විනිවිද පෙනෙන බාහිර රාමුවක් ඇඳ තිබේ.

ශිව දෙවොලක මෙන් ම පන්සලක ද හැසිරෙමින් විලාප නගන, සෝකය පළකරන, වළපින, ආවේගය පළකරන, යුක්තිය ඉල්ලන තැනැත්තියෙක බවට සඳරැසි සිය වේෂය සකසා ගනී. යාපනේ පුස්තකාලය ගිනි ලූවන් ද, එයින් පීඩා විඳි දනන් ද, පීඩාවට පත්වූවන් දෙස බලා එයින් සතුට ලබන්නන් ද, මතු නොව ගින්දර සොයා ගත් ප්‍රාග් ඓතිහාසික මානවයන් ද, ප්‍රොමිතියස් ද සරසවි පුස්තකාලය හා බැඳුණු කුදු මහත් සියලු ම තතු කිවිඳිගේ ග්‍රහණයෙන් නොමිදෙයි. සත්‍යය කට මුලට දී ප්‍රශ්න කරවයි. හෘදවාචී බසින් අමතයි. සෝකාලාප බලවත්ව නැගී එන තැනදී ආවේෂ වෙයි. ඇතැම් තැනක නම්, රිද්මය පීලි පනී.

චූල සාහිත්‍යයේ එන ජන කවි ආරට නෑකම් කියන තාලයක් සහ පද සංඝටනාවක් මෙහි මැදක සිට අවසානය තෙක් ඇති කවිවල දී විශේෂයෙන් දක්නා ලැබේ. පුස්තකාලය බිහිකිරීමේ අදහස හටගත් අය, නිර්මාණය කිරීමේ දී පෙරමුණ ගත් අය, වගකීම් දැරූ අය ගැන කීමේ දී කිවිඳිය සිය බසට තිරිංග තද නොකරයි. එතැන දී වදන් වඩාත් කොසුව මුවහත් වෙයි. සුගම වෙයි. පණ ලබයි. හොඳින් මුසු වෙයි. අවසානයේ අප තුළ ශෝකය ඇති වේ. කරුණ රස උපදී.

ඉහතදී අප සඳහන් කළ ආකාරයේ කවි, කට ඇර හොඳින් ගැයිය හැකි උච්චාරණය කළ හැකි ඒවා ය. යන්තම් කටින් මුණුමුණු ගාමින් හිතින් කියැවීමට වඩා මම ශබ්ද රසයට, රිද්මයට, තාලයට, වැකි කඩ කඩා කීමට කැමැත්තෙක් මි. එබැවින්දෝ “ගිනිවැදුණු පියාපත්” වල සිව්පද කවි කෙරේ වඩාත් රුචි වීමි. තේමාවට සරිලන සුගායනීය, සෝකය දනවන, අවංමගල්‍යයවලදී කියන වෙස්සන්තරේ කවිවල බඳු හැඟීමක් ඒවායේ පාදමේ සිට ගැබ්ව ඇතැයි සිතේ. නමුත්, සිව්පද නොවන තැන්වලදී ද ඇයගේ දක්ෂතා පෙනේ.

‘නාගරික කොමසාරිස් තැනගේ කවිය’, ‘ලෝන්ග් පියතුමාගේ හිස සිඳගැනීම’, ‘පුස්තකාලාධිපතිනියගේ පැමිණීම-වැළපුම’, ‘සැඟවුණු කතාවක්’, ‘අසුර්බනිපාල් තරවටුව’ ඔස්සේ සහෘදයා සෝක ගඟුලක් වෙත ගෙන යන සඳරැසී ‘යාල්පානම් යශෝදරාවත’ ලියා යළි අපව වැළඳගනී. යසෝදරා තල් අරණේ උපන්නේ නම් කියන කවිය මෙසේය.

“ඇතා ලෙසට තල් අරඹේ උපන් එදා
පතා උනිමි නුඹ පාමුල ඉන්න සදා
පෙරුම් පුරා බුදුවෙන්නට නුවණ පුදා
ඊට කලින් අළු කර උන් ගොසින් මෙදා”

සඳරැසී මේ කෘතිය සඳහා අසුරු කළ පොත පත අතර, අප ද කියැවූ පොතක් වෙත් නම් එය, නිලාර් එන්. කාසිම් ලියූ “දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සලකුණ – ජෙයපාලන්” කෘතියයි. දමිළ බස නූගත් අප වන් සහෘදයන්ට සඳරැසී ඒ පොත්වල ද, සුදුර්ලභ ඉංග්‍රීසි පොත් වල ද කරුණු ගෙන එමින් අප තුළ ඇති ඉතිහාස අඳුර දූරින්භූත කර දැමීමට තැත්දරයි. පෙර’පර දෙදිග සාහිත්‍යය දැනකියාගැනීමෙන් උපන් බහුපඨිත බව කවි පොතෙන් යලි යලි හමන්නට වෙයි.

එක ම රටක පවතින සංස්කෘතීන් දෙකක් අතර පරතරය දැක්වීම, වඩා ආකර්ෂණය වැඩි මෙයය යන්නක් කීමට නොයන සඳරැසී ඒ ඒ සංස්කෘතීන් හි වන්දනා ස්ථාන, ඓතිහාසික ස්ථාන සංකේත වෙත යමින්, ඒ සැම එකක් වෙත ම මිත්‍රශීලී සිත යොමමින්, වඩාත් වැදගත් කරුණ ලෙස ඒවායේ ලකුණු එකිනෙක මුසුකරමින් එක් ආගමකට එක් ජාතියකට ආන්තික නොවූ සියලු ජාතීන් ආගම් වෙත පතල ස්නේහයෙන් යුතු පොදු මිනිසෙකු සහෘදයන් අතරින් බිහිකිරීමට තැත්කරයි.

‘යාල්පානම් බුදුන්’ ‘යාල්පානම් දළදාව’, ‘යාල්පානම් සිරීපාද’, ‘යාල්පානම් රුවන්වැලිය, ‘යාල්පානම් මහ බෝධි පාමුල’ වදන් ඊට නිදසුන් ය. පුස්තකාලය පිළිස්සීමෙන් හානි වූයේ උතුරුකරවාසීනට ම නොවේ යැයි සඳරැසී කියන්නේ, සාමා – අමර සේ ම, කන්නගී – කෝවලන් ද මිහිදන් වූ බව කවියට ගනිමිනි. පේරාදෙණිය, කෞතුකාගාර පොත් ගුල සේ යාපනේ සරසවියට ඉන්න ඉඩ නුදුන්නෙ ඇයිදැයි විමසන්නීය. මේ කාව්‍ය සංග්‍රහය පුරා දමිළ ජනතාවට උරුම සංස්කෘතිකාංග සහ වාග් මාලා භාවිතයට ගෙන තිබීම තවත් ලකුණකි.

“තාන් රෙදිපිළි ඇදන් උදයක
තාන් සිතුමන් අතර දලුලන
තාන් තනතුර හිසින් පිළිගෙන
නගර අධිපති අරා අසුනක

තටු ගසන වසන්තෙට පුන්කලස් තියන්නයි
නැණ හිරුගෙ දේවාලේ නගරෙ මැද අඹන්නයි
තේජසින් තේජසට පාවාඩ එලන්නයි
තාන් සුවඳ ම පිරුණු පොත් ගුලක් තනන්නයි”

මේ කව්පෙළින් මෙතරම් හෘදකාමී, සරල, අව්‍යාජ බවක් ගලා එන්නේ කෙසේද? මා විශ්වාස කරන්නේ, මහා කාව්‍ය, වීර කාව්‍ය, බෞද්ධ කාව්‍ය, සන්දේශ කාව්‍ය කියැවීමෙන් කිවිඳිය පුහුණු කරගත් ස්ථාන, පුද්ගල, නගර වැනුම්වල වර්ණනාතික්‍රම නිර්මාණශීලීබව ඇල් දියෙහි ලා ගලේ ගා අඹරා මුදු කොට සිය කවිය පණගැන්වීමට යොදා ඇති බවකි.

“පෙරඹර අහස දුර වැඩි නැති පියාපත
මහමෙර අසළ ගී පද ලියු පියාපත…”

යනුවෙන් එන කවිය ගිරා සන්දේශයේ එන

“තෙල රතු ඔබ තුඩගින් මැද පියාසර
සල සිත් නොවී සතොසින් කොට පියාසර…”

යන කවියේ එළිවැට සිහිකරවීය.

කෘතියේ අවසානය වෙද්දී ඇය සිය වගකීම සිහි නගාගනී.
“බොල් ණයක් ලෙස සමාවක් යැද
ගෙනෙමි අහසට අලුත් ඉර සඳ…”

දැන් අතීතය පිළිසකර කළ නොහැක. මතු ලොව උදෙසා යමක් කළ යුතුව ඇත. පෑරුණු සිත් සුව කර මිත්‍රත්වය යළි සපථ කරමින් උපේක්ෂාකාමීව, බැරල් තුළ නිදන් පුතුන්ටත්, හෝඩිය කියවන පුතුන්ටත්, කොළොම්පුර නොදුටු පුතුන්ටත් පොදුවේ උතුරටත් දකුණටත් එන්නැයි ආරාධනා කරයි. ඇය “පුස්තකාල යලි ගිනිගනු නැත පුතුනී” කීවා වූ නමුත්, අතීතය යළි කැරකී පැමිණියේය.

යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම අප දන්නේ පොත්පත් පුවත්පත්වල වූ සටහන්වලිනි. වාර්තා වීඩියෝ පට මගිනි. එබැවින් ඒ වේදනාව අපට සෘජුව අත්විඳීමට අවස්ථාව ලැබුණේ නැත. නමුත්, මේ වේදනාව අප පරම්පරාවට එලෙසින් ම දැනුනු තැනක් පෙර කී ලෙස අතීතය කැරකී පැමිණ සිදු විය. ගාලුමුවදොර පුස්තකාලය ගිනිබත් කළේ ය යන ආරංචිය සවන් වැකුණු දා මට සිහි වූයේ, යාපනේ සරසවිය ගිනිබත් වූ දා ය. ඔවුන්ගේ වේදනාව එදින අපේ වේදනාව හා එක්වූවා සේ විය.

දෙදෙනෙකුගේ වේදනාව සම වූ තැන එකිනෙකා කෙරේ ඇතිවන සහකම්පනය වඩාත් බලවත් වෙයි. “ගිනි වැදුණු පියාපත්” ඒ සහකම්පනය වෙත ඔබ ගෙන යනු ඇත.

ඩිල්ශානි චතුරිකා දාබරේ

 

Social Sharing
නවතම විශේෂාංග