බණ්ඩාරනායක යුගය යනු සිංහල රාජ්‍ය භාෂා පනත පමණක් නොවේ. 1956 යනු ‘පොදුජනයා’ පිලිබඳ අදහස – සියලු සීමාසහිතකම් සහිතව වුව – දේශපාලන පොදු වහර තුල ස්ථාපිත වූ අවස්ථාවයි. 1956 දී ‘බමුණු කුලය බිඳ වැටීම’ පටන් ගත් බව මාර්ටින් වික්‍රමසිංහ ලීවේ නිකම් නොවේ.
බණ්ඩාරනායක යුගය යනු අඳ ගොවි අයිතිය තහවුරු කල කුඹුරු පනතේ යුගයයි. හාම්පුතුන්ට කැමති ලෙසට සේවකයන් සේවයෙන් පහ කිරීම පාලනය කිරීම සඳහා කම්කරු විනිශ්චය සභා ඇති කල, සේවක අර්ථ සාධක අරමුදල ස්ථාපිත කල යුගයයි. බස් ජනසතු කල යුගයයි. වරාය ජනසතු කල යුගයයි. බ්‍රිතාන්‍යයන් සතුව වූ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර යලි ලංකාවට පවරා ගත් යුගයයි. මැයි පලමු දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කල යුගයයි. එතෙක් වූ එ.ජා.ප ආණ්ඩු විසින් ප්‍රතික්ෂේප කල සෝවියට් රුසියාව හා චීනය බඳු සමාජවාදී රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පටන් ගත් යුගයයි. එතෙක් අනුගමනය කල පරායක්ත යටත්විජිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ඛණ්ඩනය වීමක් සලකුණු කරමින්, ස්වාධීන කාර්මික සංවර්ධනයක් සඳහා අඩිතාලම දමන්ට උත්සාහ ගත් යුගයයි. සමකාලීන පශ්චාත් යටත් විජිත තුන්වන ලෝකයේ නායකයන් වූ නේරු, අබ්දුල් ගමල් නසර්, සුකර්නෝ ආදීන් අනුගමනය කල සමාජ ආර්ථික ප්‍රතිපත්තිය අඩු වැඩි ලෙස ලංකාව තුල නියෝජනය වූයේ බණ්ඩාරනායක හරහාය.
මේ ක්‍රියාමාර්ගවල කවර සීමාකම් තිබුණත්, ස්වාධීන පශ්චාත්-යටත් විජිත සංවර්ධනයක් ඇති කිරීමේ දිශාවට යොමු වී තිබීමේ අරුතින් සමාජ හා ආර්ථික වශයෙන් ගත්කල මේ ප්‍රතිපත්තිවල ප්‍රගතිශීලී අන්තර්ගතයක් පැවතුණි. දෙමල ජනයාට එරෙහිව 1956 දී කල ඓතිහාසික අසාධාරණයට දැඩි ලෙස විරුද්ධකම් පෑ එකල සිටි වාමාංශිකයන් ; ‘භාෂා දෙකක් නම් එක රටක්, එක භාෂාවක් නම් රටවල් දෙකක්’ යැයි පැවැසූ කොල්වින් ආර් ද සිල්වා, ‘අප දේශපාලන මරු කතරට ගියත් සිංහල-දෙමළ භාෂාවල සම අයිතිය වෙනුවෙන් සටන් කරන’ බව පැවැසූ එන්.එම්.පෙරේරා, ‘යටත් විජිත ස්වාමියාගේ භාෂාවෙන් නිදහස ලබන ස්වර්ණමය දිනයක් විය යුතු දවස, සිංහල පමණක් රජ බස කිරීම නිසා අන්ධකාර දිනයක් බවට බණ්ඩාරනායක විසින් පත් කල බව’ කියූ එඩ්මන්ඩ් සමරක්කොඩි ආදීන්ට මෙම ප්‍රගතිශීලී පැතිකඩ පිලිබඳ අවබෝධයක් විය. 1956 පිලිබඳ විශ්ලේෂණය කරන විට, ‘සිංහල පමණයි’ පිලිවෙත ගැන දැඩි ලෙස විවේචනාත්මක වන ගමන් පවා, සරලමතික ලෙස එය බැහැර කිරීමට ඔවුන් කටයුතු නොකලේ එබැවිනි.
අප අයිති වන්නේ මේ කිසිදු දෙයක් ගැන අදහසක් නොමැති, පශ්චාත්-1977 පරම්පරාවටය. අපගේ ‘පියා’ ජේ.ආර්. ජයවර්ධනය. බණ්ඩාරනායකට සාපේක්ෂව විසකුරු ලෙස දෙමල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කලා වුවද, විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන් නිසා අපි ජේ.ආර්. ට සමාව දෙන්නෙමු. අපි හැමෝටම චතුර ලෙස ඉංග්‍රීසි කථා කරගත නොහැකි වී තිබෙන්නේ බණ්ඩාරනායක නම් දුෂ්ටයා නිසා යැයි සිතන්නෙමු.
බණ්ඩාරනායකගේ ඓතිහාසික සීමාව ජාතික ස්වාධීනත්වය සමග ජාතික එක්සත්කම සම්බන්ධ වන හැටි අවස්ථාවාදී ලෙස නොතකා හැරීමය. ඒ සඳහා හේ දොස් ලැබිය යුතුය. හැබැයි ඔහුගේ පිලිමයේ දෑස් කලු පටියෙන් වැසීම නම්, සංකීර්ණ ඉතිහාසයක් අතිශය සිල්ලර ලෙස සරලකරණය කිරීමක් බව නම් නොකියා බැරිය.
උපුටා ගැනීම : රමිදු පෙරේරාගේ ෆේස්බුක් පිටුව