අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!

ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු ගෑස් ගහනකොට ඒ උණ්ඩ ඇහිදලා ගහපු එවුන්ටම පාකරලා යවන්න තරම් ශක්තියක් ගේන වැකියක් ඒක. නිශ්මි කියලා කියන්නේ ඉතිහාසයක්. ඕනෑම ව්‍යාපාරක් රටක් මේ හැම එකක්ම දුවන්නේ තමන් ගැන ගොඩනැඟුණ කතන්දර ඉතිහාසය උඩ. අන්තරය කියන්නෙත් එහෙමයි. නිශ්මි කියන්නේ ඒ සටන් ඉතිහාසයේ විශාල පදාසයක්. ‘මතකය නම් අවිශිබ හැදෙන්නේ 1978 අවුරුද්දේ. 1990 තෙක් එහි නායකයන් ජීවතුන් අතර නැහැ. ශිෂ්‍යන් විප්ලවයේ ගිනිසිළුව පමණක්ද? (ශාන්ත බණ්ඩාර, රංජිතම් සිහිපත්ව)’ මෙහෙම ලියන්නේ නන්දන වීරරත්න. මේ සටන් ඉතිහාසය තමයි අන්තරය ඊයේත්, වෙනදා වගේම ජපුර සරසවියේ ඉඳලා පාර්ලිමේන්තු වටරවුමට අරගෙන ආවේ.

අලුත්ම වර්ගයේ වේදනාවේ උපරීම කඳුළු ගෑස්, ඩොලර් හිඟය තිබුණත් ගෙනල්ලා තිබුනා. ඒවා අන්තරයට විරුද්ධව අහසේ පියාඹලා ඇවිත් අහිංසකයින්ගේ ආරාමයට (ගෝඨාභය රාජපක්ෂ විනාශ කළ 88/89 මරාදමන ලද මිනිසුන් සිහිකරන්නට හැදු ස්මාරකය) පවා වැටුණා. ශිෂ්‍යන් ශිෂ්‍යාවන් හුස්ම හිරකරගෙන වතුර සොය සොයා සීසීකඩ දිව්වා. ඒ දුවන අස්සෙත් අපිට ඇහුණ සටන් පාඨය තමයි, ඔය උඩ තියෙන්නේ. ඒකයි මම මේ ලිපියේ ඔලුව විඳිහට ඒක පාවිච්චි කළේ.

ඉස්සර අන්තරේට සමාජය කීවේ ‘එනවා නානවා යනවා’ කියලා. අද ඒ සමාජයම අන්තරය එනකම් මඟ බලාගෙන ඉන්නවා. අන්තරය කොළඹට ආපු හැම දවසකම, වැටිලා දියවෙලා යයි කියලා අපි බය වෙවී බලාගෙන හිටිය අරගලය, රොකට් එකක් වගේ උඩ ගියා. මහත් වුණා. ජවාධික වුණා. රත් වුණා. අපිට ඉන්න, ලෝකෙවත් නැති අවිහිංසාවාදියෝ එකතුවෙලා උදාසීන කරලා තිබුණ අරගලය, පිම්මේ උඩ පැනලා ආයෙත් කෑගහන්න ගන්නේ අන්තරය කොළඹට ආවාම. ඒකයි ඇත්ත. අන්තරයේ සටන් සගයෝ හුස්ම ගන්න බැරුව වතුරින් දෑස් තෙමාගෙන සටන් කරන ඇසිල්ලේ තමයි උදාසීනව මන්දගාමීයව හිටි අරගලයේ පපුව උස්ව උඩ පහළ දුවන්න පටන් ගන්නේ. ඒක හරියට කරන්ට් එකෙන් හදවතේ කම්පනය නැවත පටන් ගන්නවා වගේ එකක්.

ලෝකේ කොහේ වුණත් ශිෂ්‍යයෝ තමයි අරගලයන් උණුසුම් කළේ. අරගලයන් වලට ලේ දුන්නේ ශිෂ්‍යයෝ. ඒක ප්‍රංශය ගත්තත් හොංකොන් ගත්තත් චීනය ගත්තත් අරාබිය ගත්තත් එකයි. වෙනසක් නෑ. 1968 මැයි ප්‍රංසයේ ආරම්භ වුණ ශිෂ්‍ය නැඟිටීම සහ ප්‍රංසයේ ඒ ඇතිවුණ විරෝධතා රැල්ල වගේ තමයි ලංකාවේ දැන් ඇතිවෙලා තියෙන මේ විරෝධතා රැල්ල. කලා_සංස්කෘතික අවකාශය වැඩි වශයෙන් භාවිතාකරන මේ විරෝධතාවය උණුසුම් කරන්නෙත් අපේ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒක තමයි ඇත්ත.

ඊයේ (5) හවස මාත් පාර්ලිමේන්තු වටරවුමට ගියා. උදෑසන 3 විතර වෙනකම් මහා වැස්සේ තෙමෙමින් එතන හිටියා. ඒ හිටියේ මේ ශිෂ්‍යන්ගේ ජවයට ශක්තියක් දෙන්න වගේම, මේ අරගලයට තියෙන ආදරයේ පරිමාව නිසා. ඊයේ අන්තරය එන බව දැනගත්ත නන්දෙ, බුද්ධි අංශවල උපදෙස් අනුව ජී අයි යකඩ බට විශාල සංඛ්‍යාවක් යොදාගෙන මහා බාධකයක් ඉදිකරලා තිබුණා. ශිෂ්‍යයෝ එතනට ඇවිත් තිබුණේ 17 යතුරත් අරගෙන. ‘නන්දෙ ගේ බට’ කියන නාමකරණය සමග ශිෂ්‍යයෝ මේ බට පූට්ටු ගැලෙව්වා. ගලවලා සංගීත සන්දර්ශනය වෙනුවෙන් වේදිකාවක් හැදුවා. වැස්සට නොතෙමී ඉන්න හිසට සෙවනක් හැදුවා. මම මේ ක්‍රියාන්විතය යන වේගය දිහා ආසාවෙන් බලන් හිටියා. එතන තිබුණේ නිශ්මිගේ ඉඳලා අන්තරය අස්සේ ගොඩනැඟුන ශක්තිය සහ ජවය.

අසල්වැසියෝ කෑම ජාති බීම ජාති බෙහෙත් ජාති ඕසෙට ගෙන්නලා අරගල භූමියට අතෑරියා. බිස්කට් එකේ ඉඳලා චීස් කෑල්ලේ ඉඳලා කෙසෙල්ගෙඩියේ ඉඳලා කොත්තුවේ ඉඳලා හැම දෙයක්ම මොහොතක් ගතවෙනකොට එතන. ඌරුකොටුව පාර කියලා අලුත් පාරක් එක්ක ‘හොරු ගෝ ගම’ කියලා අලුත් ගමක් පාර්ලිමේන්තු මිදුලේ හැදෙන්න හෝරාවක් යන්න ඇති. ඒක තමයි ජවය. ශක්තිය. ඒක නිසා ඊයේ (5) දවස කියන්නේ අරගලයට අලුත් පැහැයක් එකතු කරපු දවසක්.

මැදියම් රෑ පහුවෙලා එළිවෙන ජාමේ අජියා (අජිත් කුමාරසිරි) බුද්ධං සරණං ගච්චාමී කියන සිංදුවට අලුත් අර්ථකථනයක් අරගෙන ආවා. ඒක මරු..! මේ අරගලයේ තියෙන විශේෂම දේ තමයි අරගලකරුවන් ‘රාජපක්ෂවාදය’ මේ බිමෙන් තුරන් කරන්න ගන්න මහංසිය. පාස්කු ප්‍රහාරය කියන්නේ රාජපක්ෂවාදයේ අග්‍රඵලය. රාජපක්ෂවාදය මේ බිමෙන් තුරන් කරන්න මේ අරගලයට පුලුවන් උනොත් ඒක තමයි මේ අරගලයෙන් ලංකාවට සිද්ධවෙන ලොකුම සේවය.

ආයෙත් අන්තරය දිහාවට ගියොත්, මගේ යෝජනාව තමයි මේ අරගලයේ කේන්ද්‍රය මේ ශිෂ්‍ය ව්‍යාපාරය ඩැහැ ගන්න ඕනෑ කියන දේ. මේ අරගලයේ ගිනිසිළුව වෙන ගමන්, මේ අරගලයට ජවය ශක්තිය එකතුකරන ගමන්, මේ අරගලයේ කේන්ද්‍රය වෙන්න ඕනෑ අන්තරය. ඒකයි මගේ යෝජනාව. දැනට පේන්නේ මේ සටන තව ගොඩක් දවස් ඇදෙයි කියන දේ. මාරයා වීදි දිගේ අපිව හොයාගෙන එන්න පුලුවන්. ඒ නිසා මේ අරගලය ජව සම්පන්න කරන ගමන්ම මේකට දේශපාලන ඔලුවක් සවිකරන්න ඕනෑ. ඒ කතාවේ තේරුම පක්ෂයක් මේ අරගලය ඩැහැගන්න ඕනෑ කියන දේ නෙවෙයි. දියුණු සහ ගුණයෙන් පොහොසත් ජනතා සම්මුතියක්, ජනතා වැඩපිළිවෙලක් නිර්මානය කරගෙන, මේ අරගලයේ හිස බවට ඒක පත් කරන්න ඕනෑ…

ඊයේ රෑ අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිව්වේ ‘ගෝඨාභය උබ ගෙදර යන දවස තීරණය කරන්නේ උබ නෙවෙයි අපි’ කියලා. මේ තැනට මේ අරගලය එන්නනම් මේ අරගලය තව තවත් උණුසුම් වෙන්න ඕනෑ, ජවාධික වෙන්න ඕනෑ.

 

කේ. සංජීව

Social Sharing
නවතම පුවත් විශේෂාංග