රාජපක්ෂලා නොයයි නම් අප කුමක් කළ යුතුද?

උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින්  මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී.

පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී හිරිහැරයක් නැති සෞම්‍ය අතහැරීමක් සඳහා විපක්ෂය සමග සාකච්ඡාවට කැමති සහ ලෑස්ති බව අසන්නට ලැබුණි.

එහෙත් අද ඇසෙන්නේ වෙනත් කතාවක් ය. මහින්ද රාජපක්ෂ ශාරීරික දුබලතාවයෙන් වැනෙමින් ප්‍රකාශ කරන්නේ තමන් ඉවත් කළොත් මිසක් නොයන බවය. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ගේ තුන් හිතකවත් මහින්ද අයියා ගෙදර යැවීමේ උවමනාවක් සැළැස්මක් නැති බවය.

මේ කතාවලට අපිට කියන්නට තිබෙන්නේ අපි මුලින්ම යන්නට කියන්නේ ඔබට නිසා ඔබ මුලින්ම ඉවත් වෙන්න කියාය. මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැතිකමේ තියාගන්නවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව තීරණය කරනු ඇත..!

එහෙත් දැන් වෙනකොට පෙනෙන්නේ මේ සියල්ල කාලය ගතකිරීමේ උවමනාවෙන් ක්‍රියාවේ යෙදවූ කූඨ වැඩ බවය. මේ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත්ව යෑමේ කිසිඳු උවමනාවක් නැත. මේ පවුල, තව ටික කාලයක් අල්ලාගෙන සිට ඉදිරිය බැලීමේ තීරණයක ඉන්න බව පෙනේ. එහෙත් මේ අල්ලාගෙන සිටීම විසින් ලංකාව නැමති රාජ්‍ය දිනෙන් දින අස්ථාවරත්වයට සහ ව්‍යාකූලත්වයට, අරාජිකත්වය දෙසට ගෙන යමින් ඇත..! ඒ පිළිබඳව පුරවැසියා වහාම අවධි විය යුතුය.

මේ පවුල ඉක්මන් ක්‍රියාමාර්ග මතින් පන්නා දමන්නේ කෙසේද යන්න ගැන උද්ඝෝෂකයන් ද වෙනස් ව සිතිය යුතුය. මෙය තවතවත් කල් ඇදෙන්න ඇදෙන්න රට විශාල අර්බුදයක, සුව කළ නොහැකි රෝගයක ගිලී යා හැකිය. මෙය තවදුරටත් රාජපක්ෂ පවුලේ ප්‍රශ්නයක් නොව රටේ ප්‍රශ්නයක් ය. එනිසා සොහොයුරන් එකතුව කෑම මේසයේ ගන්නා ලද තීන්දු තීරණ තවදුරටත් වලංගු නැත.

අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

මෙම තත්ත්වය තුළ පුරවැසියාට කුමක් කළ හැකිද? අපට මේ ජනතා නඟිටීම තුළ සිවිල් නීති කඩන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අමාරු නැත. මෙවැනි ව්‍යාපාරයක් වර්තමාන ආර්ථික අර්බුදය තව තවත් දැඩි කරනු ඇතැයි කෙනෙක් තර්ක කළ හැකිය. එහෙත් මට නම් කියන්නට තිබෙන්නේ පැදුරෙන් බිමට වැටුණට ගානක් නැති බවය.

වරිපනම් බදු නොගෙවා සිටීම, ජල බිල් විදුලි බිල් නොගෙවා සිටීමේ සිට මාර්ග නීති උල්ලංඝනය දක්වා විශාල පරාසයක නීති උල්ලංඝනයන් මගින් රාජපක්ෂවරුන්ට විරුද්ධව නව විරෝධතා ක්‍රියාමාර්ග ගත හැකිය. දැන් රටට අවශ්‍යව ඇත්තේ එවැනි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන් ය.

ඊට සමගාමීව වැඩකරන ජනතාවට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ හැකිය. අවශ්‍ය නම් මැයි 06 දා ක්‍රියාත්මක කරන්නට සැළසුම්කර තිබෙන හර්තාලය මෙම ක්‍රියාමර්ග සමග ඉදිරියට ගත හැකිය.

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ අරගල ක්‍රියාමාර්ග මේවනවිට රටට විශාල ජයග්‍රහන රැසක් දයාද කර ඇත. දැන් අපි සිටින්නේ සමනැල පෙනෙන මහගිරිදඹේ ය. එනිසා දණිස් ලෙලි ගියත් මේ මහා කන්ද නැඟිය යුතුය. ඒ සඳහා අලුත් ශක්තිමත් කඹ ආධාරක වහාම යොදාගත යුතුය. නව දැනුම නව ක්‍රම මතින් ඉක්මනින් කඳු තරණය අපි හැවෝටම සුබය. නැතිනම් මේ අරගලය සහ ආර්ථික අර්බුදය ලේ ගඟක් මතින් අගාධයට ඇදෙනු ඇත.

ජනමතය..!

ජනමතය ගැන ප්‍රශ්න කරන අයට ඊයේ හොඳ අවස්ථාවක් උදාවිය ඒ පරීක්ෂාවට. නුගේගොඩට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එන්න යැයි කැඳවීම් කර තිබුණි. එහි පැමිණ සිටියේ කවුරුන්ද? කුමන ප්‍රමානයක් පැමිණ තිබුණිද? අතීත මහින්ද සුළඟ සමග මෙම රැස්වීම සංසන්ඳනය කර බලන්නට දැන් ඔබට පුලුවන් විය යුතුය. හොඳට ගසලා විකාර කියවන විකාර කාරයින් රොත්තක් සමග පළාත් පාලනයේ දේශපාලනය කරන දූෂිතයන් එක පොකුරක් වී නුගේගොඩට එකතුවී සිටියත් එය දාහක් ඉක්මවා තිබුණිදැයි මටනම් සැකය. ගුරු සංගම් මැතිණිය කතාකරන විට අසාසිටින්නන්ගෙන් ආ විරෝධය සිනහා උපදවයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ කතාවද ඊට නොදෙවෙනිව අපව සිනහා සයුරේ ගිල්ලවයි. ගාමිණී ලොකුගේ ගේ පහත් ස්වරය කියන්නේ කුමක්ද?

ජනමතය තවදුරටත් තිබෙන්නේ පොහොට්ටුව පැත්තේ නොවෙන බව දැන් හොඳටම පැහැදිලිය. එනිසා රාජපක්ෂ පවුල පන්නා දැමීම සඳහා පාර්ලිමේන්තුව ඉක්මන් ක්‍රියාමාර්ග තේරිය යුතුය. එය එසේ නැතිනම් ජනතාව සිවිල් නීති කඩන ව්‍යාපාරයක් වහාම ආරම්භ කළ යුතුය. එහෙමත් නැතිනම් දීර්ඝ වැඩවර්ජනයක් කැඳවිය යුතුය.

මේ කිසි දෙයක් සිදු නොවුනහොත් මේ උද්ඝෝෂණ සටන් ව්‍යාපාරය ඊළඟ අදියරේ දී ප්‍රචණ්ඩත්වය දෙස පල්ලම් බසිනු නියතය. එය ගම් මට්ටමින් ප්‍රචණ්ඩත්වය සමග ඉදිරියට ඇඳෙනු ඇත. එහිදී එය වළක්වා ගැනීම කළ නොහැකි දෙයක් වෙනු ඇත.

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග