උදන් ප්‍රනාන්දු
වවුනියාවට ලඟා වෙත් ම හිතේ චකිතය තවත් වැඩි විය. ඒ රම්‍යා නිවස ලෙස හැඳින්වූ චෙක් පොයින්ටය නිසා ය. රම්‍යා නමින් වූ සිවිල් නිවසක් හමුදාව විසින් අත්පත් කරගෙන, උතුරට යන එන අය ගැන උකුසු ඇසින් විමසුමට හමුදා, මිලිටරි පොලිස් හා රහස් අංශය යන ඒකාබද්ධ මෙහෙයුමක් එතැන කෙරිණ. වවුනියාවෙන් ඔබ්බට යන අයගේ අඟලක් පාසා කෙරෙන පරික්ෂාව නිසා ය කවුරුත් රම්‍යා කෙරෙහි බියකින් පෙළුණේ. රම්‍යා නිවසේ කැරෙන ප්‍රශ්න කිරීම තියුණු ය. මා සිංහල නිසා එය තවත් වැඩි විය. පරික්ෂාව අවසානයේ මගේ කැමරා ද්වය එහි තබා යන ලෙස විධාන කෙරිණ. මෙවැනි තත්ත්වයන් තුල වාදය හා තර්කය නිෂ්ඵල නිසා කරබා ගෙන සිටියෙමි. අස්වැසිල්ල වූයේ ඔවුන් මට යන්නට ඉඩ දීම යි. වවුනියා දිස්ත්‍රික්කයේ අග්ගිස්සේ පිහිටි ඕමන්තය එකල ‘මායිම’ හෙවත් බෝඩරය විය. එහිදී නැවත කැරෙන එල්ටීටී පරීක්ෂාවෙන් අනතුරු ව, ඔවුන් විසින් ම පවත්වා ගෙන ගිය ආගමන-විගමන කන්තෝරුවක වැනි ස්ථානයක හිඳ උතුරට අඩිය තැබීමට ‘වීසා’වක් ගත යුතු ය (පුලියන්කුලමේ ද මෙවැනි වීසා කන්තෝරුවක තිබිණ). ඒ සඳහා අවැසි මූලික කටයුතු, පත්‍රිකා, අනුමැතිය අදාළ පාර්ශව සමග කලින් සම්බන්ධීකරණය කරගෙන තිබුන නිසා වීසාව නිකුත් කැරෙන කුඩා කාඩ්බෝඩ් පත්‍රිකාවට කොටි සීලය හඬක් සමග ම වැදෙත් ම ගමනට අවැසි පරිපාලනම ය කොටස අවසන් විය.
යාපනයට ලඟා වීමට එකල කිලාලි කලපුව හරහා ගමන් කළ යුතු ව තිබුණේ අලිමංකඩ පිවිසුම හමුදා පාලනයේ තිබුණ බැවිණි. එල්ටීටීයේ ප්‍රවාහන අංශය විසින් ම පවත්වාගෙන ගිය ට්‍රැක්ටර සේවාවකින් කිලාලි කලපුව අසලට අවුත්, රාත්‍රී දහයට පමණ කලපුව දිගේ තරමක් දුර ඇවිද ගොස් (ගමන් මළු ඉටි කොල මල්ලකින් ඔතා හිස මත තබා ගෙන යා යුත්තේ බෝට්ටුවට ගොඩ වෙන්නට ඇති දුරෙහි ඉන තෙක් කලපුවේ වතුර ඇති නිසා ය) බෝට්ටුවට ගොඩවීමු. සාමාන්‍ය බෝට්ටුබක් නිසා ගමන සෙමින් ය. බෝට්ටුවේ කිසිදු එළියක් දැල්වීම සිදු නොකරන්නේ ගුවන් හා නාවික හමුදාවේ ඇසට හසු නොවීම ට ය. පැය තුන හතරකින් පසු ව කිලාලියෙන් එතෙර වී නැවත ට්‍රැක්ටරයකින් තවත් දුරක් ගොස් කුලී රියක් (භූමි තෙලෙන් දුවන, දමිල ‘ත’ යන්නෙන් පටන් ගන්න වාහන අංකයක සහිත ඔස්ටින් කේම්බ්‍රිජයකි) සොයා ගෙන මාගේ ගමනාන්තයට නිරුපද්‍රිත ව ලඟා වීමි.
යාපනයට මා ආවේ එකල එල්ටීටිය විසින් ස්ථාපිත කරන ලද ‘ටීඩොර්’ නම් සංවිධානය ගැන කැරෙන අනාවරණ හෙවත් එක්ස්පෝෂර් වැඩසටහනකට ය. ටීඩොර් යනු ටැමිල් ඊළම් ඉකොනොමික් ඩිවෙලප්මන්ට් ඔර්ගනයිසේෂන් ය. එකල යාපනය කොටුව ඇතුළු උතුරේ විශාල භූමි භාගයක පාලනය නතු කරගෙන තිබුණේ එල්ටීටිය විසින් ය. ටීඩෝරය ස්ථාපිත කර තිබුණේ උතුරේ ආර්ථික සංවර්ධනයට අදාළ පර්යේෂණ කිරීමට හා ව්‍යාපෘති සම්පාදනයට ය. මා ගත කළ දින කිහිපය තුල ඒ ව්‍යාපෘති කිහිපයක් ම දැක ගැනීමට නිරීක්ෂණ චාරිකාවල නියැළුණ අතර ඒවා භාර පර්යේෂක, විද්‍යාඥ හා ඉන්ජිනේරුවරුන් ද හමු වීමට හැකි විය. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් ම පැමිණ තිබුණේ ඇමෙරිකාවේ ප්‍රමුඛත ම එම්.අයි.ටී වෙතින් ය. ආහාර සුරක්ෂිතතාවය, බල ශක්ති ජනනය, නිෂ්පාදන ප්‍රතිපත්ති ටීඩෝරයේ ප්‍රමුඛතා විය. එකල ටීඩෝරයේ ප්‍රධානියා වූයේ, මගේ මතකය නිවැරිදි නම්, සුරේෂ් නමැති එල්ටීටියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. මා උතුරේ සිටින කාලයේ ම පැවති, ලයනල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු සාම සාකච්චා වටයට සහභාගී වූ එල්ටීටී කණ්ඩායමේ සුරේෂ් ද සිටි බව මතක ය.
1994 වසරේ මා උතුරේ ගත කළ කෙටි කාලයක මතකය මා තුල නැවත අවදි කළේ ගාලු මුවදොර දැන් සති තුනක තිස්සේ වාඩිලාගෙන ඇති ගෝටාගෝ ගම දකින විට ය. වෙනසක පතන බොහෝ දෙනාට ගෝටාගෝගම අරගල බිමක වන අතර එය දකුණේ ජනතාවට අනුප්‍රාණයේ ක්ෂේම භූමියක බවට පත් ව ඇත. එහි සම්භාෂණ අඩවි, කලාගාර, නාට්‍යාගාර, පුස්තකාල, මාධ්‍ය සම්භන්ධීකරන කාර්යාල, ප්‍රථමාධාර සේවා කූඩාරම් හා ටෙන්ට් තුල ක්‍රියාත්මක වේ. ගෝටාගෝගම්වාසීන්ට අවැසි ආහාර පානාදිය සැපයීම ස්වේච්චාවෙන් හා මනා සම්භන්ධීකරණයකින් කෙරෙණු දක්නට ඇත. ගෝටාගෝ ගමේ අසිරිය මේ වන විට දකුණේ එසේත් නැත්නම් බස්නාහිර පළාතේ ප්‍රධාන ප්‍රීඔකියුපේශනය හෙවත් අවධානයේ හා උනන්දුවේ කේන්ද්‍රය යි.
මේ දිනවල ගෝටාගෝගම ආශ්‍රිත ව කැරෙන සම්භාෂණ අතරට එක් ව ඇති තවත් මාතෘකාවක වී ඇත්තේ අරගලයේ සැලකිය යුතු දමිල සහභාගිත්වයක් දක්නට නැත්තේ ඇයි ද යන්න ය. ඊට අර්ථ නිරූපන සපයන එක මතයක වන්නේ ගෝටාගෝගම් අරගලයට ආසන්න හේතු කාරනා වූ අත්‍යවශය භාණ්ඩ හා සේවා කිහිපයක හිඟය උතුරේ වැසියන්ට (උතුරු පළාතේ පමණක් ග්‍රාම නිලධාරී වස 921 කි) යුද්ධය පැවැති වසර ගණනාවක් පුරා ම අත් විඳ, ඔවුන් ඉන් හොඳ හැටි පදම් වී ඇති නිසා වත්මන් අග-හිඟතා ඔවුන්ගේ එදිනෙදා දිවි පෙවෙත එතරම් සසල නොකරන බව යි. අනෙක් මතය නම් දමිලයින් ගෝටාගෝගමට ආවත් ඔවුන් හඳුනාගන්නේ කෙසේ ද කියා ය. තවත් මතයක වන්නේ දැන් දැන් ටික ටික දමිල පිරිස් ගෝටාගෝගමට සේන්දු වන බව යි.
ගෝටාගෝ ගමේ දමිලයන් ඇත් ද නැත් ද යන සම්භාෂණ නිරීක්ෂනය කරන විට මට නම් හැඟෙන්නේ අප නැවත වරක් දමිල ප්‍රජාවට මේ කරන්නේ අපහාසයක් බවයි. ගෝටාගෝ ගම ලෙස හැඳින්වෙන අරගල කලාපය විසිර ඇත්තේ අක්කර දොළහක පමණ මනරම් භූමියක පිහිටා ඇති ගාලු මුවදොරෙහි ය. ගමක කියා එහි ලෙස වාඩිලා තාම මාසයක්වත් නැත. දකුණේ ඇසෙන් මෙය මහා ප්‍රාතිහාරාත්මක අරගලයකි. එය බොරුවක ද නොවේ. ගෝටාගෝගම දකුණේ මෑත කාලීන දේශපාලන සංස්කෘතියේ නවමු අත්දැකීමක බව සැබැවි. එහෙත් උතුරෙන් හා නැගෙනහිරෙන් සැලකිය යුතු භූමි භාගයක සමාන්තර පරිපාලනයක්, නීති ක්‍රමයක් හා ජන ජීවිතයක් වසර ගණනාවක මුළුල්ලේ බිහිසුණු යුද්ධයක් ද කරමින් පවත්වා ගෙන ගිය ගම් දහස් ගණනක් තිබුණ බව අපට වැරදිලාවත් නොසිතෙන්නේ මන්ද කියා මට නොවැටහේ. මින් මා කරන්නේ එල්ටීටිය අනවැසි ලෙස උත්කර්ෂයට නැඟුම නොවේ. මගේ ප්‍රකාශය දේශපාලන සංවිධානයක ලෙස එල්ටීටිය ගැන කැරෙන අගතිගාමී නොවන විවේචනයට යටත් ව ය. එහෙත් මා මෙතැන මතු කරන්නේ ගෝටාගෝ ගමේ නිතර දෙවේලේ ඇසෙන හා ගැයෙන ගීතයක වන ‘යදමින් බැඳ විලංගු ලා’ හී කොටසක වන ‘අලුත් ලොවක් ගැන සිතීම’ ගැන යි. දමිල ප්‍රජාව දශක තුනක පමණ කළ දුෂ්කර ව්‍යායාමය ඔවුන්ගේ වේදනාවේ හා සටන්කාමී බලාපොරොත්තුවේ ද අරගලයක ලෙස දැකිය හැකි ද යන්න යි. එවන් සිතිවිල්ලක් දකුණේ ගෝටාගෝගම්වාසීන් සත්‍යයේ මොහොතකට තල්ලු කැරෙන අතර කැවුම් වියාගෙන උතුරට නෑගම් යනවාට වඩා අරුත්බර සංහිඳියාවක ද විය හැක.
(අනිද්දා පුවත්පතේ පලවෙන කොලම)